“බස්වල ගියපු අපිට ටිකට් කඩාපාන්න එපා“ යැයි කීවත් හැමදේම දිහා අසංතතිකව බලන්නෙයි කියලා කවුද කටකහනවට කියලා තියෙනවා නෙව. 🙂 ඒ හින්දා මේ ගැන ලියන්න හිතුවෙ බස්වල යනඑක ලැජ්ජාවක්ය කියන උන්දැලාට ඒකෙ අගේ පෙන්නන්නත් එක්කමයි. ලියන්න ඕනෑ කියලා අදහස ආවෙත් බස් එකේ ඉඳිද්දිමයි. 😛
පොදු ප්‍රවාහන සේවාවෙ කොටසක් විදියට රාජ්‍ය, පෞද්ගලික විදියට මේක දෙකොටසක් නෙ. හැබැයි මේවා බැංකුවල වගේ නෙවෙයි, දෙකේම උං බලාගෙන ඉන්නෙ පාරිභෝගිකයගෙ ඇඟට ගොඩවෙන්න! CTB නොහොත් සිලෝන් ටකරං බස්වල නම් “ටික්කෝ” නොහොත් ටිකට්පත් පරීක්‍ෂකවරුත් හිටිගමන් පනිනවානෙ. අපේ අම්මානම් පොඩි කාලෙදි ම මාව එයාලට බය කරවලා තිබුණෙ. කෑම කන්නෙ නැතිකොට ගෝනිබිල්ලාට දෙනවැයි කියන්න වගේ බස් එකක ටිකට් එකක් නැතිව යාම මරණීය දණ්ඩනයක් ලෙස ඈ මට ඒත්තු ගන්වා තිබිණ. (ඒ උනාට ටිකට් කඩන බස් තියෙන්නෙ කීයෙන් කීයද!)
බස්වලයෑම ද එක්තරා කලාවෙකි. පසුගිය දශකයේ ම කොල්ලෝ පාපුවරුවේ ගියත් දැන්නම් පොලීස් මාමිලාට බයේ සහ බස්වල දොරේ ගහලා තියෙන “මෙහි එල්ලී යන්නෝ වඳුරන්ගේ නෑයෝ ය” 😀 ආදී වශයෙන්වූ නෝන්ඩි දැන්වීම් නිසා එය බෙහෙවින් අඩුවී තිබේ. ඒක උන් කරන්නේ ‘තරුණමදය’ නිසායැයි විද්වත්හු කියති. (මදයක් ගැන කීවාට පොත්තක් ගැන සඳහනක් නෑ 😛 ) කෙල්ලෝ ඒක මොනවිදියට දකිනවාදැයි මා නම් දන්නේ නැතිමුත් තමන්ගේ ජීවිතය රැකගැනීම තමතමන්ගේ වගකීමකි.
බස් එක ඇතුලේ වුණත් පොල්ල අල්ලාගෙන සීටීම (ඊට සිනාසීම සපුරා තහනම් ය! 😉 ) එකඑක විදියට කරන්නෝ සිටිත්. උඩbar එක අල්ලාගන්නාවුන් වහලත් – bar එකත් අතරින් අතයවා මැණික්කටුවෙන් අත එහි සිරකොට නොඅල්ලා සිටිති. ඒ අතරේ කෙල්ලක් සිටින්නෝ ඈ දෙසට නැමී කණට කෙඳිරීම කරති. අනිත් අත එක්කෝ ඇගේ බඳවටා යවා හෝ (ආධුනිකයෝ) ඈ අල්ලාගෙන සිටින ආසන්නයෙන්ම ඇගේ අතේ ගැටෙනසේ සීට්වල ඇති bar අල්ලාගෙන සිටිති. කෙල්ල ලඟ නැත්නම් අමාරුවෙන් (ඒබව නොපෙන්වා) එක අතකින් සිටිමින් අනෙත් අතින් SMS කොටති. ඒකනම් යුවතියන්ට ද පොදු ය. SMS කොටනකොට ඔවුනට මෙලෝ සිහියක් නැත. එකවරම වේගයෙන් කොටාගෙන කොටාගෙන ගොස් Send කොට එය පපුවට තදකොට සුසුම්ලන්නෝ වෙති. 😛 Reply එක ආ වහාම නැවත දෑස් ලොකුකොට ෆෝන් එකට එබෙති. ඔවුන්ගේ ඉරියව් කියවීමෙන් ‘සබඳතාවේ තරම’ කියන්නට මට හැකියාව ඇත. 😀

