Categories
An Idea

ඔබේ හැකියාවෙන් Online මුදල් උපයන්න ක්‍රම 10ක්

Photo by Andrea Piacquadio from Pexels

අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රම කියලා හැම තැනම දකින්න ලැබුණාට ඒවා කරන්නට ගිහින් සමහර විට ඔබ ගොඩක් අමාරුවේ වැටිලා ඇති. එහෙම සිද්ධ වෙන එක අහම්බයක් නෙවෙයි. ගොඩක් දෙනා කරන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන බව උගන්වන බවට පොරොන්දු වෙලා ඔවුන් මුදල් හොයාගන්නා එකයි. එයාලා ප්‍රධානම ක්‍රමය විධියට කියන්නේ ඇඩ් ක්ලික් කිරීම යි. ඒත් ඒ වගේ බොරු වැඩ වෙනුවට මහන්සියෙන්, හරියට මුදලක් අතට එන විදියට කරන්න පුළුවන් නිවැරදි ම ක්‍රම 10ක් ගැනයි මේ ඔත්තුව.

  1. YouTube එකෙන් දැනුම, අත්දැකීම් බෙදාගන්න

“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියන්න වගේ අපි හැමෝම හොඳටම දන්න එක් විෂයයක් තිබෙනවා. ගණිතය, විද්‍යාව වගේ පාසල් විෂයයන්ට ම මේ දැනුම සීමා වෙන්නේ නැහැ. සමහරවිට ඔබට කෙනෙක්ට අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නේ කොහොමද කියන එක ගැන උපදෙස් දෙන්න පුළුවන් හැකියාවක් ඇති. එහෙමත් නැත්නම් හොඳට උයන්න පුළුවන් ඇති. මෙන්න මේ වගේ ඔබ වඩාත්ම දක්ෂ, ඕනෑම විෂයය ක්ෂේත්‍රයක් තෝරගෙන ඒ ගැන ඔන්ලයින් උගන්වන්න. සිත්ගන්නා සුළු ආකාරයට, හොඳ මාතෘකා වලින් වීඩියෝව සකසාගන්නට පුළුවන් වුණොත් ඉක්මණින්ම ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. සමහර විට ප්‍රසිද්ධ වෙන්න මාස කිහිපයක් ගත වෙන්නටත් පුළුවන්. වැඩේ අත නොහැර ඉවසීමෙන්, අඩුපාඩු හදාගෙන දිගටම කරගෙන යන්න. මේ සඳහා මුලින් YouTube චැනල් එකක් හදලා, වීඩියෝ දහයක් – පහළොවක් YouTube එකට දාන්න.

Advertisement

කාලය ගතවත්ම, ප්‍රසිද්ධිය ඇති වුණාට පස්සේ, මුදලට ඉගැන්වීම සඳහා ඔබව සම්බන්ධ කරගන්නා ලෙස වීඩියෝව තුළින්ම කියන්න. එහෙමත් නැත්නම්, අනුග්‍රාහක දැන්වීම් හොයාගන්නට පුළුවන්. Travel ගැන කරන කෙනෙක්ට එක එක කෑම කඩවලට ගිහින් ඒවායේ අත්දැකීම් බෙදාගන්නා ගමන් ඒ වෙළඳසල් එක්ක සබඳතාවක් ගොඩනගාගෙන ඔවුන්ගෙන් මුදලක් ලබා ගන්නටත් පුළුවන්. මුලින් ඒ වගේ පොඩි පොඩි දේවල් කළාට පස්සේ ලොකු හෝටල් වලින් ඔබට ආරාධනා ලැබෙන්න පටන් ගනීවි.

