තමන්ගෙන්/ පවුල් සංස්ථාවෙන් පටන් ගත්තා ම ගම, පාසල, පළාත, රට ආදී ලෙස වගේ ම ජාතිය, ආගම වගේ සම්මුතීන් අනුවත් අපි “අපේ” කියනවනෙ. හැබැයි ඔන්න ‘අපේ ගම’ කිව්වා ම නම් මට මතක් වෙන්නෙ ‘අපේ’ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගෙ වටිනා කියන පොතක්. කොහොමහරි ඉතින් වාද-භේද වෙන්න බොහොම දෙනෙක්ට මොකක්හරි හේතුවක් තියෙනවා. ඒවා ගැන ‘අපේ බ්ලොගේ’ පොඩි වචනයක් තියන්ට ඕනෑය හිතුනා.
මේක ලියන්න හිතුන කාරණේ ඇහුවොත් මට මොළේ අමාරුවක්ය හිතාවි. මොකද Traffic එකට අහුවුණ වෙලාවක Number plates බල බල ඉද්දි, (BBW අංකිත වාහනවල මහත ඇන්ටිලා ඉන්නවද බලද්දි :P) මට හිතුණා ඇයි ‘අපේ’ මේ අකුරු 60ක හෝඩියක් තියාගෙන කොහෙවත් නැති අකුරු 26කින් නෝන්ඩි වෙන්නෙ කියලා. ඒ විතරක්යැ, දෙමළ ජාතික ගීය, Big match season එක එක්ක ඔන්න ඕක හෙන රවුමක් ගිහින් ටිකිරි මොළේට හෙණ ගැහුවා.
මිනිස්සු තෙපිරිසක් ඉන්නවා: කට්ටියක් තමන්ගෙ දේ බදාගෙන නහින්න හදනවා – ඒ කිව්වෙ, හණමිටි අදහස් – තවත් අය, තමන්ගෙකම බල්ලට සුද්දට දාලා Trends පස්සෙ යනවා, අනිත් කොටස -සුළුතරයක් දෙයියන්ගෙ නාමෙන් මධ්‍යස්ථව ඉන්නවා. හැබැයි ඒ සුළුතරය අනිත් දෙපිරිස විසින් ස්ත්‍රීත් පුරුෂත් නොවන නමකින් සහ කොන්දක් නැති ලෙස අර්ථ දැක්වීමකුත් පෙනෙන්න තියෙනවා. ඒවා ඉවසා දරා ගැනීම ඒ ඒ සුළුතරයේ පෞරුෂත්වය මත රඳාවි. කොහොමින් හරි ඒත් ‘අපේ’ මිනිස්සු නෙව!
ආදි වැසියන්ගේ ඉඳල ම කණ්ඩායම් බෙදීම, හැකියාව ඇති කෙනා ජය ගැනීම (කැළෑ නීතිය) සහ ඒ වටා රොක්වීම, කුතුහලය නිසා වෙන් වෙන් පාර්ශව බිහිවීම් පේන්න තියෙනවා. (දැක්කා වගේ කිව්වෙ. 😉 ) ඕක පහු වෙද්දි ජනගහන ව්‍යාප්තියත් එක්ක නිවස, ගම්/නගර, පළාත් අතරින් ගිහින් රටවල් අතරටත් ආවා. ඒ විතරක් නෙවෙයි සංස්කෘතිය, දර්ශනය වගේ ම අධ්‍යාපනයටත් බෝවෙලා සමාජ ස්ථරත් ඇතිවුණා. දැන් මේ හැමෝම එකිනෙකා පරයා(!) යමින් තමන්ගෙ පිරිස හෝ බොහෝවිට තමන් පොර වීමේ න්‍යායකට පුරුදු වුණා. තවත් විධියකට කිව්වොත් මමත්වය/සක්කාය දිට්ඨිය ඔඩු දිව්වා. අන්තිමට නැවතුණේ මුදල් වලටත් ඇවිත්. (නැවතුණා වගේ පෙනුනට තාම නෑ, තව තියෙනවා)
