නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් නෙවෙයි පාඩම් කරන්න

වෙසක් කාලෙට දන්සල් තියෙනවා. ආයෙ අහන්නත් දෙයක්යැ? පන්සලක් කාලා දන්සලක් වැඳගෙන එන අපිට කියන්න එනවා මෙතන දන්සල් තියෙනවා කියලා. 😛 පොඩ්ඩක් හිටුකො. ඒ අතරෙ වෙළඳසැල් හිමියෙක් වෙසක් කියලා තමන්ගෙ කෑම කඩේ වහන්නේ නැතුව එදාටත් ඇරලා තියනවා. ඔබ මේ දෙකෙන් යන්නෙ මොකකට ද? ඔය වෙළඬෂැල් ඉමියාත් ඩන්ෂැලට යයි නේද මාතියා. උගෙන් වැඩක් නෑ යුෂ්මතා යන එක අහන්නෙ. මම යුෂ්මතා නෙවෙයි මුස්තපා ඩෝ

අපේ හාදයින්ට මොලෝ දෙයක් කියන්න බෑ නැට්ට පාග ගන්නවනෙ. දැන් උනත් කියයි මෙතන ජාතිවාදෙ කියලා. ආපු කාරණාව මතකත් නෑ අන්තිමට. හැබෑට මොකටද දැන් ආවෙ? ආ දන්සලක් වඳින්නනෙ. ආ නෑ මොකද්ද නිදහස් අධ්‍යාපන කතාවකුත් තියෙනවා. දන්සලෙයි නිදහස් අධ්‍යාපනෙයි අරගෙන මොකක්ද කරන්න හදන්නෙ! මළ පයිනවා එක එක ඒවට සමාන කළොත් නම්.

මෙහෙමයි සීන් එක. දැන් ඔහොම දන්සලක් දුන්නාම ඕන තරම් අය එනවා එතනින් පොඩ්ඩක් සප්පායම් වෙන්න. ඒත් හිතුවද ඇයි මේ මිනිස්සු මෙච්චර වියදම් කරගෙන නොමිලේ කන්න දෙන්නෙ මොන පිස්සුවකටද කියලා? ඔව්, පින් තකා තමයි. ඒත් ඉතින් සාමාන්‍ය කෙනෙක්ට දානයක් දෙනවාට වඩා සිල්වත් අයට දානයක් දුන්නාම පින වැඩියි. ඒ හින්දා හොඳ සිල්වත් හාමුදුරුවරු දෙතුන් දෙනෙක් වඩම්මලා සල්ලි සාක්කුවයි, පින් සාක්කුවයි දෙකම ශේප් කරගන්නෙ නැතුව මේ නිකං පාරෙ යන මිනිස්සුන්ට දිවා රෑ නොබලා සතියක විතර ඉඳලා බඩු මුට්ටු, ශ්‍රමය එකතු කරගෙන කන්න දෙන්න නම් ඉතින් මොළේ හොඳ නැති වෙන්න ම ඕන. ඇත්ත; ඒත් “නිකං පාරෙ යන මිනිස්සුන්ට” කන්න දෙන එක පිස්සුවක් වුණාට “වන්දනාවෙ ගිහින් මහන්සි” දුර පළාත්වල ඉඳලා එන අයගෙ කුසගින්න, විඩාව නිවන එක මානුෂීය වශයෙන් වගේ ම ආධ්‍යාත්මික වශයෙනුත් පුදුමාකාර ඉහළ තලයක ක්‍රියාවක්.
ඒ වුණාට දිග පෝලිමක කට්ට කාගෙන පැය ගණන් කකුල් රිදෙනකම්, පාරෙ යන අයටත් පෙනි පෙනි චාටර් එකක් කාගෙන දන්සලට යන්නෙ ඇයි? අනිවා ඒ මිනිස්සුන්ට එච්චරට බඩගිනි ඇති, මහන්සි ඇති, තිබහා ඇති. ඒත් ඔය දන්සල් පෝලිමක ඉන්න අයගෙන් වෙනම වෙනම ඇහුවොත් ඇයි ඔහොම ඉන්නෙ කියලා, නෑ අහන්න යන්න එපා පෝය කියලා නෑ මුසාවාදෙ අතාරිනවා ඕසෙට.

