Site icon Thambaru's Blog

බැංකු ගිණුම් අංකයෙන් සල්ලි උස්සන අලුත් ජාවාරම

මෑතකදි දකින්න ලැබුණු පෝස්ට් එකක මෙහෙම තිබුණා:

“Ikman එකේ භාණ්ඩයක් විකිණීමට දැන්වීමක් දැම්මා. සුළු වේලාවකින් advance එකක් දාන්න HNB ගිණුමක් ලබා දෙන්න කීවා. තැන්පත් කරන මුදල ලොකු අගයක් බැවින් මුලින් පොඩි ගාණක් දානවා, ආපු ගමන් ඒ ගණන කීයද කියන්න කීවා. සුළු වේලාවකින් ගිණුමේ තිබූ සියලුම මුදල් හැක් කර ලබා ගෙන.”

‍ඒ පෝස්ට් එකේ අදාල බැංකුවට චෝදනා කළත් ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ දැනට ක්‍රියාත්මක වෙන JustPay සේවාවේ authenticate කරන ක්‍රමවේදයේ අවුලක් නිසයි. බොහෝ දුරට බැංකුව පැත්තෙන් වරදක් තියෙන්නත් පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි.

කොහොමද වෙන්නේ?

ඔය සුළු ගාණක් බැංකුවට එවනවා කියන්නේ ඇත්තටම ඒ කරන කෙනා මුදල් එවනවා නෙවෙයි. ඔයාලා දැකලා ඇති “ඕනම ගිණුමක් එකතු කරගෙන” ඒ ගිණුම පාවිච්චි කරන්න පුළුවන් Apps ගැන. iPay, FriMi, WePay වගේ විවිධ නම් වලින් හැම බැංකුවටම එහෙම apps තියෙනවා.

එතකොට අපි වෙනත් බැංකුවක ගිණුමක් add කරද්දි ඒක අපේ එකක්මද කියලා ඇප් එක (JustPay system එක) දැනගන්නේ අපේ අදාල ගිණුමෙන් පොඩි ගාණක් කපාගෙන, ආයෙ එක ටිකකින් එවන එකෙන්. උදා: රු. 5.34ක් කපනවා. ඊළඟ තිරයෙන් අහනවා කැපුණු ගාණෙ SMS එකක් ආවා නම්, අන්න ඒ ගාණ enter කරන්න කියලා. ඉතින් 534 ගැහුවාම අපිට ඒ account එක පාවිච්චි කරන්න පුළුවන්.

අර්බුදය මොකක්ද?

මෙතන තියෙන අවුල තමයි අපේ ID එක යටතේ තියෙන ගිණුම් විතරක් පාවිච්චි කරන විදියට ඒක හදලා නැහැ. ඒ නිසා ඕනම කෙනෙක්ගේ ගිණුමක් මේ විදියට add කරගන්න පුළුවන්.

හැබැයි මම BOC ගිණුම මේ විදියට add කරගනිද්දි එහෙම සල්ලි කැපුවේ නැහැ. SMS වලින් ඇත්තටම OTP එකක් ඇවිත් තමයි add වුණේ. එතකොට මට පේන්නේ බැංකුව අනුවත් වෙනස්කම් තියෙනවා. Sampath, HNB දෙකේම සල්ලි කැපෙන ගාණ තමයි OTP එක විදියට සලකන්නේ.

බේරෙන්නේ කො‍හොමද?

ඔයාගෙ බැංකු ගිණුමට SMS සක්‍රීය කරලා තියෙනවා නම්, මේ වගේ පොඩි ගාණක් කැපිලා, කවුරු හරි ඒ කැපුණු ගාණ ඇහුවොත් කවදාවත් කියන්න යන්න එපා.

බැංකුවෙන් විතරක් නෙවෙයි, තමන්ට ලැබෙන SMS එකක OTP කියන වචනෙ තිබුණොත් ඒ මැසේජ් එකේ කිසිම දෙයක් කාටවත් කියන්න එපා. සමහරු මෙහෙම මැසේජ් FB දාලා “මං කරපු දෙයක් නෙවේ, ඇයි මට මෙහෙම එකක් ආවේ” කියලත් අහනවා. ඉතින් අර වගේ ජාවාරම්කාරයා Friend list එකේ හෝ දාපු Group එකේ හිටියොත් තමන්ගෙ FB, Gmail, බැංකු ගිණුම් වගේ ඕනම දෙයක් අන්සතු වෙන්න පුළුවන්.

මෙහෙම දෙයක් වුණොත් මොකද කරන්නේ?

බැංකුවට වහාම දැනුම් දෙන්න. ඔයාගෙ අතින් වෙච්ච වැරැද්ද පැහැදිලි කරලා පැමිණිලි කළාම අදාල මුදල නැවත ගන්න පුළුවන් වේවි. මොකද JustPay එක මැදිහත්කරු විදියට ඉන්න නිසා එයාලගෙ policies එක්ක ‍ලොකු ගැටළුවක් වෙන්නේ නැහැ. ඒත් දෙයක් වෙන්න කලින් ප්‍රවේශම් වෙන එක වැදගත්.

දැන් මේක දැනගත්තා කියලා තවත් කෙනෙක්ට කරන්න යන්න එපා. ගන්න පොඩි ආතල් එක හිර ගෙයින් කෙළවර වෙන්න පුළුවන්. මොකද ඔය Apps වලට register වෙද්දි අපේ සෙල්ෆි එකක් පවා ඉල්ලනවා. කරපු කෙනා ලේසියෙන්ම අහුවෙනවා.

Exit mobile version