“පිස්සුද බං? එහෙම කරන්නෙ කොහොමද! VAT වැඩි කරලා, අතේ සතේ නෑ. මටවත් නැගිට ගන්න බැරිකොට රටක් ගොඩගන්න කතා කරනවා.” කියලා ඔබ කිව්වොත් මම පුදුම වෙන්නෙ නැහැ. මොකද ශ්‍රී ලංකාවෙ පුරවැසියෙක් කියලා උප්පැන්නෙට වඩා හොඳට ඒකෙන් සනාථ කරනවා. මෙන්න මේ ඍණාත්මක ආකල්පය තමයි හැමදාම අපිව පහතට දාන්නෙ.
වගකීමක් ඇති කෙනෙක් වෙන්න
වගකීමක් ඇති කෙනෙක් අන් හැමදේට ම කලින් තමන් ගැන හිතනවා. ඒ කියන්නෙ ආත්මාර්ථය නෙවෙයි වෙන අර්ථයක්. තමන් සම්බන්ධවුණු කිසියම් ම දෙයක් වෙනවා නම් එහි වරද වෙන කෙනෙක් පිට පටවලා නිකන් ඉන්නවා වෙනුවට වගකීමක් ඇති කෙනා තමන්ට ඊට කරන්න පුළුවන් දේ ගැන කල්පනා කරනවා. ලොකු වැරදීමක් වුණත් ඒක ඉදිරියට නිවැරදි කරන්න ක්‍රමයක් ඔවුන් හොයනවා වගේ ම ඉදිරියට නැවත එවැන්නක් නොවෙන්න ඔවුන් වග බලාගන්නවා.
ඒ විතරක් නෙවෙයි, මෙතන තවත් දෙයක් තියෙනවා. ඒක හරියට පදාර්ථයේ අසංතතික බව වගේ, කුඩා අණු කීපයක් එකතු වෙලා තමයි ලොකු දෙයක් හැදෙන්නෙ. අන්න ඒ විධියට සමාජය කියන මහේක්ෂ පද්ධතිය ගැන හිතුවොත්, ඒක හැදිලා තියෙන්නෙ ඔබ, මම ඇතුළු මිනිස්සු ගොඩාක් එකතු වෙලා. ඉතින් මෙයින් එක්කෙනෙක් හරි අස්ථාවර වුණොත් මුළු පද්ධතියම වැටෙන්න පුළුවන්. එක්කෙනෙක් හරි ශක්තිමත් වුණොත් මුළු පද්ධතියට ම එයින් සහයෝගයක් ලැබෙනවා. ඒ හින්දා වෙන අය කරනතුරු, වෙන අයගෙ වැරදි හොය හොයා ඉන්නෙ නැතුව තමන් ගැන ම හිතලා, තමන්ගෙ අතීතය-වර්තමානය-අනාගතය ම සංසන්දනය කරලා අඩුපාඩු හදාගන්නට ඕනෙ.
ආණ්ඩුව හෝ තමන්ට ඉහළින් ඉන්න නිලධාරියා, අම්මා තාත්තා සහෝදරයෙක් හරි කරලා දෙනකම් බැණ බැණ කට ඇරගෙන ඉන්නවාට වඩා තමන් ලෝකය වෙනස් කරන්න දායක වෙන එක වටිනවා. හැබැයි ඉතින් බැරි වැඩ කරන්න ගිහින් තියෙන ටිකත් නැති කරගන්නවාට වඩා නම් බැරි හැටියට ඉන්නවා හොඳයි.
දන්න දේවල් අනිත් අය එක්ක බෙදාගන්න
සිංහලෙන් මොනවා හරි ලෝකෙට දායාද කරනවා නම් ඒක කරන්න පුළුවන් මේ මුළු ලෝකෙන් ම අපිට විතරයි. මොකද අපි විතරනෙ මේ සුද්ද සිංහලේ දන්නෙ! ඒ හින්දා නිතරම දැනුම අන්තර්ජාලය හරහා හෝ ඔබට පුළුවන් මාධ්‍යයකින් බෙදාගන්න. ලේසිම දේ තමයි තමන්ගෙම කියලා බොගක් අටවාගන්න එක. නොමිලේ ම කරන්නත් පුළුවන් නිසා ලියන්න යන මහන්සිය විතරයි ආරම්භකයෙක්ට ඕන. ඒ විතරක් නෙවෙයි, ඔබට සිංහල විකිපීඩියාවට, ගූගල් පරිවර්තනවලට, වෙනත් මෘදුකාංගවල පරිවර්තන කටයුතුවලට දායක වෙන්න පුළුවන්.
