Categories
Health

ගර්භණී මව්වරුන්ට අහිතකර ආහාර 10ක්

Image: momtricks.com

ගර්භණී සමය කියන්නේ බොහොම පරිස්සමින් ඉන්න ඕන කාලයක්. මේ කාලෙදි කරන කියන දේවල්, කන බොන දේවල් හැම දෙයක්ම අම්මාට වගේම දරුවාටත් එක විදියට බලපානවා. ගර්භණී මව්වරුන්ගේ ශරීරයේ දරාගැනීමේ හැකියාව වැඩි වුණත් පුංචි කිරිකැටියාට අම්මාගේ ශරීරයට ඇතුළු වෙන පොඩි විෂ සහිත දේවල් පවා ගොඩක් ලොකුවට බලපානවා. ඉතින් ළඟදිම දවසක තුරුලට ඇවිත් මූණ බලන ඒ චූටි බබා වෙනුවෙන් මේ කෑම ජාති නම් වැරදිලාවත් කන්න නම් එපා.

1. රසදිය එක්වුණු මාළු

රසදිය කියන්නේ බොහොම විෂ සහිත රසායනික මූලද්‍රව්‍යයක්. දූෂණය වුණු ජලයේ රසදිය ඕනෑ තරම් තිබෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් රසායනික ද්‍රව්‍ය වලට මේ තරම් ප්‍රමාණයක් ආවාට කමක් නැහැ කියලා ආරක්ෂක මට්ටමක් තිබුණාට ඇමරිකාවේ සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනය පෙන්වාදෙන ආකාරයට රසදිය අපේ ඇඟට විෂ වන අවම මට්ටමක් නැහැ. ඒ නිසා විශේෂයෙන් වැඩෙන කළලයට, දරුවන්ට රසදිය බොහොම විෂ වෙන්න පුළුවන්. රසදිය ශරීර ගත වෙන එක නවත්වන්න පුළුවන් එකම ක්‍රමය එයින් ඈත්ව සිටින එකයි.

Advertisement

රසදිය අධික මාළු වර්ග වශයෙන් මෝරමාළු, තලපත් මාළු, කුම්බලා මාළු, බලමාළු සහ කෙළවල්ලන් දක්වන්න පුළුවන්. මූදේ තියෙන රසදිය මිශ්‍ර දේවල් මේ ගැඹුරු මුහුදේ ඉන්න මාළුන්ට නිතර ලැබෙනවා. ඒවා මාළුන්ගේ ශරීරය තුළදී විනාශ වෙන්නේ නැති නිසා ඒවා ආහාරයට ගන්නා අපිටත් රසදිය ශරීරගත වෙනවා. අධික ප්‍රමාණවලින් රසදිය ශරීරගත වුණාම ස්නායු පද්ධතිය, ප්‍රතිශක්තීකරණ පද්ධතිය සහ වකුගඩු අමාරු ඇති වෙනවා. කළලයකට මේ දේවල් බොහොම බරපතල ලෙස බලපානවා.

හැබැයි මාළු නොකා ඉන්න එපා. මවගේ මෙන්ම දරුවාගේත් ශරීරයට අත්‍යාවශ්‍ය ඔමෙගා-3 මේද අම්ල ලබා ගන්න වෙනත් මාළු වර්ග ආහාරයට ගන්නම ඕන. නිර්මාංශ හෝ අප්‍රියබවක් දැනෙනවා නම් ෆිෂ් ඔයිල් භාවිතයට ගන්න.

2. අඩුවෙන් පිසූ හෝ අමු මාළු

බෙල්ලන් වැනි අමු මාළු වර්ග නිසා ප්‍රදාහ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුවන්නේ ඒවායේ තිබෙන විබ්‍රියෝ, සැල්මොනෙල්ලා සහ ලිස්ටීරියා වගේ වෛරස, බැක්ටීරියා හෝ පරපෝෂී විෂබීජයි. ඇතැම්වායෙන් මවට පමණක් ආසාදනය වෙලා විජලනය සහ ඇඟ දුර්වල කරනවා. තවත් ඒවා දරුවාටත් ආසාදනය වෙලා ඇතැම්විට දරුගැබ නැතිවෙන මට්ටමටම දරුණු ප්‍රතිඵල ගෙන එන්නට පුළුවන්.

