Categories
Lifetime

නොනගතේදී ලියමි..

මේ වෙලාවට වැඩ වරන්ට ඕනැ උනත් මැසිම නොදා හිටියොත් මා මරන්ට වන්නේ ය! විභාග වැඩ නිසා බ්ලොග් පෝස්ට් එකකට හිත හදාගන්න බැරිවුනා මාස ගානකින් ම. ඔන්න මේ වෙලාව අල්ලගත්තා නිදහසේම. “යෝහෝ! මේ පුණ්‍ය කාලයයි….“ 😀 කියලා පන්සල පැත්තට පා නග්ගනට ද මට ඇත්තේ පට්ට කම්මැලිකමෙකි. :-/

ජීවිතේට (ඔක්කොම යාළුවන්ට 😉 ) FB Online දාන්නෙනැති මම අද නිකමට වගේ ලයින් දැමීමි. 🙂 පන්ති නිවාඩු ලැබිලා, (ඉස්කෝලෙ තිබුණත් A/L අපි යන්නෙ නෑ නෙව) චුට්ටක් හිතට නිදහසක් දැනෙන දවස් ටිකක් තමයි මේ ගතවෙන්නෙ. බට් අවුල ඉතින් “පන්ති”භාර ගුරුවරුන්ට අවුරුද්ද දවස් දෙකක් විතරක් වෙච්ච එක. ඔය නිවාඩු දීපු එකටත් එක්ක ඔයපාර පන්තිදාවි දවසපුරාම! 😮 දෙසැම්බර් ය, අප්‍රේල් ය කියලා නිවාඩු දෙකක් ලැබීම එක අතෙකින් ඉංග්ලිෂ් ගැති වීමේ වාසියක් කියලා ද මේ වෙලාවට සිතේ.  මොකක් උනත් ඉස්කෝලේ යන්න උදෙන් නැගිට්ටවාගන්නට බැරි මා හෙට නම් උදෙන්ම (Alarm නැතිව) නැගිටිනු ඇත.

Advertisement

හතරවටින් ම රතිඤ්ඤා, අහස් ගුණ්ඩුවල සද්දේ ඇසෙන්නට පටන්ගෙන තිබේ. මේ දැනුත් මම උඩවිසිවුනා. 😀 මේපාර මටනං එව්වා හම්බඋනේ නෑ. නමුත් ඉස්සර ගත්ත ආතල් මතක් වෙනවා මේ කනට මීපැණි වක්කරන සද්ද ඇහෙනකොට. එකපාරක් මම පොල්කටුවක එක ඇහැකට (පොල්කටුවල අර සිදුරුවලට එහෙම කියනවනෙ?) රතිඤ්ඤයක් ඔබලා ඒක ටින් එකකට බස්සලා පත්තු කරා. පත්තු කරා කිව්වට, කරලා පණ එපා කියලා ගෙට දුවං ආවා අත්හදාබැලීමක් හින්දා. (තුවාලයක් උනා වගේ නෙවෙයිනෙ මාපිය ඥාතීන්ගෙ බැණුම් අහන්ට ගියාම! 😛 ) ඕක පත්තුවෙලා (දෙවනත් වුණා!) මිනිත්තුවකට විතර පස්සෙ තමයි ඔන්න පොල්කටුව ලෑන්ඩ් කළේ. 😀

පෙර නොනගතවලදි වගේ ම ඉතිං මේ වෙලාවට කරන්න තියෙන්නෙ ටීවී එක දාගෙන කොමඩියක් බලන එක තමයි. මොකද, රෑ නිසා ෆිල්ම් පෙන්වන එකක් නෑ 9-10 පහුවෙනකම්. ගිය අවුරුද්දෙ නම් දවල් කාලෙ තිබුණු නිසා “සිංහාවලෝකනය” බැලුවා. නොනගතේදි අහවල් අහවල් පාඩම් ඉවරකරනවා කියලා පොරටෝක් දෙන අපේ උන්දැලාගේ මෙවර වැඩපිලිවෙල නම් කොහොමද කියන්න දන්නෙ නෑ. ඇත්තටම ඔය කැලෑසිවල හැම මොහොතෙම පොත් බදාගෙන (නැතුව ඉතිං බොලාව බදාගන්නයැ?) ඉන්න ඉස්තිරී පාර්ශවේ මේ වෙලාවට මොනවා කරනවා ඇත්දැයි යන පැණය කවදාවත් නැතුව මට හිතුනේ මොකද මන්දා. 😀 (වැඩි හොඳකට නම් වෙන්ට බැරිය. 😉 )