අතීතයේදී අපිට වැරදුණු තැන තමයි දන්න අය ගුරු මුෂ්ඨි තියාගෙන ලොකු සීන් දාපු එක. ගොඩක් වෙලාවට හැබැයි ඉතින් වෙලා තියෙන්නෙ ගුත්තිල-මූසිල වැඩ තමයි. ගෝලයාගෙ ආකල්ප හොඳ නැති නිසා ඒ දේවල් ඉගෙන ගෙන අයහපත් දේවල් කරයි කියලා තමයි ගුරුවරු උගන්නන්න නැතුව ඇත්තෙ. මේකත් පුළුවන් තරම් නැති කරගන්න ඕන. පරිගණක කේත කරන්න ඉගෙන ගත්තාම ඒකෙන් වයිරස් එකක් ලියලා තාවකාලික, කාලකණ්ණි “පොරක්” වෙනවාට වඩා ඒකෙන් ශබ්ද කෝෂයක්, යතුරු ලියනයට පහසුව ඇති කරන මෘදුකාංගයක් වගේ දෙයක් හදනවා නම් ඒකෙන් රටට යහපතක් වගේ ම තමන්ටත් හොඳ නමක් ලැබෙනවා. ඉතින් ඔබ දන්න දේ අනිත් අයට කියලා දෙන්න. දන්නා දෙයින් යහපත් දෙයක් කරන්න.
සිංහල නොවටිනා භාෂාවක් නෙවෙයි
ඊයා හලෝ දැට් ගායි කාන්ට් ස්පීක් ගුඩ් ඉංග්ලිෂ් කියන එකනම් පුතේ ඔළුව ගලක ගහගන්න තරම් ලැජ්ජා හිතෙන කතාවක්. මොකද පාලි, සංස්කෘත කියන උසස් භාෂා දෙකකින් පෝෂණය වුණු, කට හරවහරවා කියන්න පුළුවන් හැම අකුරක් ම අඩංගු බොහොම සරු භාෂාවක් තමයි සිංහල කියන්නේ. සිංහල පුළුවන් කම ලැජ්ජාවක් නෙවෙයි ආභරණයක්. හැබැයි මේකෙන් කොහෙත්ම අදහස් වෙන්නෙ නෑ ඉංග්‍රීසි නරකයි කියලා. ඉංග්‍රීසි භාෂාව යුරෝපීය භාෂා ගොන්නකින් පෝෂණය වුණු එකක්. ඒ භාෂාව කතා කරන උදවිය මුළු ලෝකෙම යටත් කරලා භාෂාව පතුරපු නිසා තමයි එහි වටිනාකම දෙගුණ වුණේ. හිතන්නකො පරිගණකය හොයාගත්කෙ ලංකාවෙන් කියලා? sudo apt-get update එහෙනම් ලියන්න වෙන්නෙ සුදෝ එන්න-ගන්න යාවත්කාලීනයක් කියලා. යතුරුපුවරුවේ තියෙන අකුරුත් ඔක්කොම සිංහල. ඉංග්‍රීසි එතකොට යුනිකෝඩ් භාෂාවක් වේවි නේද? ඒ කොහොමනමුත් දැනට නම් ගූගල් එකේ සිංහල වචනයක් හරි ගැහුවොත් suggest වෙන දේවල් දැක්කාම සිංහල අදාල නෑනේ, වැස්සක් එනවා කියලා මාරු වෙන්න තමයි වෙන්න.
වෙන රටකට ගිහින් සුද්දෙක් එක්ක සිංහලෙන් කතා කරන එක ලැජ්ජාවක්. ලංකාවෙ ඉඳගෙන ලංකාවෙ කෙනෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන එකත් ලැජ්ජාවක්. පුළුවන් තරම් භාෂා ඉගෙන ගන්න. තවත් ෂඩ් භාෂා පරමේශ්වර කෙනෙක් අපට ඕනෙ. ඒත් මදර්-ටං එක රැකගන්න.
වියදම් කරන්න, අපේ මිනිස්සුන්ට
මේ වෙද්දි අතට ගන්න හැම ඉලෙක්ට්‍රොනික භාණ්ඩයේ ම තියෙන්නෙ Made In China. ඊළඟට Made In Vietnam දකින්න ලැබෙනවා. නොබෝ දිනකින් (මේ දවස්වල අහන්න ලැබෙන ප්රවෘත්ති අනුව) Made In India දකින්න ලැබේවි. ඒත් කවද්ද අපි අපේ දෙයක් පාවිච්චි කරන්නෙ?
