Site icon Thambaru's Blog

කිහිප දෙනෙක්ගේ වැඩ නිසා සමාජයක් ම අමාරුවේ වැටෙන හැටි

“ඒ අය අන්තවාදීන්. එයාලා නිසා අහිංසක අපිට වරද පටවන්න එපා” කියලා පහුගිය කාලේ කඳුළුත් එක්කම එක එක කතා ඇහෙන්න ඇති. ඊට ටික දවසකට පස්සේ මිනුවන්ගොඩදි වෙච්චි සිද්ධියේදි නම් හැබැයි ඒ කඳුළු කතාවම ඇහුණේ වෙනස් විදියකට. “අපිට ගැහුවා. අහිංසක අපිට ගැහුවා.” ඒ වෙලාවේ දකුණෙන් කවුරුත් කිව්වෙ නෑ හැබැයි “ඒ ගැහුවෙත් අන්තවාදීන්, සිංහල අය නෙවෙයි” කියලා. ‍කොහොම නමුත්, වෙන්න ඕන දේවල් සිද්ධ වුණා. අපි අද මේ මැයි මාසෙදි මාර්තුකා කරගන්නෙ ඔන්න ඔය වගේ සීන් නිතර සිද්ධ වෙන එක ගැන.

අපේ සමාජය ඇතුලේ විවිධ උප-සමාජයන් තියෙනවා. තරාතිරම, රැකියාව අනුව ආගමක් හෝ ජාතියක් ඇතුලේත් ඒ වගේ කණ්ඩායම් හෙවත් උප-සමාජයන් තියෙනවා. අන්න ඒ හැම තැනකම කිරි හැලියට ගොම දාන ඩයල් එකක් ඉන්නවා. (ඔයාගෙ සමාජෙ එහෙම එකෙක් නැත්නම් සමහර විට ඒ ඔයා වෙන්නත් පුළුවන්.) අනික් එවුන් පණ දාගෙන වැඩක් ගොඩ දාගෙන එද්දි මේ පොර ගිහින් වැඩේ හානවා. ඉතින් බාහිර අය එයාට බනිද්දි මුළු සෙට් එකටම බැණුම් අහන්න වෙනවා.

වෛද්‍ය වෘත්තිය ගමුකො. රටේ මොන තත්ත්වයක් තිබුණත් රෑ එළිවෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් කෝල් එකක් ආවොත් නින්ද, පවුල පැත්තක තියලා ටක් ගාලා ඉස්පිරිතාලෙට දුවන වෛද්‍යවරු ඉන්නවා. (“එයාලා එහෙම කරන්න ඕන! ඒක එයාලගෙ ජොබ් එක!! අපේ බදු සල්ලි..” පොඩ්ඩක් ඉන්නකො ඉතින් මැද්දෙන් පනිනවනේ.) ඒ වගේම ජොබ් එකකට වඩා සමාජ සේවයක් කියලා හිතලා ආසාවෙන්, කරුණාවෙන් වැඩ කරන හැමෝගෙම හිත් දිනාගත්තු වෛද්‍යවරු ඉන්නවා. එහෙම කෙනෙක් මතක් කරගන්න කිව්වොත් ඒක ටිකක් අමාරු වෙයි. මොකද, මේ වෛද්‍ය සමාජය තුළ ඉන්න සමහරු බේත් මාෆියාවන්, අපචාර වැඩ අනංමනං කරලා ජොබ් එකේ නම කාලා තියෙන්නේ. ඉතින් හොඳ දෙයක් මතක් කරගන්න ගියත් ටක් ගාලා අපිට මතක් වෙන්නේ අර ගොම දාපු සෙට් එක කරපු වැඩ.

අද කීයෙන් කී දෙනාද හාමුදුරුවරුන්ට තුන් හිතින්ම ගරු කරන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කළේ බුද්ධ කාලයේ හිටපු හාමුදුරුවරුන්ට ගරු කරන විධියටම, අවසානයට ඉතිරිවන කසාදයක් බැඳලා, දරුවො ඉන්න, හාමුදුරු බව පේන්න සිහින් නූලක් ඇඟ හරහා දාගත්තු පුද්ගලයාටත් එක වගේ ගරු කරන්න කියලා. ඒකට අපි!! “පෙනේද අර හාමුදුරු හැත්ත පන්සලට වෙලා කකා බිබී පන්සල හදනවයි, වාහන ගන්නවයි, දේසපාලනෙයි.. ඕකුන්ට වඳින්න නවන කකුල් දෙකත් අපරාදේ.” ආන්න දැක්කද.. අපි හොඳටම දන්නවා ආරණ්‍යවල, වනගත වෙලා, ආතල් බණ වෙනුවට අභිධර්මය ම බණට කියන හාමුදුරුවරු ඉන්න බව. ඒත් “සංඝං සරණං” කියද්දිම අර විකාර වැඩ කරන සැට් එක මතක් වෙලා “සංඝං ටෞරණං” වෙනවා.