බැක්ටීරියා නිසා ඇතිවන ලිස්ටීරියා මගින් උණ, හිසරදය, තෙහෙට්ටු බව, ශරීර වේදනා මෙන්ම මොළයේ ආසාදන මෙන්ම ලේ විෂවීම් පවා ඇති වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම දරුවාටත් බලපානවා. සාමාන්‍ය කෙනෙක්ට වඩා ගර්භණී කාන්තාවන්ගේ ලිස්ටීරියා ආසාදන වලට ලක්වීමේ අවදානම විසි ගුණයකින් වැඩි බව පර්යේෂණ පෙන්වා දෙනවා.

කළල බන්ධය එහෙමත් නැත්නම් වැදෑමහ හරහා දරුවාටත් ලිස්ටීරියා ගමන් කරනවා. ඇතැම්විට මවට ආසාදනයක් පෙන්වන්නේ නැතත් දරුවාට එය බලපාන්නට පුළුවන්. එමගින් භයානක සෞඛ්‍ය ගැටළු මෙන්ම අඩු වයසින් සිදුවන උපත්, ගබ්සාවීම් සහ මළ දරු උපත් පවා සිදු වෙන්න පුළුවන් නිසා ආසාවටවත් බෙල්ලන් හෝ සුෂී වගේ කෑම අත්හදා බලන්න යන්න නම් එපා.

3. අඩුවෙන් පිසූ හෝ පෙර පිසින ලද මස් වර්ග

යන්තම් පිසගත් මස් වර්ග හෝ සොසේජස්, හැම්, බේකන් වගේ කල් තබා ගැනීමට සැකසූ මස් වර්ග ආහාරයට ගත්තාම ටොක්සොප්ලාස්මා, ඊ. කෝලයි, ලිස්ටීරියා සහ සැල්මොනෙල්ලා වැනි බැක්ටීරියා හෝ පරපෝෂිත ආසාදනයන් ඇති වෙන්නට ඇති ඉඩකඩ බොහොම වැඩියි.

හානිකර බැක්ටීරියා නිසා කුස තුළ සිටින දරුවාගේ සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල වෙනවා. එමගින් ස්නායු දුර්වලතා, බුද්ධියේ අඩු බව, අන්ධබව හෝ අපස්මාරය සහිත පමණක් නෙවෙයි, මළ දරු උපත් පවා සිදු වෙන්න පුළුවන්. බොහෝ බැක්ටීරියාවන් මස්වල මතුපිට සිටින අතර ඇතැම් බැක්ටීරියාවන් පේශි තන්තු අතර පවා සිටිය හැකියි. ඒ නිසා ආහාරයට ගනිද්දී ඉතාම හොඳින් ඇතුලත පවා පිස ගන්නා ලද මස් වර්ග පමණක්ම ආහාරයට ගන්න.

බර්ගර්, සිහින් කැබලි කළ මස් වර්ග, ඌරු මස් සහ කුකුළු මස් කිසිම ලෙසකින් අඩුවෙන් පිස ආහාරයට ගන්න එපා. රත් කරද්දී දුම් දමන මට්ටමටම රත් කර බැක්ටීරියා විනාශ වෙන්නට අනිවාර්යයෙන්ම ඉඩ හරින්න.

4. අමු බිත්තර

බිත්තර වල තිබෙන සැල්මොනෙල්ලා බැක්ටීරියාව ශරීරගත වුණාම මවට උණ, ඔක්කාරය, වමනය, බඩේ අමාරු සහ පාචනය ඇති වෙන්‍න පුළුවන්. ඇතැම් අවස්ථාවලදී ගර්භාෂයේ ද අපහසුතා ඇති වෙනවා. එවිට නොමේරූ දරු උපත් හෝ මළ දරු උපත් සිදු වෙන්නට පුළුවන්.