  1. වෙනත් ව්‍යාපාරයක භාණ්ඩ විකුණන්න (Dropshipping)

ගෙයින් ගෙට යමින් අව්වේ දුක් විඳින සේල්ස්-රෙප් කෙනෙක්ට වඩා බොහොම පහසුවෙන් එය අන්තර්ජාලය හරහා කරන්න පුළුවන්. මෙය කළ හැකි මූලික ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි, වෙළඳසලක් හෝ සේවා සපයන ආයතනයක් සමග සම්බන්ධතාවක් ගොඩනගා ගෙන ෆේස්බුක් හරහා ඔවුන්ගේ ප්‍රවර්ධන කටයුතු කරමින් පාරිභෝගිකයන් ගෙන්වා ගන්නා එක. ඔබ හරහා එම පාරිභෝගිකයන්ව අදාල ආයතනයට යොමු කරලා ආයතනයෙන් කොමිස් මුදලක් ලබා ගන්න හැකියාව තිබෙනවා.

දෙවැනි ක්‍රමය තමයි, වෙබ් අඩවියකින් රිෆරල් ලින්ක් (Referral Link) එකක් අරගෙන ඒක ෆේස්බුක් එකේ දාන එක. ඇමසන්, අලිබබා වගේ වෙබ් අඩවිවලින් හෝ වෙබ් හොස්ටිං වැනි සේවාවන් ලබාදෙන වෙබ් අඩවි වලින් මේ වගේ ලින්ක් ලබාදෙනවා. ඒවා අපිටම සැකසූ විශේෂ ලින්ක් නිසා ඒක ක්ලික් කරලා කෙනෙක් ඒ වෙබ් අඩවියට පිවිසිලා භාණ්ඩයක් ගත්තාම ඒකෙන් අපිට කොමිස් මුදලක් ලැබෙනවා. මේ ලින්ක් කෙලින්ම ‍දානවා වෙනුවට ඒ නිෂ්පාදනය හෝ සේවාව ගැන විස්තරයක් එක්ක පළකරනවා නම් බලන කෙනෙක්ට එය පහසුවක් වෙනවා. ඒ වගේම, ඒක ක්ලික් කරන්න හිතෙනවා. ෆේස්බුක් එකේම ලියනවා වෙනුවට අවශ්‍ය නම්, ඔබේ බ්ලොග් අඩවියේ එම නිෂ්පාදනය ගැන පෝස්ට් එකක් දාලා, ඒක මිලදී ගැනීමට රිෆරල් ලින්ක් එක යටින් දාන්න. ඊට පස්සේ, ඔබේ බ්ලොග් පෝස්ට් එකේ ලින්ක් එක ෆේස්බුක් එකට Share කරන්න.

  1. පොඩ්කාස්ට්

රේඩියෝවක වගේ ශබ්දය භාවිතයෙන් කරන ඉදිරිපත් කිරීමක් තමයි podcast කියන්නේ. කැමරාවකට මුහුණ දීලා වීඩියෝ කරන්න අකමැති අයට මේ ක්‍රමය යොදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොඩ්කාස්ට් එකක් ඔබේම රේඩියෝ වැඩසටහනක් විදියටයි ක්‍රියාත්මක වෙන්නේ. සතියකට සැරයක් හෝ දවස් දෙකකට වතාවක් වගේ පොඩ්කාස්ට් එකෙහි ඉපිසෝඩ් එකක් දාන්න පුළුවන්. මෙහිදී ඔබ කැමති විෂය ක්ෂේත්‍රයක් හෝ විවිධ ක්‍ෂේත්‍රයන් ගැන කතා කරන්න පුළුවන්. අලුත්ම තාක්ෂණික පුවත්, ආහාර වට්ටෝරු, ප්‍රසිද්ධ කෙනෙක් ගෙන්වාගෙන කරන සංවාද, විහිළු වැඩසටහන් වගේ ගොඩක් දේවල් ඔබට කරන්න අවස්ථාව තිබෙනවා. ෆේස්බුක් එකේ නම් මේ වගේ Audio ෆයිල් දාන්න දෙන්නේ නැති නිසා ඔබට ඔබේ ලෝගෝ එකක් යොදලා වීඩි‍යෝ එකක් ලෙස අප්ලෝ්ඩ් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම්, iTunes, SoundCloud වැනි සේවාවකට හෝ පොඩ්කාස්ට් සඳහාම වෙන්වුණු වෙබ් අඩවියකට ඍජුවම අප්ලෝඩ් කරන්න පුළුවන්.