කොන්දොස්තරලා, බස් / ත්‍රීවීල් ඇතුළු රියදුරන්, ගුරුවරු ඔය හැම කෙනාම මේ ගැටළුවට මුහුණ දෙනවා. ළමයි පවා! පොඩි කාලෙ අහලා නැද්ද “මේ පන්තිය නම් මහ නාහෙට නාහන ළමයි වගයක්. ගිය අවුරුද්දෙ මෙහෙම නෑ” කියලා? මූණට විතරක් නෙවෙයි ටීචලා ස්ටාෆ් රූම් එකේදි කියන්නෙත් ඒ කතාවමයි. හැබැයි ඒ පන්තියේ ළමයෙක් සෙක්ෂන් ෆස්ට් වුණාම, හම්මේ ඉතිං! “මගේ පන්තියෙ ළමයි නෙවැ!”. ඔන්න ඕකයි තත්වේ. පවුලේ එකෙක් ජරා වැඩක් කළාම අම්මා තාත්තායි, අනෙක් අයටත් නරක නාමේ එනවා.

මෙහෙම වෙන එක නවත්වගන්න පුළුවන් කොහොමද?
1. වැරදි කරන කෙනා ඒක නොකර ඉන්න ඕන!
– රෙද්ද තමා. උගේ උපන් ගතිය අරින්න බෑ. කොච්චර මෙට්ටෙ තියන්න හැදුවත් දූවලා ගිහින් කිරි එකට ගොම දාලා කිරි කළෙත් බිඳලා ආවෙ නැත්තං ඌට කසනවා වගේ.
2. වැරදි කරන කෙනාව ඉවත් කරන්න ඕන.
– වැරදි කරන කෙනෙක් රස්සාවකින්, තනතුරකින් අයින් කරන එක නම් කොහොමහරි කරගත්තා කියමුකො. ඒත් ගමේ රටේ හරි, පවුලෙ හරි එකෙක් නොසණ්ඩාල වැඩක් කරොත් ඌව උස්සං ගිහින් මූදට දාන්නද? බෑනේ.
3.
– තුන? තුන තියන් වාඩි වෙයං.

ඔය එකක්වත් හරියන වැඩ නෙවෙයි. ඒ වෙනුවට හැබැයි අපිට, හිතන විදිය වෙනස් කරගන්න පුළුවන්. ඒ කිව්වේ, එක මී මැස්සෙක් ඇන්නා කියලා පොල්ලක් අරන් ගිහින් ඔක්කොම මී මැස්සන්ට තඩිබාලා ඇඟ ඉදිමිලා තියෙද්දි තව ලැජ්ජ නැතුව මී වදෙත් ලෙවකාලා එන්නේ නැතිව.., මී මැස්සා ඇන්නේ අහක තිබ්බ මී වදේට අනින්න ගිය හින්දා කියලා තේරුම් ගන්න ඕන. ඊට පස්සේ අර එක මී මැස්සෙක් නිසා “මී” කියලා තියෙන මීයන්ට, මී හරකන්ට, මීන්ලාට (මාළු), මීටර් කෝදුවට, අල්ලපු ගෙදර මීනාට, ගෙදර පොටෝ එකේ ඉන්න මී ආච්චිට, මී සීයාට වෛර බඳින්නේ නැතිව කොහොමහරි එකට ජීවත් වෙන්න ට්‍රයි කරන්න ඕන. මොකද, හැම එකාම නරකයි කියලා ගෙදර ගෑණිත් එළවලා තනියෙන් ඉන්න ගියොත් අන්තිමට තමා හිසට නෙවෙයි අනිත් දේවල් වලටත් “තම අතමය” සෙවනැල්ල වෙනවා.

තව දෙයක්. දැන් මේ අපි පණ දාගෙන අපේ කට්ටියට හැදෙන්න මේවා ලිව්වාට, මී මැස්සෝ කවදාවත් උන්ගේ එකෙක් වැරැද්දක් කළා කියලා අනිත් අය ඒක පිළිගන්නවත්, නිවැරදි කරන්න ක්‍රියාමාර්ගයක් ගන්නවත් යන්නෙ නෑ. සිද්ධිය වෙලාවේ “මීක්” සද්දයක් නැතිව ඉඳලා අපි පොල්ල අතට ගත්ත ගමන් රොත්තම ඇවිත් අපිටම ඇනලා යන බවත් අමතක කරන්න එපා. (දැන් ඉතින් ආයෙ මීයොන්ට වෛර කරන්න එපා මීමෝ)

Exit mobile version