ගන්න අපේ දේ කියපු පලියට ම ඉතින් අපේ දේ ගන්න බැහැ. මොකද, ලංකාවෙ හදන බඩු චීනෙටත් එහා. ගුණාත්මක භාවය බින්දුවයි. අපේ අය බලන්නෙ ‘කොහොමහරි මිට ගහලා’ වැඩි ගාණකට විකුණන්න. ඒකෙන් පාරිභෝගිකයාට එපා වෙනවා. එක දෙයක් හරි එහෙම වුණාම වෙන කෙනෙක් සුපිරි තත්වයෙන් හැදුවත් ඔවුන්ට මතක් වෙන්නෙ ඊට කලින් මුහුණ දුන්නු අමිහිරි අත්දැකීමක්. මේ වගේ වැඩක් වුණා අපේ ඔෆිස් එකෙත්. අපි කරන ප්‍රොජෙක්ට් එකකට ඉන්දියන් කාරයෙක් සෙට්වෙලා එහෙම් පිටින්ම සීන් එක වණ කළා. කෝඩ් එක ගන්න දෙයක් නෑ, හදපුවා හරියට වැඩ කරන්නෙත් නෑ. ඊට පස්සෙම අපේ clientනුයි අපියි තීරණය කළා කවමදාකවත් ඉන්දියාවෙන් outsource නොකරන්න. ඉතින්න බලන්න? එකෙක්ගෙ වැඩක් නිසා මුළු රටටකට ම පාඩුවක් වුණා. මේකෙ අනිත් පැත්තත් එහෙමයි. Google CEO ඉන්දියාවෙ කෙනෙක් නිසා මුළු ලෝකෙම අවධානය ඉන්දියාවට ලැබුණා. අන්න ඒකයි එක් කෙනෙක්ට කරන්න පුළුවන් බලපෑම!
“රැකියාවක් කරන්න අත්දැකීම් ඕනෙ – අත්දැකීම් ලබන්න රැකියාවක් කරන්න ඕනෙ” වගේ දාමයක් තමයි නිෂ්පාදන ක්‍රියාවලියේ තියෙන්නෙත්. යමක්/සේවාවක් මිලදී ගන්න මුදල් ඕන – මුදල් ලබාගන්න සේවාවක්/නිෂ්පාදනයක් කරන්න ඕන – සේවාවක්/නිෂ්පාදනයක් කරන්න මුදල් (ප්රාග්ධනය) ඕන.
ඔබ යමකට දක්ෂ නම් එය නොමිලේ කරන්න එපා කියලා බැට් මෑන් එකේ ජෝකර් කියනවා වගේ ඔබ යමක් ගන්නවා නම් ඒක නිපදවපු කෙනාට සල්ලි දෙන්නත් ඕන. නැත්නම් කොහොමද ඒ මනුස්සයා ඒ මහන්සිය පියවා ගන්නෙ? ඔබ එක් දෙයකට හරි ගෙවීමක් පැහැර හැරියොත් මම අර ඉහතින් කියපු දාමය බිඳෙනවා. එක් අයෙක්ගෙන් දාමය බිඳෙනවා කියන්නෙ මුළු පද්ධතියට ම ඒක බලපානවා. රවුමකින් ඉතාම පොඩි කොටසක් හරි කඩලා ඉවත් කළොත් ඒක තවදුරටත් රවුමක් නෙවෙයි, කවයක්. ඒකට ඉඩ තියන්න එපා. හොඳ සින්දුවක් ඇහුණු ගමන් ඒක free mp3 download කියලා ගූගල් කරනවාට වඩා වටිනවා ඒක නිර්මාණකරුවන්ට ආදායමක් ලැබෙන විධියට කටයුතු කළොත්.
කියවන්න කම්මැලියි නේද?
බොක්කෙන් ම ලාංකිකයෙක් වසයෙං අපි කියවන්න කම්මැලියි. හොරා වගේ උඩ ටික අතෑරලා ඔබ මේටික කියවන්නෙ නැත්නම් මම තරහ නැහැ. *කරට අතදමමින්* අපි එහෙව් ජාතියක්නෙ බොලං නේද? ජාති ජාති. කියන්න ගොඩක් දේවල් තව තියෙනවා. මේ ටිකෙන්වත් දැනට පටන් ගන්න බලන්න. මට ලියන්න කම්මැලියි. 😛