කාලයක් ගත වෙද්දී ඔබ වටා රසික පිරිසක් ගොඩනැගෙනවා. ඔවුන් ඔබේ ‍පොඩ්කාස්ට් එකේ ඉපිසෝඩ් එකක් එනකම් බලාගෙන ඉන්න තත්ත්වයට පත් වෙනවා. අන්න ඒ බව දැනුනාට පස්සේ විවිධ වෙළඳ ආයතනවලට ව්‍යාපෘති යෝජනා යවමින් ඔබේ පොඩ්කාස්ට් එක හරහා ඔවුන් ගැන වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නට හැකි බව දන්වන්න පුළුවන්. ඔබ හොඳටම ප්‍රසිද්ධ වුණොත් ඒ ආයතනවලින්ම ඔබට කතා කරලා ඒ ගැන විමසාවි.

  1. සමීක්ෂණ දත්තවලට සහභාගී වීම

ව්‍යාපාරවල පැවැත්මට ඒවායේ තත්ත්වය පිළිබඳ සමීක්ෂණයන් අවශ්‍ය වෙනවා. නිවෙස් වලට ගිහින් කරනවා වෙනුවට ‍ලොව පුරා බොහෝ ආයතන වලින් මේවා දැන් අන්තර්ජාලය හරහා සිදු කරනවා. ඒ වගේම ඔවුන් ඊට මුදල් ගෙවනවා. විනාඩි කිහිපයක් ගත කරමින් ඔවුන්ට අවශ්‍ය දත්ත නිසි ආකාරව ලබා දුන්නාට පසුව ඊට අදාල ඩොලර් 3ක් 5ක් වගේ ප්‍රමාණයක මුදල ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. වැඩි මුදලක් ලබා ගනිද්දී ඇතැම්වායෙන් තවත් මිතුරන්ගෙන් දත්ත ලබාගෙන ඒවාට අනුව සමීක්ෂණයට තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

“Paid survey” ලෙස ගූග්ල් කළාම ඕනෑ තරම් මේ ආකාරයේ වෙබ් අඩවි සොයා ගන්නට පුළුවන්. නමුත් ඔබව රවටමින් මුදල් නොදී ඉන්නා සේවාවන් ද ඒ අතර තිබිය හැකි නිසා ටිකක් ප්‍රවේශමෙන් කරන එක හොඳයි. ඇඩ් ක්ලික් කරන ඇතැම් සේවාවන්ට මුදල් ගෙවා ඇඩ්ස් ලබා ගත යුතු නමුත් මේ ක්‍රමයේදී නම් ඔබට මුදල් ආයෝජනයක් කළ යුතු වන්නේ නැති නිසා එතරම් ගැටළුවක් නැහැ.