පන්ති නිමවෙන වෙලාවන්ට සහ කාර්යාල නිමවෙන වෙලාවන්ට බස් පට්ට තදය. මං වගේ මගින් බහින එකෙක් හෝ එකියක් කරුමෙටවත් මැදහරියේ හිටියොත් උන්දෑ බහිනතැනට හෝල්ට් 4 – 5ක් පෙර සිටම දොරක් දෙසට යෑම අරඹන්ට ඕන. ඒ යද්දි කකුල් පෑගිලා, ඇඟේ වැදිලා මිනිස්සුන්ගෙන් කුණුහරුප හෝ ඊට ආසන්න වදන්වලට මුහුණපාන්නත් වෙනවා. 😛 කෝච්චිවල රහසේ තුන්වන සිල්පදේට කැපිල්ලදාන ඒවාගැන ගොඩක් දෙනෙක් කතාකළත් මේවැයිත් ඒක නැතුවාම නොවෙයි. පුංචි අපිට ඒවා ඕන්නැති කතා නෙවැ. 😉
හැම මඟියෙක් ම පාර දෙපැත්ත බලමින් යන්නෙ ජීවිතෙට නොගියපු පාරක යනවා වගේ. සමහරු පට්ට කල්පනාවල ඉන්නෙ. ඇත්තටද, බොරුවට ද මං දන්නෑ. ගෙවල්වල ඕනතරම් ප්‍රශ්ණ ඇතිනෙවැ. 🙂 මේ වෙලාවෙදි මාලනී බුලත්සිංහලගෙ “දකිනවිට පන්සලක්..” ගීතයෙන් කෑල්ලකුත් මතක් කරන්නෝන:
ඉතින් මේ විදියට මහළු අයත්, දරුවන් අතදැරූ මවුවරුත් මගහරින එක අපේ මිනිස්සුන්ට ගේමක් නෙවෙයි. (අදත් මං බබෙක් එක්ක ආපු ඇන්ටි කෙනෙක්ට සීට් එක දුන්නා, හැබැයි නෝ ‘තෑන්ක්ස්’ 😛 ) කොහොමත් ඕක වෙලා තියෙන්නෙ ඒ අයත් දන්නෙ නැහැ හිනාවකින්වත් ස්තුතියක් පෙන්නන්න. ඒ වගේ ම සීට් එක දීලා ඒ අය බහින්න නැගිටින කොටම කොහේහරි හිටපු බූතයෙක් අපිටත් කලින් ඒ සීට් එක අල්ලගන්නවා. 😀 හෝල්ට් දෙකතුනක දුර යන අය උනත් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දුරයන මිනිස්සු ඉඳිද්දි සීට් බදාගන්නෙ හරියට … (අනේමන්දා, කැමති එකක් හිතාගන්ට. 😉 ) ලංකාවෙ නම් බස්වල ඉඳන් පොත් කියවන අය අඩුයි. ටීවි එකේ දැකලා මාත් පොඩිකාලෙ ඕක කරන්න ගත්තාට, මාව AD එක වෙන්න ගත්තායින් පස්සෙ නැවැත්තුවා. 😛 අනික අපේ බස් වළවල්වල වැටි වැටී ගොරොද්දෙ අදිද්දි මොන යකාටෙයි පොත් කියවන්න ඇහැක්කෙ? 😡
