ලෝකයේ පැවැත්මේ හැටි තමයි ක්‍රම ක්‍රමයෙන් ගෙවී යාම. ඉපදෙන කුඩා දරුවෙක් ක්‍රමයෙන් වැඩිහිටියෙක් වෙලා අවසානයේ ඉතිහාසයට එක් වෙනවා. ඔහු ගැන මතකයක් අනිත් අයගේ හදවත් වල ඉතිරි නොවූවොත් ඔහුට අඩුම තරමේ ඉතිහාසයක්වත් නැහැ. අපේ අතීතයේ හිටපු ජාතික වීරවරයින් අපි සිහිපත් කරන්නේ ඒවා ග්‍රන්ථාරූඪ කරලා ඉස්කෝල පොත්වලට දාලා කටපාඩම් කරපු නිසා මිසක් අද බහතෝරන්න ඉගෙන ගත්ත මුකුත් නොදන්න දරුවෙක් ගෙන් එවන් පුද්ගලයෙක් ගැන ඇහුවොත් ඔහු ඒ ගැන හාංකවිසියක්වත් දන්නේ නැහැ. ඉතින් ඔබ කෙතරම් දේවල් කර තිබුණත් ලෝක විනාශයකින් පස්සේ ඒවා ඊට පසුව බිහිවන ජීවීන් දැනගනීවිද?
ප්‍රථමයෙන් ම ඉගෙන ගන්න ඕන දේ තමයි, අපි දෙයක් සමාජය වෙනුවෙන් කළ යුත්තේ කිසිදු බලාපොරොත්තුවක් තබාගැනීමෙන් තොරව හුදෙක් ජනයාගේ සුවපහසුව, සතුට උදෙසා බව යි. ඉන් සෑහීමකට පත්වන අය ඔබව මතක තබා ගනීවි. තවත් අය වැරදි කියාවි. නමුත් ඔබේ අරමුණ යහපත් එකක් නම් ඔබට ඉන් ජීවිත කාලය පුරාම සිහිපත් කරමින් සතුටු වෙන්නට පුළුවන්. කාගෙවත් ගුණ ගායනා අවශ්‍ය නැහැ. මෙන්න මේකට හිත හදාගත්තොත්, “මම මෙච්චර මෙච්චර දේවල් කරනවා, ඒත් මුන්ට මං ගැන ගානක්වත් නැහැනෙ!” කියන ආත්මාර්ථකාමී, බලකාමී සිතුවිල්ල නසාගන්නට හැකිවෙනවා.
ඒ වගේ ම යමක් කරගෙන යාමේදී මුල අමිහිරි වුවත් අවසාන අවධිය ඔබට වඩාත් හොඳ එකක් කරගන්නට පුළුවන් නම් සමාජයේ සිත්වල වඩාත් හොඳ ප්‍රතිරූපයක් ගොඩනගන්නට හැකි වෙනවා. වතුර ඇදලා ඇදලා කළේ බින්දාම ඒකට බැනුම් අහන්න වෙනවා මිසක් එච්චර වෙලා වතුර ඇද්ද එකට හොඳ කියන්න කවුරුත් නැහැ. මෙම සංසිද්ධිය උපයෝගී කරගෙන අපිට එය හොඳ අතට හරවා ගන්නත් පුළුවන්. ඔබ නොදන්නා කම නිසා මෙතෙක් කල් අංගුලිමාල කෙනෙක් වෙලා හිටියා නම් ඊයේ වනතුරුත් සමාජය ඔබට ගල් ප්‍රහාර එල්ල කළා නම්, ඔබ හරි මඟ අවබෝධ කරගෙන හොඳ කෙනෙක් බවට පත් වුණොත් හැමෝම ඔබට සියළු දේ අමතක කරලා වැඳුම් පිදුම් කරනවා.
ඊයේ කළ දේ ගැන හිතමින් ඉන්න එපා, මේ මොහොතේ යමක් කරන්න. එය අවසාන දේ ලෙස අතීතයට එක්වෙද්දී අනාගතය වඩාත් සුවදායී එකක් වේවි.