Site icon Thambaru's Blog

ජස්ටින් බීබර්ට වැළඳුණු අංශභාගයට හේතුව

ජස්ටින් බීබර් ජුනි 10 වන දින ඉන්ස්ටග්‍රෑම් වීඩියෝ එකක් දාලා එයාගේ මුහුණේ අංශභාග තත්ත්වයක් ඇති වුණු බව පෙන්නුවා. එයාට හැදිලා තියෙන්නේ වෛරසයක් නිසා ඇතිවෙන රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය (RHS – Ramsay Hunt syndrome) යි. ඒ රෝගය ගැන දැනට සොයාගෙන තිබෙන විස්තරයයි මේ.

රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය (RHS) කියන්නේ මොකක්ද?

RHS වලට මුල් වෙන්නේ වරිසෙලා සොස්ටර් වෛරසය (VZV – varicella zoster virus) යි. VZV වෛරසය නිසා ඉතා සුලබ රෝග දෙකක් වන පැපොල (chickenpox) සහ ෂින්ගල්ස් රෝගය ඇති වෙනවා.

ෂින්ගල්ස් කියන්නේ පළු දාලා කැසීම ඇති වන රෝගයක්. එය වැඩි වෙලා අපේ කන අසලින් මුහුණට එන ස්නායුවට (Facial Nerve) බලපෑම් එල්ල වෙන එකට තමයි RHS කියන්නේ.

රෝග ලක්ෂණ

ෂින්ගල්ස්වල ස්නායුක බලපෑම නිසා මුහුණේ පේශි පණ නැති වෙනවා. අංශභාග තත්ත්වය ඇති වෙන්නේ ඒ නිසායි. මුහුණට, කනට සහ හිසට හෝ මුඛයේ ඇතුළත බිබිලි සහිත කැසීමක් එක්ක දැඩි වේදනාවක් ඇති වෙනවා. ඒ වගේම ශ්‍රවණාබාධ ඇති වෙනවා.

සමහර අවස්ථාවල කන ඇහෙන එක වැඩි වීම, කරකැවිල්ල, වමනය, දිවේ රස නැතිවීම, මුඛය/ඇස් වියළීම සිදු වෙන්නත් පුළුවන්. 

හැමෝටම හැදෙනවද?

එක්සත් රාජධානියේ NGO එකක් වන Facial Palsy ආයතනය දක්වන විදියට, කුඩා කාලයේදී පැපොල රෝගය වැළඳී ඇති අයට මෙම සින්ඩ්‍රෝමය ඇති වෙනවලු. ඒත් RHS කොච්චර දුර්ලබ ද කියනවා නම්, ඇමරිකාවේ NGO එකක් වන දුර්ලබ ආබාධ සඳහා වන ජාතික සංවිධානය (Nord) දක්වන්නේ එය වැළඳ‍ෙන්නේ ඇමරිකානුවන් 100,000 කින් පස් දෙනෙකුට විතර ලු. සාමාන්‍යයෙන් පිළිකාවක් 100,000 කින් 440කට විතර වැළඳ‍ෙනවා.

බෝ වෙනවා ද? 

පැපොල වගේ නෙවෙයි ෂින්ගල්ස් රෝගය, සහ RHS බෝ වෙන්නේ නැහැ. 

හැබැයි, පැපොල හෝ ෂින්ගල්ස් රෝගය සඳහා ප්‍රතිශක්තියක් නොමැති අයට RHS ඇති පුද්ගලයෙකුගේ විවෘත කුෂ්ඨ හෝ බිබිලි සමඟ ස්පර්ශ වුණොත් වෛරසය ශරීර ගත හැකි බව වෛද්‍යවරු අනතුරු අඟවනවා.

බේත් මොනවද? 

රුධිර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ වලින් RHS හඳුනාගත්තාම වෛද්‍යවරු ප්‍රතිවෛරස් ඖෂධ, ස්ටෙරොයිඩ්, වේදනා නාශක භාවිතයෙන් ප්‍රතිකාර කරනවා. සමහර අවස්ථාවලදී මුහුණට ව්‍යායාම් කිරීමත් නිර්දේශ කරනවා.

ඉක්මනට හොඳ වෙනවද?

බොහෝ අය සම්පූර්ණ සුවය ලැබුවත්, සිදුවන ස්නායු හානියේ බරපතලකම අනුව හොඳ වෙන්න වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල මුහුණේ අංශභාගය සහ ශ්‍රවණාබාධය සදාකාලිකව පවතින්නත් පුළුවන්.

ජස්ටින් බීබර්ට සුවය ලැබීමට කොපමණ කාලයක් ගතවේද කියලා නම් තවමත් පැහැදිලි නැහැ. 

Exit mobile version