අරුම පුදුම සීන් එක කියන්නෙ, මේ පාර මාව ඔය Facebook New Year greetings වලට ටැග්වූයේ ඉතාමත් අල්ප වශයෙනි. ඇත්තට ම ඒක නම් පුදුම සහනයකි. එනමුත් අහුවුණ අහුවුණ හිතමිත්‍රාදීන්ට සුබ පැතුම් යවන්නට අමතක නොකළෙමි. හැබැයි ඉතිං අපේ මහින්ද මාමි 😯 වගේ ‘සැමට එකක්’ නොව ‘එක එකාට වෙනවෙනම’ ය.

මේ වෙලාවට වැඩ කරන්න හොඳ නැතිය, මැෂින් එක දාං ඉඳලා ඒකත් නැතිවේවිය යනාදී දෑ කියමින් මට පන්සල් යන්නට බල කරන මෑණියන්ට ඇඟට අමාරුය, අරක මේක කියලා මම මඟහැරියෙමි. 😛 ඔය පුණ්‍ය කටයුතුවලටය කියලා පන්සලට එන ගැටිස්සියන් මට නුරුස්සන්නේ ය. අම්මට කියන්න පුළුවනෑ ඒක?  😈

පොතක් දිගහැරගෙන 12 කණිසමේදි නෙතු නොපියා සිටින්ට බැරි අන්දවස් වගේ නොව අදනම් නිදාගත්තත් නින්ද යන එකක් නැත. (ෆිල්ම් එකකට කෝමහරි සෙට් වෙන්නෝනෑ.) මොකක්වුණත්, “හුදෙක් නොනගතය යනු, නැකැත් නැති වෙලාවයි. ඒ වේලාවට සුභ කටයුතු මිස අන්දෑට බාධාවක් නැත” යන තර්කය නම් අද දිනයේ කිසිවිටෙකත් වැඩිහිටියන්ට ඉදිරිපත් නොකර සිටින්නට අවධාරණය කරගත යුතු වන්නේ ය. ඒ, ඉල්ලං නොකෑ යුතු බැවිනි. 🙂

අද උදේ මහණ වුණානම් කිසි ගේමක් නැතුව රෑ වේල අමතක කරන්නට තිබිණි. නමුත් පෙර දිනයන්හිදී සඟවා තබාගත් කැවිලි වේලක් මේ වෙලාවට හොරෙන් රසවිඳීම තරම් ගැම්මක් මටනම් තවත් නැත. (ටයිප් කරන්නත් බෑ හරියට. තෙල් ගතියට ඇඟිලි ලිස්සනවා. 😡 ) කොහොමවුණත් අද ඩිනර් එක කවුරුවත් මිස් නොකරගනු ඇතැයි සිතමි.

මේ පාරත් ගොඩක් දෙනෙක් “සැට් වෙන්න” හිතාගෙන එහෙම ඇතිනේද? පොඩි එකෙක් ලෙස (18 පැන්නට මං පොඩි එකා! හරිය?) මට එවැන්නුන්ට දෙන්නට ඇති එකම අවවාදය, වැඩේ පටන්ගන්න කලින් “ඔබේ හයහතර නොදත් දරුවාට ඒ පිළිබඳ කියාදෙන්න” යන්නයි. 😉 (මතකනේ අර ෆිල්ම් පටන්ගන්න කලින් දාන පණිවිඩේ?) අසල නිවාස දෙකතුනකට ඈතින් හැඳි ඝට්ටන, මව්ගුණ ගී මට ඇසේ. ඒ වෙලාවටවත් උන්දැලාට මෑණියන් සිහිවෙන එක මදෑ! (මං කිව්වෙ… තම තමන්ගෙ 😉 )