මං දන්න මල්ලි කෙනෙකුත් ඉන්නවා 5-6 වසරවල විතර, සුද්දාව පේන්න බෑ. සුද්දා සොයාගත්තු (නිපදවපු) දේවල් පාවිච්ච කරන්න එපාලු. අපේ ඔපීසියෙ සැට් එකත් කම්මැලිකමේ හිටපු වෙලාවකයි මෙයාව අහුවුණේ. එයා එකඑක අහනවා: බල්බ් එක හොයාගත්තෙ අපි නෙවෙයිද? ටීවී එක? පොළොව? ඕවට අපි උත්තර දෙනවා. ඔහොම ගිහිං ගිහිං සිමෙන්ති ගෙවල්වල ජීවත් වෙන්නත් බැරි තත්වයක් ආවා. මොකද ඒකත් රවුමෙන් ගිහින් සුද්දට ම වැටුණානෙ. මොනා උනත් මිනිහා ගැන මට හෙන සැටිස්. ඔය වයසෙදි ස්වාධීන වෙන්න උත්සහ දරන එක කොච්චර හොඳද! මිනිහව පොලිෂ් කරලා ගත්තා නම් හොඳ ජාතික නායකයෙක් කරන්නත් පුළුවන්. 😉
දැන් අපේ සමහර ජාතික නායකයො නෑ නෑ දේසලාපුවො කොහොමද කියන්නෙ නෙ? “ලංකාවෙ ඉන්න අපි සිංහලු! අනිත් උන් මොකුන්ද? සිංහල කතා කරන්න ඕන. අපේ කොඩියෙ ඉන්න ඕන සිංහයා විතරයි, රතුපාට විතරයි. අනිත් පාට හෝදලා දාන්න ඕන. රාජ්‍ය භාෂාව ලෙස සිංහල දිගට ම තියෙන්නට ඕන. හම්බයන් පන්නා දමන්න ඕන, ඔය කඩවලට යන්න එපා.” අන්තිමට පාවිච්චි කළ වචනය ගැන බොහොම කනගාටුයි, සමාජගත වචනයයි කිව්වෙ. (ඔන්න දැන් කෙනෙක් මට අර ඉහත ම කිව්ව වචනයක් මට පාවිච්චි කරාවි 😛 එසේ ම වේවා!) වැඩිය ඕනි නෑ, ඒ ජාතිකයන් ළමයි හදන එකටත් බනිනවා අපේ අය පුංචි පවුල රත්තරං තියරිය අනුගමනය කරමින් ම. ඔය වගේ ඒවට බනින්න එපා බොලව්, බැන බැන ඉන්න වෙලාවෙ ගිහින් පොඩ්ඩක්.. නෑ මං කිව්වෙ ළමයෙක් දෙන්නෙක් හදන්න 😛
ඒත් ඔන්න එනවා හිටං බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. හරිය? දැන් මොකෝ කියන්නෙ? “මාගේ සහෝදර හින්දු, මුස්ලිම් ජනතාවෙනි; එන්න අප හා එක්වන්න. මේ බටහිර අධිරාජ්‍යවාදීන්ට අපේ වැඩ පෙන්නමු. අපි එකතුවෙලා අපේ රට බේරගමු. අපි අපේ නිශ්පාදන පමණක් භාවිතා කරමු. දර කෝටුවක් තනියම තිබුණොත් කඩන්න ලේසියි. ඒත් අපි දර මිටියක් වුනොත් කාටවත් අපිව කඩා බිඳ දමන්න බැහැ. නයෙක් විධියට පෙනේ පුප්පමු! එතකොට උන් අපිට දරමිටියට බඳින්න නොගෙන අපේ හැටි දැන ගනීවි.”