ස්ක්‍රැම්බල් කර හෝ යන්තම් පිසගත් බිත්තර, නිවසේ සකසා ගත් අයිස්ක්‍රීම් සහ මයෝනීස්, සැලඩ් මතට සැරසීම් සඳහා එක් කරන දේවල් සහ කේක් අයිසිං වගේ දේවල් ආහාරයට ගැනීමෙන් වැළකී සිටින එක හොඳයි. බිත්තර තෝරා ගනිද්දී කටුව පළුදු වූ සහ අපිරිසිදු බිත්තර ඉවත් කරන්න. බිත්තරය බිඳින්න කලින් මතුපිට හොඳින් සෝදන්න. සාමාන්‍ය වෙළඳසැලකින් නොගෙන පාස්චරීකරණය කරන ලද බිත්තර පාවිච්චියට ගන්න. පිසීමේදීත් බිත්තරය හොඳින් තම්බන්න. බිත්තර සහිත ආහාරවර්ග වෙළඳපොළෙන් මිලදී ගනිද්දී සැලකිලිමත් වෙන්න.

5. පීකුදු

පීකුදුවල යකඩ, විටමින් B12, A සහ තඹ වැනි පෝෂ්‍ය ද්‍රව්‍ය මවට මෙන්ම දරුවාට බොහොම හිතකරයි. එහෙනම් ඔබ බලන්න ඇති ඇයි කෑමට නුසුදුසු කෑමක් විදියට පීකුදු ගැන කියන්නේ ඇයි කියලා. පීකුදු ඉතා පෝෂ්‍යදායී ආහාරයක් වුණාට ගර්භණී මව්වරුන්ට නම් පමණට වඩා ආහාරයට ගැනීම හොඳ නැහැ. 

සත්ත්වයන්ගෙන් ලැබෙන විටමින් A ගර්භණී කාලය තුළ පමණට වඩා ගැනීම අහිතකරයි. එමගින් විටමින් A විෂවීම මෙන්ම ශරීරයේ තඹ මට්ටම් ඉහළ යාමෙන් සංකූලතා සහිත දරු උපත් සහ අක්මාවේ විෂවීම් සිදු වෙන්නට පුළුවන්.

ගර්භණී කාන්තාවන්ට පීකුදු ආහාරයට ගැනීම නිර්දේශ කර තිබෙන්නේ සතියට එක් වතාවක් පමණයි.

6. කැෆේන්

කැෆේන් කියන්නේ අඛණ්ඩ මනෝ ක්‍රියාකාරීත්වයක් පවත්වා ගන්න ලොව පුරා බහුලව පාවිච්චි වෙන දෙයක්. තේ, කෝපි සහ කොකෝවා මෙන්ම ශක්තිජනක පාන නමින් වෙළඳපොළ තිබෙන පාන වර්ග බොහොමයක කැෆේන් අති විශාල ප්‍රමාණ වලින් අඩංගු වෙනවා. ගර්භණී මව්වරුන්ට දවසකට නිර්දේශිත කැෆේන් ප්‍රමාණය මිලිග්‍රෑම් 200යි. ඒ කියන්නේ කෝපි කෝප්ප 2ක් 3ක් වගේ ප්‍රමාණයක්.

කැෆේන් බොහොම වේගයෙන් ශරීරයට උරාගෙන කළල බන්ධය හරහා කළලයටත් ලැබෙනවා. කුස තුළ සිටින දරුවන්ට කැෆේන් බිඳලන්නට අවශ්‍ය එන්සයිම නොමැති නිසා විශාල ප්‍රමාණවලින් කැෆේන් දරුවාගේ ශරීරය තුළ රැ‍ඳ‍ෙනවා. එනිසා ගර්භණී සමයේදී ඉහළ කැෆේන් මට්ටම් ගත්තාම කළලයේ වර්ධනය අඩාල වෙලා අඩුබර දරු උපත් සිදු වෙනවා. අඩු බර හෙවත් කිලෝ 2.5ට අඩු දරුවන් උපතින් පසු මරණයට පත් වීම වගේම එයාලා වැඩිහිටියන් වුණාම දියවැඩියාව, හෘදයාබාධ වගේ නිදන්ගත රෝග වලට පවා මුහුණ දෙනවා.