  1. චිත්‍ර හෝ අත්කම් අලෙවි කරන්න 

ඔබට චිත්‍ර කලාවට හෝ වෙනත් අත්කම් කරන්න හැකියාවන් තිබෙනවා නම් නිදහසේ ගෙදර ඉන්න අතරේ විනෝදාංශයක් විදියට කරන ගමන් ඒකෙන් මුදල් උපයන්නටත් පුළුවන්. මේකට හොඳම ක්‍රමය ෆේස්බුක් පේජ් එකක් හදන එකයි. ඒක‌ේ ඔබේ නිර්මාණ පළ කරන්න. නිර්මාණ කරද්දී උපන්දින වලට, වැලන්ටයින් දිනය, විවාහ සැමරුම් වගේ දේවල් පාදක කරගෙන කළාම ඒවා දකින අයට  ඒ වගේ තෑග්ගක් තමන්ගේ ආදරවන්තයාගේ හෝ ආදරවන්තියගේ උපන්දිනයටත් දෙන්න හිතේවි. චිත්‍ර අඳින්නට පුළුවන් නම් දැන් ප්‍රසිද්ධම ක්‍රමය තමයි පෝට්‍රේට් (Portrait) එහෙමත් නැත්නම් ඡායාරූපයක් චිත්‍රයක් බවට පත් කරන එක. ඔ‍බේ මිතුරන් කිහිප දෙනෙක්ගේ ඡායාරූප චිත්‍රයට නගලා ඒවායේ සත්‍ය ඡායාරූපයත් එක්කම ඔබ ඇඳපු චිත්‍රය Page එකේ දාන්න. එවිට ඔබට මුදල් ලබාගෙන ඒවා වෙනත් අයට කරදෙන්නට අවස්ථාව සලසා ගන්නට හැකි වෙනවා.

වැලන්ටයින්, අලුත් අවුරුද්ද, නත්තල් වගේ විශේෂ කාලයන් වලදී ඒවාට සුභ පැතුම්පත් නිර්මාණය කරලා ඒවායේ ෆොටෝ නිතර පළ කරන්න. අලෙවි කිරීමේදීත් එවන් කාලවලදී විශේෂ වට්ටම් ලබා දෙන්න. අත්කම් හෝ චිත්‍ර නොහැකි වුණත් ෆොටෝෂොප් වලින් නිර්මාණ කිරීමේ හැකියාවන් තිබෙනවා නම් ෆේස්බුක් එකේ පළ කරන්න ගන්නා සුබ පැතුම් ඡායාරූප හෝ ඔවුන්ට මුද්‍රණය කරගත හැකි ආකාරයේ ඡායාරූප ඔබට මුදලට සකසා දෙන්න අවස්ථාව තිබෙනවා.

  1. eBay වැනි වෙබ් අඩවියක භාණ්ඩ විකුණන්න

ඔබ දන්නවාද අපි දිනපතා විසිකරන පොල් කටු බාගයක් සුද්ධ කරලා ගත්තාම ඒකට ඩොලර් 3ක් ඒ කියන්නේ රුපියල් හයසීයක් තරම් මුදලක් ලබා ගන්නට පුළුවන් බව? ඒ මුදල පොල්කටු බාගයකට විතරයි. ඒ කියන්නේ එක පොල් ගෙඩියකින් ඔබට රුපියල් එක්දහස් පන්සීයක් විතර අන්තර්ජාලය හරහා වෙනත් රටවලට අපනයනය කරමින් මුදල් උපයන්න පුළුවන්. හොඳින් සුද්ධ කළ පොල්කටු වෙනත් රටවල ආපන ශාලාවල ආහාර තැබීමට ඔවුන් පාවිච්චියට ගන්නවා. ලංකාව තුළ පොල්කටු නිර්මාණ වලටවත් එතරම් මුදලක් නොලැබෙන නිසා නිර්මාණශීලී යමක් කරලා තවත් වැඩි මුදලකට ඔබට අන්තර්ජාලය හරහා අලෙවි කරන්න අවස්ථාව තිබෙනවා.

ඒ අපි ඔබට උදාහරණයක් විතරයි කිව්වේ. පොල්කටු විතරක් නොවෙයි, ඔබ කරන අත්කම් නිර්මාණ, පාවිච්චි කර ඉවත දමන හොඳ තත්ත්වයේ ඇති ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, සේවාවන් ආදී ඕනෑම දෙයක් මේ ආකාරයට අලෙවි කරමින් පහසුවෙන් ම මුදල් උපයන්න පුළුවන්. ඔබ වංචාවන් නොකර, ‍හොඳ ගුණාත්මක මට්ටමකින් දිගු කාලයක් භාණ්ඩ විකුණමින් හොඳ rating අගයක් ලබාගත්තොත් විවිධ රටවලින් වැඩි වැඩියෙන් ඇණවුම් ලැබෙන්නට පටන් ගන්නවා. අවසානයේ ඔබට එය ප්‍රධාන රැකියාව විදියටම කරන්නත් පුළුවන් වෙනවා.