හැබැයි ඒ කිව්වම තමයි මටත් මතක් උනේ, දැන් එක්දාස් බර ගණන්වල සුද්දා අපේ රටට කඩං වැදිලා අපේ තිබුණු මුතු මැණික් උන්ගෙ රටට බලෙන් අරන් ගිහින්, අපේ රාජ්‍ය පාලනය විනාශ කරලා, උන්ගෙ ජාන අපිට මුහු කරලා, උන්ට ගැති උන් මේකෙ බිහි කරලා, අපේ රටේ ඉඳං අපේ භාෂාව කතා කරන්නෙ නැතුව කොළඹ එහෙම ගියාම ඉංග්‍රීසියෙන් ම දෙසා බාලා, ඒවයි ඉන්න සිංහල බැරි ඉංග්රීසියටයි උන්ගෙ පඩත්තර සංස්කෘතියටයි වැඳගෙන කොටට ඇඳගෙන ඇඟ පෙන්න පෙන්නා අපේ උන්ව විනාස කරන වේස ගෑණුයි, උන්ගෙ පස්සෙ විලි සංගෙ නැතුව දිව ඇදගෙන යන වලත්තා පිරිමියි, Club ඕනැයි කියලා කියන, අපේ සංස්කෘතිය නියපොත්තෙ ගාණට මායිම් නොකරන නපුංසකයොයි, වාහනවල “ශ්‍රී” අයින් කරලා සුද්දගෙ ඉරිකෑලි ගොඩක් වගේ අකුරුයි ඔබලා, ඒවා අකුරු 3-4 විතර එනකන් ඉඳලා, වචන හැදෙනකං ඉඳලා, ඒකෙන් තමන්ගෙ වාහනේ පාරට දාන්න ලැජ්ජ කරලා, පොදු ප්‍රවාහන සේවාවලත් හිත පාලනයක් නැති රාගයෙන් මත්වුණු උන්ව පුරවලා…
පිස්සුවක් ඇතෑ මට? ඔය පෙන්නුවෙ, තමන්ගෙකම කියලා හිතාගෙන තවත් මිනිස්සු කොට්ඨාශයකට විරුද්ධ වෙන හැටි. සුද්දා කියන්නෙ අමුතු එකෙක් නෙවෙයි, හම සුදු මනුස්ස කොට්ඨාශයක්. එහෙමයි කියලා ඔන්න කවදා හරි අර “අපේ පුතාව බලාගන්න දුවේ” කියන වගකීමෙන් යුත් Alien කෑල්ල මෙහෙ ආවොත් ‘මනුස්ස’ නෙවෙයි කියලා එයාගෙ දරුවන්ට ඔබේ දරුවන් ආවාහ විවාහ කර නොදී ඉන්න එපා. ප්‍රශ්ණෙ තියෙන්නෙ මේකයි, අළුතින් යමක් දැක්කා ම ඔළුව අස්සෙ හැංගිලා ඉන්න එකාගෙ කට; බුද්ධිය නමැති මැටි පිඬෙන් වහලා, ඩිංගක් හිතලා බලන්න මේක සුදුසුද, නුසුදුසුද කියලා.
ඒකයැ වැඩේ මේ දවස්වල ‘අපේ’ ඉස්කෝලෙ -රාහුලෙයි, අනිකුත් පාසල්වලයි Parade, Big match කාලෙ. ඉතින් හැමෝම අනිකාව අභිබවා යන්නයි බලන්නෙ. ඒ හින්දා News Feedsවල නිතර දකින්න ලැබෙන්නෙ: “මාතර හොල්ලන්නෙ අපි!”, “Copy කළ හැක, සම කළ නොහැක”, “Parade දැකලා නැතිනම් බලා ගනිල්ලා” ආදී වශයෙන්. (ඔය අතරෙ “Copy කළ හැක – Paste කළ නොහැක” කියලත් ගියා. 😀 ) එයාලා කෑ ගහනවා අපිට වඩා කළා කියලා – අපි කෑගහනවා බොලාට බෑ කියලා. දැන් අන්තිමට වෙන්නෙ මොකද්ද දන්නවද?! ගුටි කෙළි, ගිනි කෙළි සහ පොලීසි.
මැච් එකක් බලන්න එන එක හරි කියමු. අර කලින් කිව්වා වගේ සුද්දගෙ ගේම වෙච්චි. 😛 දැන් ඕක බලන්න ඇවිල්ලා ක්‍රීඩකයන්ට සහයෝගෙ දක්වලා, කාලෙකට පස්සෙ යහළුවො මුණගැහිලා කතා කරලා, තරගය තරගයක් විධියට තේරුම් අරගෙන හැකියාව අගය කරලා විසිර යනවා වෙනුවට මුන්දැලා මක්කයි කොරන්නෙ? එනවා – බොනවා. ඊට පස්සෙ කෑ ගගහා පිට්ටනිය වටේ යනවා. ඔහොම ගිහින් ඊට පස්සෙ ඔන්න එකෙක්ගෙ හරි යන්තං කකුල පෑගුණත් ගහ ගහන්නවා, බැණ ගන්නවා, මෑණියන් වහන්සේලාට කිවිසුම් යවනවා, පොලීසිය වටවෙනවා, මැච් එක පැත්තක දාලා බලන උන් වටවෙනවා, ඊටීසි.