7. නොසෝදා ආහාරයට ගන්නා දේවල්

ගර්භණී සමයේ ඇතිවන ආසාවන් නිසා පාරේ විකුණන්න තියෙන පලතුරු වර්ග එහෙම සෝදන්නේම නැතිව ආහාරයට ගන්න හිතෙනවා. ඒත් මේ විදියට නොසෝදා ආහාරයට ගන්නා එළවළු, පළතුරු ආදිය නිසා බැක්ටීරියා සහ පරපෝෂී අවදානම් වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. එළවළු සහ පළතුරු වෙළඳපොළට ගෙන ඒමේදී බිම තැබීම, විවිධ අය අතින් ඇල්ලීම නිසා සුපිරි වෙළඳසැල්වල පිරිසිදු පෙනුමට ඇති ඒවා පවා ටොක්සොප්ලාස්මා, ඊ කෝලයි, සැල්මොනෙල්ලා සහ ලිස්ටීරියා වැනි බැක්ටීරියා වලින් සමන්විත වෙන්නට පුළුවන්.

ටොක්සොප්ලාස්මා කියන්නේ මවට මෙන්ම නොඉපදුණු දරුවාටත් භයානක බැක්ටීරියාවක්. මෙය ආසාදනය වන ඇතැමුන්ට මාසයක් හෝ ඊට වැඩි උණ තිබෙන්නට පුළුවන් නමුත් බොහෝ දෙනෙක්ට බාහිරින් පෙනෙන කිසිදු රෝග ලක්ෂණයක් නැහැ. මෙය වැළඳී උපදින දරුවන්ට අන්ධ බව, බුද්ධිමත් බවේ ගැටළු පසුකාලීනව ඇතිවන්නට පුළුවන්. සමහර දරුවන්ට උපතේදීම ඇස්වල රෝග සහ මොළයට හානිවීම් සිදු වෙනවා.

එනිසා ගර්භණී කාලයේදී බොහොම කල්පනාවෙන් එළවළු සහ පළතුරු හොඳින් සෝදලා, පොත්ත ඉවත් කරලා, එළවළුවක් නම් හොඳින් තම්බලා පමණක්ම ආහාරයට ගන්න. ඒ වගේම කඩෙන් කනවා නම් සලාද වර්ග එහෙම නොසෝදා තිබිය හැකි නිසා කල්පනාකාරී වීම වැදගත් වෙනවා.

8. පාස්චරීකරණය නොකළ කිරි, චීස් සහ පලතුරු බීම

පාස්චරීකරණය නොකළ හෙවත් අමු කිරිවල ලිස්ටීරියා, සැල්මොනෙල්ලා, ඊ කෝලයි, කැම්පිලොබැක්ටර් වැනි විෂ සහිත බැක්ටීරියාවන් ඉන්න පුළුවන්. වෙළඳපොළේ තිබෙන පාස්චරීකරණය නොකළ විවිධ පලතුරු බීම වර්ග වලත් ඒවා සැකසීමේදී, ගබඩා කර තැබීමේදී බැක්ටීරියා ආසාදනයන්ට ලක්වී තිබෙන්නට පුළුවන්. මේවා ශරීරගත වුණාම කුස තුළ සිටින දරුවාට ජීවිත තර්ජනයන් පවා එල්ල විය හැකි බව පර්යේෂණ ගණනාවකින් තහවුරු වී තිබෙනවා.

