“අසාර්ථක සහ සාර්ථක ජීවිතය ලෙස දෙකක් නැහැ”
රස්නය සහ සීතල කියලා අපි කටවහරේ පහසුවට වචන දෙකක් තියාගෙන හිටියත් විද්‍යානුකූලව ගත්තා ම එහෙම දෙකක් නැහැ. තිබෙන්නේ, උෂ්ණත්වය වැඩි බව හෝ අඩු බව ලෙස එක ම මිනුමක අගය අඩු-වැඩි වීම පමණ යි. සාර්ථකත්වයත් එහෙමයි. එහි අවසානය තීරණය වන්නේ ඔබ සතු ඉලක්කය අනුව පමණක් වන අතර ඊට ඔබ ළඟාවී ඇති ප්‍රමාණය අනුව ඔබේ සාර්ථකත්වය තීරණය වෙනවා. ඉතින් ඒ අනුව මෙලොව අසාර්ථක පුද්ගලයෙක් කියා ඔබට ම හෝ වෙනත් කෙනෙක්ට ලේබල් ගැසීමේ කිසිම අයිතියක් හෝ සාධාරණයක් නැහැ.
සංසන්දනය කරන්න එපා
තමන් කොතරම් දුරකට “සාර්ථකත්වය”ට, අපේ අළුත් හැඳින්වීම අනුව කියනවා නම් “ඔබේ ඉලක්කය”ට ළඟාවී ඇත් ද යන්න වෙනත් කෙනෙක් සමඟ කිසිදු ලෙසකින් මනින්නට බැහැ. මොකද, මිනිස්සු කියන්නේ තත්ව පරීක්ෂා කරලා කර්මාන්තශාලාවක හදපු එක ම ආකාරයේ මැශින් ගොඩක් නෙවෙයි. විවිධ කර්මාන්තශාලා -මව්වරු විවිධාකාර වන අතර ඉන් නිපැයෙන ප්‍රතිදානය -දරුවන් විවිධාකාර වෙනවා. එය ජානමය මට්ටමේ සිට මනෝ ස්වභාවය දක්වා නානාවිධ මට්ටම් වලින් පවතිනවා. ඉතින් හැම කෙනෙක් ම එකිනෙකාට වෙනස් සහ අසමසමයි (අතුල්‍ය/unique). ඔබ කියන්නේ ඉන් තවත් එක් සුවිශේෂී නිමැවුමක්. එහෙත් එය වෙනත් නිමැවුමක් සමඟ සසඳනවා නම් ඒ තරම් මෝඩකමක් තවත් නැහැ.
ඔබේ ඉලක්කය හඳුනාගන්න, අවශ්‍ය නම් වෙනස් කරගන්න
ප්‍රථමයෙන් අපි සොයාගන්නට ඕන අපට ළඟා කරගන්නට අවශ්‍ය දේ, ඉලක්කය කුමක්ද කියා යි. එය හොඳ ලේඛකයෙක්, කථිකයෙක්, මෘදුකාංග නිර්මාණකරුවෙක්, චිත්‍රශිල්පියෙක් හෝ අවම වශයෙන් ඉහළ වැටුපක් හෝ විය හැකියි. එහෙත් ඔබේ ඉලක්කය ලෙස ඔබට ලැබුණු පිළිතුර: සුපර් මෑන්, හඳේ හාවා, සීගිරි ලලනාවක්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අගබිසව වගේ දෙයක් නම් ඒ ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. ඇත්තට ම ඔබට ඔබේ ඉලක්කයට ළඟා විය හැකිද? එයට ලඟාවීමට ඔබ සතු දේවල් ප්‍රමාණවත් ද? ඔබෙන් ම ප්‍රශ්ණ කරන්න. චිත්‍ර බැරි ඔබට දිගුකාලීනව, උනන්දුවෙන් ශිල්පය ප්‍රගුණ කළොත් හැකියාව වර්ධනය කරගන්නට අනිවාර්යයෙන් ම පුළුවන්. ඒත් ‘හැකියාව’ වැනි වර්ධනය කළ නොහැකි දෙයක් නම් ඔබට නව ඉලක්කයක් අවශ්‍ය වෙනවා.
බොහෝ දෙනෙක් මේ වරද කරගෙන තිබෙනවා. තමන්ට කිසිදාක කළ නොහැකි දෙයක් ගැන සිතමින් ජීවිත කාලය ම දුක් වන්නේ තමාට ම ශාප කරගනිමින්. මේ නිසා තමා තුළ සැඟවී ඇති හැකියාවන් යටපත් වෙලා තමා එක්ක ම වැළලෙන්නේ තමාට හෝ ලෝකයාටවත් ප්‍රයෝජනයක් නැති ‘වැලපීම’ නමැති ගිනියම් යකඩ බෝලය ඔබේ අතේ ඉතිරි කරමින්. ඉතින් සුපර් මෑන් වෙනවාට වඩා ඔහුගේ අනෙක් ස්වරූපය වන ක්ලාක් කෙන්ට් නම් වාර්තාකාරයා වගේ වෙන්නට තාර්කිකව සිතමින් සිත නම්මවා ගත යුතු වෙනවා.
