Warning: Undefined array key "id" in /www/wwwroot/thambaru.com/wp-includes/class-wp-list-util.php on line 170
Site icon Thambaru's Blog

මැක් බුකයක් ගැනීම සහ මාරුවීමේ දුක සතුට

ඔපීසියෙන් හම්බුණ 14″ ලැප් එකට ඇබ්බැහි වෙලා පුංචි සයිස් එකක් ගන්න ආසාවක් ආවා. මගේ තිබ්බ Acer එකත් දැන් අවුරුදු 5ක් විතර පරණයි. අභාවයට යන ලකුණු පෙන්නන්න ගත්තා.

ඒ නිසා පොඩි එකක් බල බල ඉඳිද්දි තමා ඇපලයක රහ බලන්න හිතුණෙ. රහට වඩා පට්ට සුවඳයි. මොනා නැතත් අලුත් ටෙක් අයිතමේක සුවඳ බැලිල්ල කාලෙකින් වින්දා. 

මං ගත්තෙ Macbook Air M4 (2025) 16GB RAM, 256GB storage තියෙන base ​මොඩල් එක. අලුත් කඩේකිං කොත්තුවක් ටෙස්ට් කරද්දිත් මුලින් අරං බලන්නෙ නෝමල් සයිස් එකක් නෙව.

Design එක

“අයියෙ නිල් පාටෙං එකක් දෙන්න” කිව්වට මේක අළු පාටද මන්දා. වයිෆ් කියන්න වගේ මට කොහොමත් වර්ණ අන්ධතාවෙ තියෙන නිසා නිල් ද අලු ද වෙන පාටක්ද කියන්න දන්නෑ. පෙට්ටියෙ නං ඉස්කයි බ්ලූ කියලා තමා ගහලා තියෙන්නෙ.

Build එකේ Feel එක අතින් ගත්තාම නම් fully satisfied. ලස්සනයි, හුරු බුහුටියි. මෙලෝ බරක් ඇත්තෙත් නෑ. පුටුවෙ වාඩි වෙලා ඇදේට ඉද්දි Humidifier එකෙන් එන තද හුළං පාරට මූ පියාඹන්න හදනවා. Air කියන්නෙ ඇත්ත තමා.

විකාර චාජරේ

ඇපල් චාජරේ පිටසක්වලිං ගෙනල්ලද ඕයි කියලා හිතුණා. ඇයි බො​ලේ ඒකෙ බිත්තියට හයිවෙන කෑල්ල brick එකට සෙට් කරන්න විසාල ඇලුමිනියං කෑල්ලක් තියෙනො. ඕක අස්සෙං ගිහින් ඒක හයි කරගෙන ඒකට ඔන්න USB C එක ගහන්න ඕන. ඒකත් හරි කියමුකො. ඒ දීලා තියෙන වයර් එකේ අනිත් කෙළෝරෙ තියෙන්නෙ කාන්දං පෝට් එකක්. 

මෙච්චර European Union එකෙන් USB C දාපං දාපං කියද්දිත් මුන් ඒකටත් unorthodox ලබු ඇටයක් හයි කරපු එකට මං තරහයි.

MacOS එකේ ජල්බරිය

ලිනක්ස්වලත් උඩින් වෙලාව තීරුවයි, යටින් ඇප්ස් ටිකයි තියෙන එකෙන් ස්ක්‍රීන් එකේ ඉඩ යන ප්‍රමාණෙ වැඩියි. හැබැයි අවුල තියෙන්නෙ ලිනක්ස් වල නෙවෙයි, ලිනක්ස්වලට ම කියලා ලැප්ටොප් හදන්නෙ නැති එක. MacOS එකෙත් උඩ යට වහගත්තට ස්ක්‍රීන් එක උසින් වැඩියි, පළලින් අඩුයි. ඒ නිසා ඒ ගියපු ඉඩ ප්‍රමාණය දැනෙන්නෙ නැහැ.

Desktop කීපයක් හදලා ඒවට නම් දාලා පිළිවෙලක් කරන්න ගියා. දාගන්න විදියක් හොයාගන්න නෑ. ගූගල් දෙයියගෙං ඇහුවාම කිව්වෙ නැතෑ මේකෙ ඒ සෙල්ලං බෑ කියලා. මොන ලභ්භක්ද යකෝ!

