Categories
Psychology

පරාජය ජයග්‍රහණයක් කරගන්නේ මෙහෙමයි

ඡායාරූපය yourbestmoment.com වෙතිනි

ජීවිතේ අපි කරන හැමදේම සාර්ථක වෙන්නේ නැහැ. ලොකු ලොකු දේවල් විතරක් නෙවෙයි, ඔබ හාපුරා කියලා ඡායාරූපකරණයට බැහැලා අරගෙන ෆේස්බුක් පළ කරපු ඡායාරූපයකට හිතපු තරම් ප්‍රතිචාර නොලැබුණු අවස්ථාවක්, වීඩියෝ එකක්, වෙබ් අඩවියක්, ඇප් එකක් හදලා ඒක එළියට දැම්මාට හිතේ තිබුණු හීනවලට ලං වෙන්න තරම් ඒක සාර්ථකත්වයට පත් නොවුණු දෙයක් වුණත් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ දහසක් පැතුම් හිතේ තියාගෙන යවපු ලව් මැසේජ් එකට ආවේ ජීවිතේට නොහිතපු විධියේ ඍණාත්මක පිළිතුරක් වෙන්නට පුළුවන්. ඒ වෙලාවට බලාපොරොත්තු කඩ වෙලා අනෙක් අයගේ විවිධ කථා වලින් ලැජ්ජාවට පත් වෙලා මේක නරක කාලයක් කියලා අයින් ගහනවා වෙනුවට ඒක සාර්ථකත්වයට හරවා ගන්නා හැටියි අද අපි කතා කරන්නේ.

වැරදි තියෙන්නේ ඉගෙන ගන්න

කළකිරුණු වෙලාවට හිතන්නට ඕනේ “අපේ කිසි දෙයක් හරියන්නේ නෑ” “මේ ලොකේ හරිම කූරයි යකූ” කියලා ම නෙවෙයි. අපි පිළිගන්න ඕන අපි වැඩේ අනාගත්තා කියලා. ඊට පස්සේ අපි අපිට ම සාප කරගන්නේ නැතිව සමාව දෙන්න ඕන. අන්න එතකොට හොඳ සිහියෙන් සිද්ධ වුණු දේ ගැන අවධානයෙන් දකින්නට  අපිට හැකියාව ලැබෙනවා. තලන්න තලන්න පන්නරය ලැබෙන යකඩයක් වගේ වැටෙන වැටෙන හැම වෙලාවෙදිම ඊළඟ වතාවේ නොවැටෙන්න පුළුවන් වෙන්න යමක් ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි රෑ වැටුණු වළේ දවල්ට නොවැටී ඉන්නට පුළුවන් වෙන්නේ.

ඡායාරූපය partners4prosperity.com
Advertisement

වැරදි සිදුවීම සාමාන්‍ය දෙයක්. හැම සාර්ථක පුද්ගලයෙක් පිටුපසම සාර්ථක ගැහැණියක් කෙසේවෙතත් වැරදි වැරදී ඉන් ඉගෙන ගෙන නැගිටපු අවස්ථා අනන්තවත් තිබෙනවා. විද්‍යාඥයන් අලුතින් දෙයක් හොයාගන්න කලින් කොයිතරම් නම් වැඩ වරද්දා ගන්නවාද? ඒත් පත්තරේ වැටෙන්නේ අහවල් දේ හොයාගත්තා, නොබෙල් ත්‍යාගය දින්නා කියලා විතරයි. හරියට නිකං හීනෙන් පෙනිලා උදේ නැගිටලා හොයාගත්තා වගේ. බුදුරදුන් වුණත් කල්ප ගාණක් පෙරුම් පුරලා පැමිණියත් අවුරුදු 6ක් ම දුෂ්කර ක්‍රියා කරන්නට සිදුවුණේ ඇයි කියලා හිතලා බලන්න. මේ විධියට හැම කෙනෙක් ම රළු කාලවල් වලදී එතනින් වැඩේ අතෑරියා නම් අද අපි හැමෝටම වෙන්නේ ගල් යුගයේ ඉඳගෙන ෆේස් ගල්බුක් යන්න තමයි.

