කෙතරම් වේලාවක් හිස මේසයට ඔබාගෙන සිටියාදැයි මට කල්පනාවක් නැත. පියන්ගේ හඬට එකවර හිස එසවීම නිසා බමන ගතියක් දැනුණු නමුදු එය නොපෙන්වා මම පුටු ඇන්දට හේත්තු වුණෙමි.
“මහත්තයා, මේක ඉක්මණට අත්සන් කරගෙන එන්න කියලා ලොකු මහත්තයා කිව්වා.”
සති ගණනකට කළයුතු වැඩ මගේ මේසය මත ගොඩ ගැසී ඇත. ‘යන‘ කොටසට වඩා ‘එන‘ කොටසෙහි දෙබැම උඩයනතෙක් ම ලිපි ගොනු පිරී තිබේ. මේ එකක් ගෙන අහවර කළ යුතුයැයි අතට ගත් හැම වරෙහිම ගොනුව තුළ දකින කිසියම් වදනක් හමුවේ දිව යන සිත මෙලොවට නැවත ඇදගන්නේ මඳ වේලාවකින් නැවත එය එතන තැබෙන්නෙට අත එසැවෙන විටය. මහතැන ද හදිසි කටයුත්තක් වෙනකෙකු ලවා කොට කාර්යාල පද්ධතියේ නාමයෙන් මගේ අනුදැනුම ඊට අවශ්‍ය නිසා මවෙත එවන නමුදු වචනයකින් හෝ මට දොසක් නොකීම සිතට සහනයෙකි.