මේ ළඟදි අපේ ලොක්කගෙ පාසලේ -සහෝදර පාසලක- Webcast එකට මං ගියා. අපි පැත්තකට වෙලා පාඩුවෙ Score update, Stream කරමින් හිටියා MataraTV එකෙන්. අන්තර්ජාල සබඳතාව ගන්න පහසු වෙන්න ඕන නිසා මේ සැරේ ක්‍රීඩාගාරයෙ නෙවෙයි හිටියෙ, ඊට කෙලින් ම පිටිය එහා පැත්තෙ. එතන ලොකු ගහක් එක්ක හෙවන තියෙන නිසා මැච් එක බලන්න එන කොල්ලො කුරුට්ටොත් ඔය අවට ගැවසුණා. උන්ටත් මේ මැච් එකක් ගහද්දි බලන් ඉන්න බෑ, බෝලයක් අරං කැච්-අල්ලන්න හිතෙනවා අපේ කම්පූටර් අස්සෙම. ටිකක් දවල් වෙද්දි දවස් දෙකේ ම අංකල් මාමලා කට්ටියක් අපේ පිටිපස්සට වෙලා සුද්දගෙ පාන වර්ගයක් පානය කරනවා. (හෙනට ම අව්වනෙ, තිබහට වෙන්ටැ. 🙂 ) ඔය ඉන්න අතරෙ ඉතිං අර මං ඉහත කිව්ව විධියට ‘අපේ’ පිලට කෑ ගහනවා. පිට්ටනිය මැද්දට දුවනවා. නටනවා. මා මෙතෙක් කල් නොඇසූ අමුතු වචන භාවිතා කරනවා 😛 සිංහලෙන් කිව්වොත් cheer කරනවා. ඒ විතරක් නම් මදෑ: “මල්ලි, අපි පොඩි ෂොට් එකක් දාමු? එන්න එන්න!”
ක්‍රීඩාවක් කියන්නෙත් පිල් බෙදීමක්. ඕන්නම් මට කතාව ඒ රවුමෙන් අරං ගිහින් සුද්දාට ම බැටේ දෙන්ට පුළුවන්, ක්‍රිකට් එක්ක. එහෙම බැලුවොත් මේ එන සිංහල අළුත් අවුරුදු ක්‍රීඩා සියල්ල නවත්වන්න වෙනවනෙ. ඒත් අවුරුදු කීයක් තිස්සෙ අවුලක් නැතුව ගම්වල වෙනවද? මං නං කවදාවත් දැකලා නෑ ඉවරවෙලා ත්‍යාග ප්‍රදානෝත්සවයක් මිසක් ගුටි ප්‍රදානෝත්සවයක් සහ හිරබත් සංග්‍රහයක්. ඉස්සර ලිපිවල කිව්වා වගේ ම ආයිත් කියන්න තියෙන්නෙ, Attitudes ගැන ම තමයි. තව විධියකට කිව්වොත් “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි” : චේතනාව මොකක්ද කියන එකයි වැදගත්. කන්න ඕනනම් කබරගොයත් තලගොයා තමයි.
ඒ නිසා ජාතික ගීය දෙමළෙන් නෙවෙයි PHP, Java, C# වලින් ගැයුවත්, ජාතික කොඩිය Black & White කළත් මේ ගැටුම් නවත්වන්න බැහැ, මොළ හෝදන්නෙ නැතිව. කොයි තරම් ලොකුවට Parade, Big match කළත්, සිංහල කියලා බෝඩ් ගැහුවත්, කඩවලට නොගියත් ප්‍රශ්ණ විසඳෙන්නෙ නැහැ. විසඳනවා කියලා හිතාගෙන තව මඩ කරනවා මිසක්.
තමන්ගේ තරමට දේවල් කරන්න, අනිත් අයගෙ දේ අගය කරන්න සහ සහයෝගයෙන් කටයුතු කරන්නත් පුරුදු වෙන්න ඕන. හැකි පමණින් වැරදි මග යන අයට හරිමග පැහැදිලි කරන්න ඕන. හැබැයි ඒ ගහබැණගෙන නෙවෙයි. (කියන්න තේරෙන් නැත්නම් කටපියං හිටු)
මේ වතාවෙ ඔන්න හැදෙන හැටි ගැන වැඩි විස්තර කියන්න මගෙ මනාපයක් නැහැ. වැරැද්ද පෙන්නුවා විතරයි. මොකද ඇඳුම් ගැන නොදන්න එකෙක්ට “ඇඳුමක් ඇඳගන්න” කියලා අණ කරනවාට වඩා කැඩපතක් ලබාදෙන එක වටිනවා මට තේරෙන හැටියට. උඹ ඉතින් ‘අපේ’ එකා නෙව, ගිහින් ඇඳගනින්!