ආහාරවල ගුණ විනාශ නොවී අහිතකර බැක්ටීරියා විනාශ කිරීමට සුදුසුම ක්‍රමය වන පාස්චරීකරණය කළ කිරි, චීස් සහ පලතුරු බීම පමණක්ම ගර්භණී මාතාවන්ට නිර්දේශ කරන්නේ ඒ නිසායි.

9. කෙටි කෑම වර්ග

ගර්භණී සමය කියන්නේ බොහොම වේගයෙන් වර්ධනය සිදුවන කාලයක්. එනිසා ගර්භණී මව්වරුන්ට වෙනදාට වඩා ප්‍රෝටීන්, ෆෝලේට් සහ යකඩ ආදිය අඩංගු පෝෂ්‍යදායී ආහාර අනිවාර්යයෙන්ම ගත යුතු වෙනවා. ඒ වගේම දැන් ඔබ දෙන්නෙක් වෙනුවෙන් ආහාර ගන්නා නිසා වෙනදාට වඩා කැලරි 350ක් 500ක් විතර වැඩිපුර ගන්න ඕන. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ දෙගුණයක් කන්න ඕන කියන එක නෙවෙයි. මවටත් දරුවාටත් නිසි පෝෂණය ලැබෙන පරිදි සමබල ආහාර වේලක් ගැනීමයි කළ යුතු වෙන්නේ.

කඩේ තිබෙන පිටි කෑම, ටිපි ටිප්, බැදපු මඤ්ඤොක්කා හෝ අල පෙති වගේ කෙටි කෑම වර්ගවල පෝෂණ ගුණය බොහොම අඩුයි. ඒවායේ කැලරි ප්‍රමාණය, තෙල් සහ සීනි අධික මට්ටම් වලින් තිබෙනවා. පමණට වඩා පිටි හෝ සීනි ශරීරගත වුණාම දියවැඩියාව සහ හෘදරෝග තත්ත්ව පවා ඇති වෙනවා. ගර්භණී සමයේදී ශරීරයේ බර පමණට වඩා වැඩිවුණාම දරුවා බිහිකිරීමේදී ගැටළු ඇති වෙන්න පුළුවන්. දරුවාටත් ඔබ ගන්නා ආහාර බලපාන නිසා දරුවා අධි බර සහිතව උපදින්න පුළුවන්. ඉන් දරුවාට පසුකාලීනව ස්ථුලතාව වැනි රෝග තත්ත්වයන්ට පවා මුහුණ දෙන්නට සිදු වෙනවා.

10. ශාකසාර තේ

ශරීරය හැඩ කරගන්නට බොහෝ කාන්තාවන් ශාකසාර තේ හෙවත් හර්බල් ටී වලට පුරුදුව ඉන්නවා. ජින්සෙන්, කෝමාරිකා වැනි විවිධ තේ වර්ග වෙළඳපොළේ ගන්නට තිබෙනවා. නමුත් ගර්භණී සමයේ මේවා භාවිතයෙන් වැළකී ඉන්න එක හොඳයි. මොකද, දරු උත්පත්තියේදී විවිධ සංකූලතා මතු කරන්නට මේ තේ වර්ග බලපානවා. ඔබට අවශ්‍ය නම් සාමාන්‍ය තේ ශාකයෙන් සකසා ගන්නා තේ එකක් බොන්න.

ඔබේත් ඔබේ කිරිකැටියාගේත් ආරක්ෂාව වෙනුවෙන් අපි වැඩිපුර දෙයක් කියන්නම්. ඒ තමයි, ඔබට අසාත්මිකතා ඇති කරන එහෙමත් නැත්නම් ඇලර්ජි වෙන කෑම වර්ග කන්න එපා කියන එක. රටකජු, සෝයා, මාළු වර්ග වගේ ඔබට දැනටමත් අසාත්මිකතා ඇතිවන කෑම වර්ග ගුණය ගැන සිතාවත් ආහාරයට ගන්න එපා. ඒකෙන් දරු ගැබ විනාශ වෙන්නටත් ඉඩ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page