ෆිල්ම් ටිකක් බාලා පෙන් එකට දාන්න ගියාම NTFS read onlyලු. ඒ පාර Mounty.app කියලා සයිට්ටෙකකිං එකක් දාගත්තාම හරි ගියා. පෙන් එක exFAT කරන්න විදියක් නෑ Android TV එකට exFAT ගන්නෙ නෑ ලොකු ෆයිල් සයිස් තියෙද්දි. (නෑ නෑ එහෙමයි කියලා ඒපාර ඇපල් ටීවී එකකුත් ගන්න පිස්සුවක් (තාම) නෑ)

ෆෝල්ඩරයක් හදන්න ගත්තා development පටන් ගන්න. ඒක මං ක්ලික් කරපු තැනින්ම හැදුනෙ නැතැයි. කිසි පිළිවෙලක් නෑ හදන හදන ඒවා ඒ ඒ තැන්වල, auto align වෙන්නෙ නෑ. ඇපල් Design ලස්සන වුණාට පිළිවෙලක් නැති ඒ තීරණේ ගත්තෙ මොකාද මන්දා. (Finder එකේ View -> Sort by එකෙන් Snap to Grid දාලා, Sort by name තෝරලා, Show view optionsවලින් ඒක Set as Default විදියට දාලා තමයි හදාගත්තෙ)

අලුතින් ලැප් එකක් ගත්තාම කරන Bloatware පිරිසිදු කිරිල්ලත් මෙව්වයෙ බෑලු. Uninstall option එකකුත් නෑ. බලෙන් අයින් කළත්, අලුතින් එන OS updates වලින් default apps හොයද්ද ඒවා නැති වුණාම අවුල් යනවා කියලා තමයි ඇපල් Support Forumsවල තිබ්බෙ. ඉතින් අන්තිමට සේරම ටික Launchpad එකේ තනි ෆෝල්ඩරේකට දාලා ඒක දිහා බලන්නෙ නැතුව ඉන්නවා කියලා හිතාගත්තා. OCD තිබ්බට කරන්න දෙයක් නෑ පුතා.

Default apps පළවෙනි පාරට open කරද්දි තමයි ඒවා config වෙලා වැඩ කරන්න පටන් ගන්නෙ. මට ඉතින් එකිං එකේ පීත්ත පටි කප කප ඉන්න බැරි නිසා මොකක් හරි ෆයිල් එකක් open කරද්දි ඒ browse window එක හිට්ටා. මොකද, මං ඒ ඇප් එකේ ව’ජිනිටිය නැති කරලා නැති නිසා.

Keyboard එකේ සමයං

කීබෝඩ් එකේ Control, Option, Command කියලා keys හැට හුටහමාරක් තියෙනවා. ඒ සේරගෙන්ම වෙන්නෙත් ALT, CTRL දෙකෙන් කෙරෙන ටිකමයි. හැබැයි Home, Delete key (දකුණු පැත්තට අකුරු මැකෙන එක), Page Up/Down නැහැ. ඔය සමයං keys ටික නිසා තමයි වෙන කීබෝඩ් සෙට් කරන්නත් බැරි. 

හැබැයි Fn key එකේ ලෝක ගෝලයක අයිකන් එකක් දාලා ඒකෙන් Language change කරන්න හදපු එකනං මල් හතයි. නැත්තං ALT+Space හරි Win+Space හදාගන්න වෙනවනෙ. ඒ වැඩේ ෆෝන්වල language මාරු කරනව ව​ගේම නිසා ආතල්.

දැනට තත්තෙ

කොහොමහරි ඉතිං දැනට overall experience එක හොඳයි. බර වැඩකට අත ගැහුවෙ නැති නිසා Fan නෑ කියලා cooling issues ආවෙ නෑ. පීනසේ හැදිලා වගේ සීතලට තියෙනො.

Browser history එකනම් “macos how to…” කියලා පටන් ගන්නේවයිං පිරිලා ඕං!

Exit mobile version