කොහාට ලණුදෙන එකත් නොවරදවා ම මේ පාරත් කරා. (Click here to see how.) 😀

නැවතිල්ලෙ හතලා බැලුවාම මේ ෆෙස්ටිවල්ස් ඇත්තට ම සැලිබ්‍රේට් කරන්නේ ව්‍යාපාරිකයෝ ය. ඔවුන් මේ සම්බන්ධව  ටීවී එකේ නොනවත්වා ඇඩ් නොදැම්මානම්, පාරතොටේ “සේල්” යන වදන ප්‍රදර්ශනය නොකළා නම්, කාර්මීකරණය සහ පිටරටගැතිභාවය නමැති වයිරසයේ අතුරු ආබාධයවූ Busyභාවය හමුවේ නූතනයන්ට එය අමතකවැ යන්නට ඉඩ තිබිණි. මොකක්වුණත් පාරිභෝගිකයන්ට නම් 75%ක් ම උත්සව වලින් ‘අතින් කයිට්වීම’ සිදුවේ. ආගන්තුක තෑගිබෝග නිසා 25%ක ලාභයක් ලැබෙන්නේ ඒවා දාමයක් පරිද්දෙන් නිවාස කීපයකට ම සම්ප්‍රාප්ත වන බැවිනි. 😀 (තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග නෙහ් 😛 )

අළුත් අවුරුද්දේ ජීවිතය අළුතෙන් පටන් ගත යුතුය; ඉන් දිවියට නව ප්‍රබෝධයක් ලැබේ කියලා පොරටෝක් දැම්මට කිරිබත් පොඩ්ඩක් වැඩිවෙලා දොයියමතවීම වැඩඇල්ලීමේදී මතුවෙන බාධාවකි. නින්ද නැතිවීමෙන් නිදිමතත්, ආහාර වැඩිවීමෙන් බුදිමතත් ඇතිවෙන බව දන්නවනෙ? මේ පාර ඔය දෙක ම එකපාර බලපාන එකනම් නොවැළැක්විය හැකිය. 🙂 ගනුදෙනු කිරීමනම් ඉතින් දෙවරක් නොසිතා සහභාගීවිය යුතු සිරිතකි. (දහඅටට වැඩි පොඩිහිටියන්ට චුට්ටක් වැඩි බජට් එකක් වෙන්කිරීම අත්‍යාවශ්‍යය! කියලා කියන්නට මසුරන් කටක් සොයාගත යුතුය.)

බලංගියාම සූර්යාගෙ රාශි මාරුව අපි අයුතු ලෙස භාවිතා කරනවා වගේ නෙ? අවුල කියන්නෙ, එයා මාරුවෙන වෙලාවට තියෙන පට්ට රස්නෙ දරාගන්න බැරි එකනෙ. සූර්යයා පෘථිවියට ආසන්නව ගමන් කිරීම නිසා මේ තත්වය සිදුවේය යන සයන්ටිෆික් කතාව වාර්ශිකව අහලා ම එපාවෙලා ය. පරිසර මාතාව මා…ර HOT :mrgreen: යැයි කියමින් මුවගට සිනා නගනවා මිස ෆෑන් එකක උණුසුම් වාතධාරාවක් සිපගැනීමේ ඇති ඵලයක් මේ කාලයේදී නම් නැත. කෘත්‍රීමව සිසිලස ඇතිකිරීමට පරිසරයට ඊට වැඩි තාපයක් වැයකිරීමට සිදුවනබව් පිකිස් වලදී අසා ඇත්තෙමි.

මේකෙදි ඔය රූපවාහිනී අවරුදු කුමරියන් ගැන කතා නොකරම බැරිය. වෙළඳ දැන්වීම් බලන අතරෙ මම නිකමට වගේ ඔය තේරිල්ලක් බැලුවෙමි. අයියෝ! මෙලෝ රහක් නැත. (සරාගී බව ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නෑ. මං මෙතන අදහස් කළේ සංස්කෘතිය ගැන) උන්දැලා අවුරුදු කුමරිය යනු කවුරුදැයිවත් නොදන්නා පාට ය! මුන්දැලා ගෙඩිපිටින් Catwalk යති. බුරිය පෙනෙන්නට හඳිති. කොණ්ඩේ නානාවිධ පාට කරලා ය. ගමනාන්තයේදී ආයුබෝවන් කියන්නේ ආවාට ගියාටය. හරියට කියනවානම් හුදෙක් Fashion Show එකක් බවට ඒ උත්තරීතර අංගය පත්වී හමාරය. පංච කල්‍යාණිය ගැන මොවුන්ට වගේවගක් නැති අතර ඕවා දිහා (මං වගේ) කලාත්මක ඇසකින් පමණක් බැලීමෙන් හයිපොතැලමසට නිදහස ලැබේ.

එහෙනං, සැමට “එසේ ම වේවා!”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page