හැඳි නොගා හදන හොද්ද කිසිදා රස නොලබයි. ඒ නිසා ඔබේ මහා තරහකාරයෙක් සිටීනම් හැඳි නොගා ම ඔවුන්ට ඔවුන්ගේ හොද්ද හදාගන්නට ඉඩදී නිදහස් අධ්‍යාපන කැඳ හැලියට ආඬි හත් දෙනා වාගේ බොරු සෝබනේ දමමින් සිටියොත් වෙන්නේ කන්නන්ගර මහත්තයාට ද අපහාසයකි. මීට පෙර කීවා සේ කළයුතු වන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කිරීම නොව පාඩම් කිරීම ය. එවිට සයිටම් නොව මොන අයිටම් එකෙන් ආවත් ඔබේ දැනුම හොඳ නම් කිසිවකුටත් ඔබව හෝ ඔබ තබන ලද අභිමානය ඔබේ අධ්‍යාපන ආයතනයෙන් උදුරා ගන්නට නොහැකි වන්නේ ය. අප නම් අසා තිබෙන පරිදි “උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” මිසක් “පහර කෑ උද්ඝෝෂණයයි අප රකිනා” කියා එකක් නැත.
සෞඛ්‍යය හැම කෙනෙක්ට ම අදාල නිසා හැමෝම “මහජනතාව වෙනුවෙන්” හඬ නගතත් අනිත් හැම ඉන්ඩස්ට්‍රියේ ම තිබෙන්නේ මේ ටික ය. උපාධි ගසා පැමිණියත් වැඩ බැරිව රස්සාවේ ම නම කා දමන උන් කණෙන් වුව ද පෙන්වන්නට හැකියාව තිබේ. කොහොමනමුත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය යනු වැදගත් සේවාවක් බව සැබෑ ය. පණ යන්නට ඉන්න ලෙඩෙක්ගෙන් තමන්ගේ ට්‍රෑල් එක කරගන්නා වෛද්‍යවරයෙක් කිසිවෙකුත් පතන්නේ නැත. එහෙත් තමන්ගේ වෘත්තියට එන අභියෝගයකට විකාර කරන වෛද්‍යවරයෙක්, ලෙඩෙක් ජීවිත සටනෙහි සිටියදී ඊට උපකාර කරන්නේ කෙසේදැයි සිතීමත් උගහට ය.
ඉතින්, කරන්නට ඕනෑ වන්නේ ස්ටෑන්ඩඩ් එකක් නැතිනම් ඒක හැදීම මිසක් මාළු නැතැයි කියා මාළු බනිස් තහනම් කර තිරිඟු වගාවක් පටන් ගැනීමෙන් සිදුවන්නේ ආච්චිට හාල් ගැරීම වැනි නිශ්ඵල ක්‍රියාවකි. දැන් දැන් මාධ්‍යවලින් පෙන්වන පරිදි මහජනතාවගේ සුවතාව ඉදිරියට දමා කරගෙන යන්නේ තමාගේ වෘත්තියට එල්ලවන අභියෝගය: රජයේ රෝහලේදී යක්ෂා වේශයකුත්, පෞද්ගලික රෝහලේදී හා පැටව් වේශයකුත් ගෙන කරන රඟපෑමට ඇතිවන අභියෝගයට මුහුණ දීමට නොහැකිව කරන්නක් ලෙසිනි. සටන සාධාරණ විය හැකියි, ඒත් මාධ්‍යවලට ඉඩ නොදී මහජනතාව හොඳින් දැනුවත් කළා නම්; අරමුණ හොඳ නම්, මීට වඩා මහත් සහයෝගයක් ඊට ලැබෙනු ඇති.
සයිටම් ගැන හෝ මොන ටම් ටම් එකක්වත් අපිට අදාල නැත. ඒවාට යවන්නට අපේ මහඋන්ට සල්ලිවත්, රජයේ ඒවාට යන්න මට මොළේවත් නැත. එහෙත් හතර වටෙන් ම ඇහෙන විකාර කතා නිසා කට පියාගෙන ඉන්නට සිතුණේ ද නැත.
Image source: unions.lk