ඉලක්කය වෙනුවෙන් අධිෂ්ඨානයක් ඇතිකරගන්න
ඔබ පටන් ගත් මොනතරම් දේවල් මඟ නවතා දමා තිබෙනවාද? එවන් දෑ ඕනෑතරම් තිබෙන්නට පුළුවන්. ඊට ප්‍රධාන හේතුව වන්නේ අපේ අධිෂ්ඨානයේ බලවත් බව අඩු නිසා යි. වැඩේ සැලසුම් කරද්දී අපිට තිබුණු උනන්දුව හරියට ගිනිගොඩක් දැල්වූවා වගේ ආරම්භයේදී කෙමෙන් කෙමෙන් වැඩිව ගියත් ටිකකින් අඩුවී යනවා. එයට කළ යුතු වන්නේ වැඩේ සැලසුම හදන්නට පෙර, එය කිරීමෙන්/අවසන් කිරීමෙන් ඔබට ලැබෙන දේවල් පිළිබඳ ලැයිස්තුවක් සැකසීමයි. එහි ඒ වන විට ඔබට ලඟා කරගත හැකි තත්වය, වරප්‍රසාද ආදී සියළු දේ අන්තර්ගත කර තබන්න. පසුකාලීනව ඇවිලෙන ගින්නට පිදුරු දමන්නට වගේ මේ ලැයිස්තුව නිරන්තරයෙන් කියැවීමෙන් ඒ සඳහා තව තවත් උද්‍යෝගය වඩවා ගැනීමට එය හැකිවේවි.
ඉලක්කය වෙනුවෙන් කටයුතු කරන්න
අත් දෙක බැඳගෙන සාර්ථකත්වය බන්දේසියක තියලා කවුරුහරි ගෙනත් දෙනකම් බලාගෙන හිටියාට කවදාවත් කිසිවක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබ ඉන්නා තැන එහෙමම හිඳීම පමණක් ම සිදුවේවි. සැලසුමක් තැනූ වහා ඒ සඳහා ක්‍රියාත්මක වීම අවශ්‍යයි. අපි බොහෝ අවස්ථාවලදී කරන්නේ හිතෙන් සැලසුම හදමින් ඉඳලා අන්තිමට හිත හිත ඉන්නවා මිසක් කිසිම දෙයක් කරන්නේ නැති කමයි. අර විකුණන්න තිබුණු වීදුරු ටික ළඟ තියාගෙන මේවා විකුණලා, දියුණු වෙලා ලැබෙන සල්ලි වලින් ගන්න ගෑණිට පයින් ගහන්නේ මෙහෙමයි කියලා වීදුරු ටිකට ගහපු කෙනාත්, රඹුටන් වලින් සල්ලිකාරයෙක් වෙලා ගේන කරත්තය ගෙට ගන්න රඹුටන් ගහ කරදරයක් කියලා හිතමින් ඒක කපා දාපු මිනිහාත් ගැන ඔබ දන්නවා නම් එය සිහිපත් කරගෙන ආදර්ශයට ගැනීමට දැන් කාලය හරි. ක්‍රියාත්මක වෙන්න! ඔබට බොහෝ දේ කළ හැකියි.
හිතමින් නොහිඳ ක්‍රියාත්මක වීමේදී අතීත-අනාගත-වර්තමාන සංකල්පය ගැනත් සඳහන් කිරීම වැදගත්. අපි ගෙවුණු අතීතය පිළිබඳව සිතමින්, වැළපෙමින් මේ මොහොත/වර්තමානය කල්මැරීම හෝ තවමත් උදා නොවුණු අනාගතය ගැන සැලසුම් හදමින් සිහින මැවීම වෙනුවට වර්තමාන මොහොතේ කිසිවක් කළොත් එය අතීතයට එක්වීමේදී ඊට වටිනාකමක් ලැබෙන අතර ම අනාගතය ද සුභදායී එකක් බවට පැමිණෙනවා. ඉතින් මේ ගෙවෙන මොහොතේ වටිනාකම හඳුනාගන්න. ඉන් උපරිම ප්‍රයෝජනය ලබා නොගෙන අතීතයට යවන්න එපා.
නිරන්තරව තත්වය පරීක්‍ෂා කරන්න, සමාව දෙන්න
වැඩේ කරගෙන යන අතරතුරේ, නිතරම ඔබ සිටින්නේ කොතනද කියා අධ්‍යයනය කරන්න. හැබැයි ඒ “අපෝ තාම මෙතන. සිරීපාදෙ උඩට යන්න නම් මට කවදාවත් හැකි වෙන්නේ නැහැ” ආදී වශයෙන් දුක් වන්නට නොවෙයි. තත්ව පරීක්ෂාව කළ යුත්තේ යන මාර්ගය නිවැරදිද කියා දැනගන්නටත්, දැනට තිබෙන වැරදි අඩුපාඩු හඳුනාගැනීමටත් සහ කරන්නට තිබෙන දේවල් හඳුනාගැනීමට යි. ඔබ යමක් කරන අතරතුර ඕනෑතරම් අතපසුවීම් සිදු වෙන්නට පුළුවන්. ඒත් ඒවාට ඉඩදීලා වැඩේ අතහැරියොත් නම් එකතැන පල් වෙන්නට තමයි සිදුවෙන්නේ. අපි මෙහිදී ඊට සමාව දිය යුතුයි. මට මේ දේ අතපසු වුණා, ඒත් මම මේක ආයෙත් සිදු වන්නට ඉඩ දෙන්නේ නැහැ වශයෙන් ඔබට ම ඊට අවසර දී ආරම්භ කළ ගමන දිගට ම යන්න. ඉලක්කය ඔබ දන්නවා වුණත් නගින්නට තිබෙන ඊළඟ පඩිය ගැන විතරක් හිතමින් focus කරන්න. එවිට එකින් එක නගිමින් යාමේදී නොදැනුවත්වම ඔබ ඉහළ මළුවට ගිහින් තියේවි.