Categories
Psychology

අපිව පහතට හෙලන අපේ ම මෝඩ ලොජික් 4ක්

වැඩක් කරන්න ගියාම ඒක අපි හිතපු විධියට ම කවදාවත් කෙරෙන්නේ නැහැ. එහෙම වුණා නම් ඒ පොඩි කාලෙදි හීනෙන් washroom එකක් පෙනුණු වෙලාවක ම තමයි. 😉 ඉතින් මෙහෙම අපි ප්ලෑන් කරන විධියට දේවල් සිද්ධ නොවෙන කොට අපි ඒක සාධාරණීකරණය කරන්න විවිධ ලොජික් ගේනවා. හැබැයි ඒ ඉදිරියට යන විධියට නෙවෙයි, සේරම අතෑරලා දාලා “අනේ මං කරන ඒවා හරියන්නේ නෑ” කියලා අවුල් ගහලා අපිවම පසුපසට ඇදගන්නා විධියට යි. මෙවන් අවස්ථාවකදී අපිට වෙන කෙනෙක්ගෙන් හෝ අපේම හිතෙන් අහන්න ලැබෙන දේවල් කිහිපයක් ගැන මේ ලිපියෙන් බලමු.

එයාලාට ඒවා හරිගියාට මට ඕවා හරියන්නෙ නෑ

Advertisement

අපි බොහෝ වෙලාවට අපිට දැනට තිබෙන හැකියාවන් එක්ක සීමා වෙනවා. ඒත් ඒ දැනට තිබෙන හැකියාවන් ටික ආවෙ කොහොමද කියලා කල්පනා කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ යමක් කරන්නට ගිහින් ඒක ඇණ ගත්තාම ආපෝ ඕක හරියන්නෑ කියලා අතෑරලා දාලා හැම දේකින්ම අයින් වෙලා ඉන්නා එකයි. සමහරවිට; යාළුවන්ට වඩා තමන්ට ගණන් වැනි විෂයයකට ඇති අදක්ෂතාව, කෙනෙක්ගේ සිත් ගන්නට නොහැකිවීම වැනි දෙයක් විය හැකියි.

මෙයට හේතුව, අපි අපිව අනිත් අය සමඟ සසඳන්නට යෑමයි. කිසිම ජීවියෙක් එකම අච්චුවෙන් හැදෙන්නේ නැහැ. ඔන්න මැෂින් එකකින් වගේ සට සට ගාලා මිනිස්සුන්ව එළියට දානවා නම් බහුතරයේ හැකියාවන් අනුව අපිට “සම්මත මිනුමක්” සකසා ගන්න පුළුවන්. ඒත් අපි එකිනෙකාට සාපේක්ෂයි. අඩුම තරමේ ඔබේ එක් ඇසක තාරා මණ්ඩලය අනෙක් ඇසේ තාරා මණ්ඩලයට සමාන නැහැ. ඉතින් ඔබ කියන්නේ විශේෂ කෙනෙක්. මේ කිසිම දෙයක් නොතේරෙන පොඩි කාලෙදිත් වැටි වැටි ඇවිදින්න ඉගෙන ගත්තා නම්, ඇයි ඔබට අද සිදුවුණු දෙයින් අළුත් දෙයක් ඉගෙන ගෙන හෙට දෙපයින් නැගිටින්න බැරි? එතකොට “එයාලාට” වඩා විශේෂ විධියකට කළ හැකි ක්‍රමයක් ඔබට හමුවේවි.

මම කරන්න තියෙන හැමදේම කරලා බැලුවා

මේකත් දෙයක් එපා වුණාම කියන කතාවක් මිසක් අප්‍රතිහත ධෛර්යයෙන් උත්සාහ කරලා කියන එකක් නෙවෙයි. හරියටම බැලුවොත් එච්චර උත්සාහ කරාට පස්සෙ කොහෙත්ම එහෙම කතාවක් කියවෙන්නේ නැහැ. මොකද, ඒ වන විට ලබා තිබෙන අත්දැකීම් එක්ක ඔබට විසඳුමක් අනිවාර්යයෙන් ම ලැබෙනවා.

ඉතින් ඔබට මේ වගේ අදහසක් හිතට ආවොත් කරන්නට තියෙන්නේ තමන් කරපු දේවල්වල ලැයිස්තුවක් සකසන එකයි. එවිට ඔබටම පෙනේවි ඔබ කරලා තිබෙන්නේ ඉතාම කුඩා කොටසක් පමණක් බව. ප්‍රශ්ණයක් දිහා බලන්න පුළුවන් පැති බොහොමයක් තිබෙනවා. ඔබට ඊට ක්‍රමයක් පෙනෙන්නේම නැත්නම් දෙමව්පියන්, ළඟම යහළුවන් වැනි නිවැරදි උපකාර ලැබිය හැකි කෙනෙක් එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න. ඇතැම් අවස්ථාවලදී ඔබ ඒ ප්‍රශ්ණය ඔවුන්ට විස්තර කරන අතරතුර, ඔවුන් කතාකරන්නටත් පෙර ඔබට ම හොඳ මාර්ගයක් පෙනී යන්නත් පුළුවන්.