මේ ප්‍රශ්න හතරෙන් අවස්ථාව විශ්ලේෂණය කරන්න

1. මේකෙන් මට මගේ ගැන මොනවාද ඉගෙන ගන්න තිබෙන්නේ?

2. මේකෙන් මට අනිත් අය ගැන මොනවාද ඉගෙන ගන්න තිබෙන්නේ?

3. මේකෙන් මට ලෝකය ගැන මොනවාද ඉගෙන ගන්න තිබෙන්නේ?

4. මට ඒ ගැන මේ මොහොතේ කළ හැක්කේ මොකක්ද?

කලකිරුණු අවස්ථාවකදී මේ විධියට අවස්ථාව ගැන ඔබෙන් ම ප්‍රශ්න කරද්දී පරාජය කලකිරීමක් වෙනුවට ඔබව ඔප් නංවන දෙයක් බවට පත් කරගන්නට පුළුවන්.

ඉලක්ක තුනක් ඇති කරගන්න

ඡායාරූපය: lsmguide.com

ප්‍රශ්නයක් ආවාම මුකුත් නොකර ඉන්නවා වෙනුවට කුමක් හෝ කිරීම මගින් හැමදේම අසාර්ථක වෙනවා කියන හැඟීමෙන් මිදෙන්නට හැකි වෙනවා. එය ඉතා සුළු දේවල් කිහිපයක් වෙන්නට පුළුවන්. ඒත් ඒවා සම්පූර්ණ කිරීම මගින් මොළය ජයග්‍රාහී හැඟීමකට පත්වන නිසා අසාර්ථකවූ අවස්ථාව ඒ හරහා යටපත් කරවාගන්නට හැකි වෙනවා. මේ ඉලක්ක ඇතැම්විට ඔබෙන් සිදුවූ වරදක් වෙනුවෙන් සමාව ගැනීමක්, හිත නිදහස් වෙන්න කොහේ හරි ඇවිදින්න යන්න, ෂොපිං කරන්න, කන්න ආසම දෙයක් අරගන්න, භාවනා කරන්න වගේ දෙයක් වෙන්නට පුළුවන්. කොහොමහරි, පසුතැවීම සඳහා ඇති කාලය වෙනත් කටයුත්තකින් ප්‍රතිස්ථාපනය කරගත යුතු වෙනවා. ඉලක්ක තුන ලැයිස්තු ගත කරලා උනන්දුවෙන් ඒ තුන හැකි ඉක්මණින් කර අවසන් කරන්න. ඔබට ජයග්‍රාහී හැඟීමක් දැනේවි.

ඊයේ වැරදුණා, ඒත් අද අලුත් දවසක්

ඡායාරූපය quotefancy වෙතිනි

අවුල් ගියපු දවස්වලට උදේ පාන්දර නැගිටපු ගමන් කලින් දවසේ වුණු දේවල් මතක් වෙලා සමහරවිට ඇඳෙන් නැගිටින්නේ ම නැතිව එහෙමම සදාකාලිකව සැතපෙන්නට හිතෙන්න පුළුවන්. ඒත් හොඳ හුස්මක් අරගෙන “මම අද අලුතින් පටන් ගන්නවා. මට අලුත් විධියට දෙයක් කරන්න පුළුවන්.” කියලා දවසට මුහුණ දෙන්න. මේ අවස්ථාවේදී තමන් ගැන ම හිතමින් කාලය කරන්න එපා. ඒකෙන් වෙන්නේ ස්වයංව හීනමානයක් ඇතිවීම විතර ම යි. ඉහත කී ප්‍රශ්න හතර යොදමින් අලුතෙන්, වෙනම මානයකින් අසාර්ථක වීම ගැන දකින්න. නව ඉලක්ක තුනක් ඇති කරගෙන ඒවා සම්පූර්ණ කරන්න. ඊයේට වඩා අද හොඳින් දෙයක් කරන්නේ කොහොමද කියලා හිතන්න. ඔබව පහළට හෙලන්නටත්, සාර්ථකත්වයට පත් කරන්නටත් හැකි එකම කෙනා ඉන්නේ ඔබ තුළ ම යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page