  1. ෆේස්බුක් පිටුවක් පටන් ගන්න

ඒ කාලේ ‍බ්ලොග් අඩවි වගේ, ෆේස්බුක් පේජස් තමයි දැන් දැන් වැඩිපුරම ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ. මේවායෙන් ඉගෙනීමට දේවල්, විහිළු සහිත දේවල්, ආහාර වට්ටෝරු, ජීවිතයට උපදෙස්, ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කියමන් වගේ විවිධ ක්ෂේත්‍ර වලින් පෝස්ට් දාලා පහසුවෙන්ම රසික පිරිසක් බිහි කරගන්නට පුළුවන්. හොඳට ලයික්, කමෙන්ට් සහ Shares තිබෙන තත්ත්වයට Page එක ගෙනාවට පස්සේ කලින් අපි කියපු පොඩ්කාස්ට් වල වගේම වෙළඳ ආයතන වලින් අනුග්‍රාහක දැන්වීම් පළ කරන්නට අවස්ථාව ලැබෙනවා.

අපේ රටේ මේ ක්‍රමයෙන් තමන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත්තු අය ගොඩ දෙනෙක් ඉන්නවා. හොඳ නමකින් හදාගත්තාම අවශ්‍ය නම් ලොකු මිලකට සම්පූර්ණ Page එකම වුණත් විකුණන්නට පුළුවන්.

  1. Forex හෙවත් මුදල් හුවමාරු කිරීම

ඩොලරය වැඩි වෙමින් රුපියල පහළ යන ආකාරය මේ දවස්වල හොඳින් දකින්නට ලැබෙනවා. ගොඩක් දෙනෙක්ට මෙය ගැටළුවක් වුණත් මීට මාස කිහිපයකට කලින් ඩොලර් මිලදී අරගෙන හිටපු කෙනෙක්ට නම් මෙය හොඳ වාසියක්. Forex වලදී සිදු වෙන්නේ අපි ඩොලර්, ඉන්දියන් රුපියල්, යූරෝ වැනි කිසියම් මුදල් ඒකකයකින් මුදල් අරගෙන ළඟ තබාගෙන, වැඩි මිලකට විකිණීමයි. අන්තර්ජාලයේ මේ සඳහා වෙබ් අඩවි රැසක් තිබෙනවා.

මුදල් ඒකක පිළිබඳව හොඳ අවබෝධයක් ගොඩ නගාගත්තාට පස්සේ එනම්, විවිධ රටවල්වල දේශපාලනය හා ආර්ථිකය ගැන ඔබේ දැනුම අන්තර්ජාලය හරහාම වර්ධනය කරගැනීමෙන් අනතුරුව ඒ රටවල මුදල් ඒකකවල ඉහළ පහළ යාම් ගැන ඔබට අනුමාන කරන්නට හැකි වෙනවා. උදාහරණයක් ලෙස යූරෝ අගයයන් පහළ යනවා නම්, විශ්වාසදායී වෙබ් අඩවියකින් යූරෝ මිලදී ගැනීමක් කරලා, ටිකක් කාලයක් ගතවෙද්දී යූරෝ මිල යළිත් ඉහළ යනතුරු ඉඳලා ගත්තු ටික වැඩි මිලකට නැවත ලබා දෙන්න පුළුවන්. එවිට ඔබට ලොකු ලාභයක් ඉතිරි වෙනවා.