හිටගෙන ඉන්න වෙලාවට එහෙම ළඟට ඇවිත් (නොදන්නවා වගේ ) බලෙන් ඇඟේ වදින හරි, (මම හොඳට බස්එක අල්ලං ඉන්න නිසා break පාරවල් වලට ඔය කවුරු කවුරුත් නවතින්නෙ මගේ ඇඟේ තමයි. :P) අතින් අල්ලන්න ට්‍රයි කරනහරි ගෑණු ළමයින්ගෙන් පරිස්සම් වෙන්නත් ඕනි. අපෝ අනන්තවත් මට ඕකනම් වෙලා තියෙනවා. එහෙම වෙන වෙලාවල්වලදි ඒ අයත් එක්ක කතාකරන්න ඕන කියලා මට අපේ එකෙක් කිව්වාට, ජීවිතේට දැකලා නැති, මෙලෝ මළදානයක් නොදන්න එකියක් දිහා බලන්නවත් මට නිකං මොකද්ද වගේ. ඒක ‘ගට’ නැතිකම ද, ඕනෑනැතිකම ද, ප්‍රශ්ණ ඇතිවේයැයි බිය ද, ආත්මාභිමානය කෙළෙසේවිදැයි ඇති බිය ද කියන්න මං දන්නෑ. 😛 (මොකද්ද කියලා හොයන්නත් එපා 😉 ) ගෑණු ළමයි විතරක් නෙමේ, අනන්ත කොල්ලොත් මේ වැඩේ ම කෙල්ලන්ට කරනවා. ඇත්තටම එහෙම එවුන්නම් අදහන්ට වටිනවා. දවසක් ඔහොම එකක් දිහෑ බස් එකේ කෙළවරක ඉඳං මං අධ්‍යයනේ කරකර හිටියා. කොල්ලා කෙල්ල ගාවට ඇවිත් අරකමේක අහනවා; කොහෙද බහින්නෙ, ක්ලාස් ගිහින් එන ගමන් ද ඊටීසි. කොන්දාට මාව නෝට් වෙලාද කියන්න දන්නෑ, “මල්ලී.. ඉස්සරහට යන්න..” කියාගෙන තල්ලුකරං මාව උන්දෙන්නා මැද්දට දැම්මෙ නැතැයි! ඒ පාර අර කොල්ලා මට රවන්න පටන් ගත්තා. 🙁 කෙල්ල නොකරත්, අනිවා හිතෙන් හොඳ හොඳ ඒවැයින් මට දෙසා බාන්නට ඇත. නිකං පව් පුරෝගන්න ඕන්නැති හින්දා කොල්ලව මෙහාට දාලා මං මාරු උනා. 😀
වහිනදාට නම් තෙමිච්ච කෙල්ලන්ගෙ කොණ්ඩ ඇඟේ ගෑවෙන එකයි, මෙලෝ සිහියක් නැතුව කතා කරකර; උන්ගෙ කුඩ හතරවටේ ඉන්න අයගෙ ඇඟට අල්ලගෙන ඉන්න එකයි හින්දා සුපිරිම ආකාරයෙන් Indoor වැස්සකට ලක්වීමට හැමටම සිදුවේ. 🙁 කෙල්ලන් විතරක් නෙවෙයි හැමෝම එකයි! දවසක් මාත් ඇන්ටි කෙනෙක්ගෙන් (8 වසරෙදි විතර) බැණුම් ඇහුවා තෙමුණු කුඩේ තියං ඉඳලා. එදා සිට මගේ කුඩ පාවිච්චියක් නැත. මවගේ බැණුමකින් බේරෙන්නට හදිසියේ අතදැරුවත් මට කුඩයක් අල්ලන්නට කෙනෙක් හමුවන තුරු කුඩ සෙවණක් නොසොයන බවට අධිෂ්ඨාන කළෙමි. 😛 අනික මට කුඩේ අකුලාගන්නට බැරුව ෆුට්බෝඩ් එකේ රස්තියාදු වෙන එක අනන්තවත් සිද්ධ වෙලා තියෙනවා. එහෙම වෙලාවට නම් ලැජ්ජාවට ම කුඩේ විසිකරලා දාන්න හිතෙනවා. 🙁 ඒ වගේ ම ඔය මඩත් එක්ක වෙන කෙනෙක්ගෙ සපත්තුවක් අපේ කකුල පෑගිලා හා/හෝ කලිසමේ අග කෙළවර ගෑවීමෙන් බතික්කරණයකට ලක්වීම සැමගේ ම සීමාව ඉක්වමවා යාම සාමාන්‍ය දෙයක්.
Leave a Reply