මගේ ප්‍රශ්ණ ගැන තේරෙන්නේ මට විතරයි

මේ සිතුවිල්ල එනවා කියන්නේ අපි අපිවම සමාජයෙන් කොන් කරගන්න අවස්ථාවක්. අපිට මීට පෙර සිදුවෙලා නැති, ඉතා භයානක දේකට මුහුණ දෙන්න සිදුවුණාම අපිට හිතෙන්නේ වෙන කාටවත්ම මෙහෙම වෙලා නැතුව ඇති, ඉතින් මට ම විතරයි ඒකෙ බරපතලකම තේරෙන්නේ කියලා. උදාහරණයක් විධියට; ඔබේ ළඟ ම කෙනෙක් අකාලයේ නැතිවීමක්, ප්‍රේමයෙන් පරාජිත අවස්ථාවක්, ඉගෙනීමේ ගැටළුවක් දක්වන්න පුළුවන්. මම මේ උදාහරණ තුනක් විතරක් කියද්දීත් එයින් එකක් ඔබට දැනටමත් තියෙනවා නම් කවදාවත් ඔබව නන්නාඳුනන මම ඒක සඳහන් කළේ කොහොමද? මොකද, ඒවා ඒ තරමට ම පොදුයි.

ඔබට මේ වගේ අදහසක් ආවොත්, ඔබට සවන් දෙන අයට මෙහෙම කියලා දුරස් වෙන්න එපා. නොහැකියාව, වෙන්වීම හෝ මරණය වැනි හැමදෙයක්ම ඕනම කෙනෙක්ට සිදු වෙන්න පුළුවන්. අපි “දුක”, “ආදරය” ආදී වශයෙන් නම් කරලා තිබෙන මේ හැමදෙයක් ම පාහේ විද්‍යාවෙන් හෝර්මෝන ස්‍රාවය වීම ආදිය මගින් විස්තර කරන්නට පුළුවන්. ඉතින් අනිත් අයටත් පුළුවන් ඔබේ කථාව අහලා ඒ ගානට ම තමන්ගේ හෝර්මෝන ස්‍රාවය කරගෙන ඔබත් එක්ක එකතු වෙන්න. හැබැයි ඒකට ඔබ දුක බෙදාගන්න අවශ්‍ය වෙනවා. ඒත් ඒ ෆේස්බුක් එකෙන් නෙවෙයි!

ඔබ දන්නවා ඇතිනෙ, පටාචාරාව ගැන. තමන්ගෙ මහත්තයා නැති වුණා, ඊට පස්සේ දරුවන් දෙන්නා ම බලාගෙන ඉඳිද්දිම මැරුණා, පිහිටක් හොයාගෙන අම්මලා ගාවට යද්දි එයාලත් මැරිලා. හිතන්නකො ඊටත් වඩා දරුණු දෙයක් වෙන්න පුළුවන්ද කියලා? ඔබට ඔය වෙලා තියෙන දේවල් මොනවද ඒකත් එක්ක බැලුවාම! ඉතින් කරන්නට ඕනේ, හැමවිටම කතන්දර, අනිත් අයගේ ජීවන අත්දැකීම් ගැන හොයාගන්න එකයි. එතකොට ඔය පටු අදහසෙන් මිදෙන්න පුළුවන්.

කියන්න නම් ලේසියි කරන්න තමයි බැරි

ඇත්ත. හැමෝම අපිට අරක කරන්න කියනවා, මේක කරා නම් හරි කියනවා, ධනාත්මකව හිතන්න කියනවා ඒත්, “කොහොමද එහෙම කරන්නෙ?” කියලා ඔබ ඔබෙන් ම ප්‍රශ්ණ කරනවා නම් සරලම උත්තරේ තමයි, “ඇයි නොකර ඉන්නෙ?”

‘ඔබේ පොතක් බිම වැටිලා තියෙනවා, ඒක අරගන්න’ කියලා කවුරුහරි කිව්වොත් ඔබ කියයි “කියන්න නම් පුළුවන්, කරන්න නෙව බැරි”. ඔබේ කොණ්ඩය අවුල් වෙලා ඕක හදාගන්න. ඔයා නම් කියයි, කරන්න තමයි අමාරු.

ඔබට දැන් තේරෙනවා ඇති මේ ප්‍රකාශය තරම් විකාර සිතුවිල්ලක් තවත් නැහැ කියලා. එක එක කෙනා කියන පලියට බූරුවා කරේ තියාගෙන යන්නට අවශ්‍ය නැහැ. ඒත් දැනුම් තේරුම් ඇති කෙනෙක් අපිට උපදෙසක් දෙනකොට ඌ නං කියයි, අපි එපැයි කරන්න කියලා ඒක උත්සාහ නොකර ඉන්නවා නම් ඒ තරම් අපි අපිටම වළ කපාගන්නා තවත් ක්‍රමයක් නැහැ. ඔබට ඔවුන් කියන ක්‍රමය යහපත් බව පෙනෙනවා නම්, ඒක කරලා බලන්න!

Photo credits: workitdaily.com

One reply on “අපිව පහතට හෙලන අපේ ම මෝඩ ලොජික් 4ක්”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page