  1. Bitcoin අලෙවි කිරීම

Forex වෙබ් අඩවි වල වැඩිපුරම තිබෙන්නේ ලෝකයේ රටවල් සඳහා වෙන්වූ මුදල් ඒකක පමණක් නමුත් බිට්කොයින් වගේ ඉලෙක්ට්‍රොනික මුදල් ඒකකත් දැන් ලෝක ආර්ථිකය වෙනස් කරමින් සිටිනවා. බිට්කොයින් විතරක් ‍නොවෙයි, ඊතීරියම්, ලයිට් කොයින්, ඩොජ් කොයින් ‍වගේ ක්‍රිප්ටොකරන්සි රැසක්ම මේ වන විට බිහිවෙලා තිබෙනවා. ඔබ දන්නවාද? බිට්කොයින් පටන් ගත්ත කාලයේ ඒවා නොමිලේම බෙදා දී තිබෙනවා. නමුත් අද වන විට එක බිට් කොයින් එකක් ඩොලර් තුන්දහස් නවසියයක් පමණ එනම්, රුපියල් ලක්ෂ හතක් පමණ මිලකට ඉහළ ගොස් තිබෙනවා.

ඉතින් Forex වගේම ක්‍රිප්ටොකරන්සි එකක් මිලදී අරගෙන ළඟ තියාගන්න පුළුවන් නම් එහි මිල වැඩි වෙනකම් ඉඳලා ලොකු මුදලකට අලෙවි කරන්නට අවස්ථාව තිබෙනවා. නමුත් මේ මුදල් ආයෝජනයකින් කරද්දී හොඳ අවබෝධයකින් යුතුව, විශ්වාසදායී සේවාවන් හරහා  පමණක් ම කිරීම නුවණට හුරු බව අප ඔබට සිහිපත් කරනවා.

  1. අන්තර්ජාලය හරහා Part time රැකියාවක් කිරීම

අන්තර්ජාලයෙන් කිසිම සැකයක් නැතිව මුදල් ලබාගත හැකි ක්‍රමයක් වන්නේ Part Time රැකියාවක් කිරීමයි. Upwork වැනි වෙබ් අඩවියකින් මේ වගේ වැඩ හොයාගෙන ඔබට ඉල්ලුම් කරන්නට පුළුවන්. එහි වෙබ් අඩවි සැකසීම්, ලෝගෝ සැකසීම්, පොටෝෂොප් එඩිට් කිරීම් පමණක් නොව වර්ඩ් හෝ එක්සෙල් ‍ලිපි‍ ගොනු වලට දත්ත එකතු කිරීම වැනි ඕනෑම කෙනෙක්ට පහසුවෙන් කළ හැකි Data Entry වැඩත් තිබෙනවා. මේවා රැකියාවන්ම නොවෙයි, හුදෙක් ඔවුන්ට අවශ්‍ය කටයුත්ත කර දීමෙන් අපට මුදල් ලබා ගැනීමක් පමණක් නිසා සම්පූර්ණයෙන්ම මේ වෙනුවෙන් කැපවීමට අවශ්‍ය වන්නේත් නැහැ.

මෙහි විරුද්ධ ක්‍රමය Fiverr වැනි වෙබ් අඩවි වල තිබෙනවා. එහි කරන්නට තිබෙන්නේ අපිට කර දෙන්නට පුළුවන් දේවල් අපේ Profile එකේ දාලා තිබ්බාම වැඩ කරගන්නට අවශ්‍ය අය විසින් අපිට මැසේජ් කිරීමයි. මේ සඳහාත් Data Entry, මොබයිල් ඇප්වල අඩු ලුහුඬුතා හෝ වැරදි පෙන්වාදීම් වැනි දේවල් කර දෙමින් ඩොලර් පහක් පමණ උපයාගන්නට අවස්ථාව තිබෙනවා.

ඉතින් විවිධ අය කියන දේවල් නිසා අන්තර්ජාලයෙන් උපයන්නට ගොස් තිබෙන මුදලත් නැති කරගන්නවා වෙනුවට අපි මේ කියපු දේවල් හරියට කළොත් ඔබේ හැකියාවටත් වටිනාකමක් ලබාගන්නට හැකි වේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page