මොකද අපේ ඔපීසියෙ අයිස්ක්‍රීම් දන්සලට එන හැමෝම “ඩ්‍රයිවර්ට අයියාට” කියලා වැඩිපුරත් එකක් අරගෙන යනවා. ඩ්‍රයිවර්ගෙ හාමිනේටත් වඩා වාහනේ යන හැම ගෑණිම උන්දැට ආලෙ. 😛 ඊළඟට ගමේ සැට් එක එනවා ‘ගමේ දන්සලනෙ බ්‍රෝ’ කියාගෙන. අපිට ප්‍රශ්ණයක් නෑ ඉතින්. අපි “දෙනවා” හෙවත් ‘අතහරිනවා’ නිසා දෙන්නෙ කාටද කියලා අදාල නෑ. අදාල නෑනේ.. දැන් මං කියන්න ගියේ, ඒ වගේ බොරු කියන පිරිස දන්සලට එන්නේ වෙහෙස මහන්සියට බඩගින්නට නෙවෙයි, ආතල් එකට. අපි මෙච්චර ගාණක් දන්සල් වැන්දා කියලා ඕන්නම් උජාරුවත් කියයි. මේකෙන් වෙන්නෙ මොකක්ද?
ඇමතිතුමා කියන්න වගේ ‘අනවශ්‍ය අය දන්සල් වඳිනවා’ 😀 ඇත්තටම මේ කොටසට මධ්‍යම පන්තියයි ධනපති පන්තියයි තමයි වැඩිපුරම වැටෙන්නෙ. අමාරුවෙන් මධ්‍යම පන්තියෙ සමහර අයව නම් අතාරින්න පුළුවන්. කොහොමහරි, මේකෙන් වෙන්නෙ; ඇත්තට ම බඩගින්නෙ එන අයට පෝලිමේ ඉන්න වෙන එකයි, පෝලිම තේරුමක් නැතිව දික් වෙන එකයි.

ඒත් දැන් දුප්පත් මිනිහාගෙ ඇහෙන් ඔහොම සාධාරණිකරණය වුණාට, පොහොසත් මිනිහාගෙ දකින විධියට මෙහෙමයි: “අපේ ළමයි ආසයි මේවාට යන්න. කොච්චර සල්ලි තිබුණත් අපිත් ආසයි දන්සලක් වඳින්න.” ඒ වගේ ම දුප්පත්කමට ඉඳලා ඉහළට ගිය කෙනෙක් නම්, පොඩි කාලෙ දන්සල් වැඳලා ඒකෙ තියෙන තෘප්තිය දන්න නිසා ඒක ආයෙත් අත්විඳින්න, තමන්ගෙ ළමයින්ටත් ඒ අත්දැකීම ලබාදෙන්න එහෙම කැමති වෙන්න පුළුවන්. ඒ පෝලිමේ ඉන්න අතරෙ, මම ඒ කාලෙ මෙච්චර දුකක් වින්දා; ඒත් ඔයාලාට මෙච්චර දේවල් තියෙන නිසා ඒක දැනෙන් නැහැනෙ. බලන්න මේ පෝලිමේ ඉන්න මිනිස්සු ගොඩ? ඔයාලත් දැනගන්න ඕන මේවායේ හිටගෙන ඉඳලා කකුල් රිදෙන හැටි.” ඒත් ඉතින් එච්චර දාර්ශනික ටෝකක් දිදී ළමයි එක්ක යන්නෙ සියයට එකකටත් අඩු ප්‍රමාණයක් තමයි.

මධ්‍යම පන්තියයි, මධ්‍යම පන්තියට අමාරුවෙන් ආපු අයයි මෙහෙම හිතන්න පුළුවන්. “බුදු අම්මේ පෝලිමේ දිග! අදනම් රෑට කන්න හම්බ වෙන්නෙ නෑ” (හාමිනේ උයන්නෑනෙ 😀 අන්තිමට අහයි තමුසෙ මට අදත් උයන්න කියනවාද කියලා ) ඉතින් කන්න ඕන නිසායි, උත්සව අත්තිකාරම් එහෙම අරගෙන අතේ කීයක් හරි තියෙන නිසාත් අර අපි මුලදිම කිව්ව ඇරලා තියෙන කඩේට ගිහින් මෙයාලා සල්ලි දීලා කනවා. හැබැයි, “සල්ලි තියෙනම් ඒ මිනිස්සු ඒකෙන් කෑවාම අපිට මොකෝ?” කියලා නොහිතා අද පෝය! වෙසක් පෝයට කඩවල් අරින්න හොඳ ද?! මුළු ලෝකෙටම නිවාඩුවක් වුණ දවසේ ඇයි කඩවල් අරින්නේ කියලා උද්ඝෝෂණයක් කරනවා වගේ වැඩක් තමයි ලංකාවේ මේ දවස්වල සිද්ධ වෙන්නේ. සිංහයන් වඳකරන්න ඉල්ලනවා.

කන්නංගර මහත්තයා නිදහස් අධ්‍යාපනය ස්ථාපිත කරද්දිත් ලංකාවෙ තිබුණෙ සුද්දා ඇති කරපු ගෙවලා ඉගෙන ගන්න පාසල් තමයි. ඒක ඉතින් අමුතුවෙන් සපථ කරන්න දෙයක් නෑ මොකද, එතුමා ඉගෙන ගත්තෙත් මුලදි වෙස්ලියන් මිෂනාරි පාසලේ වගේ ම ඉන් සමත් වෙලා නොමිලේ යන්න අවස්ථාව ලැබුණත් ගෙවන පාසලක් වුණු රිච්මන්ඩ් විද්‍යාලයට. හැබැයි එතුමා හිතුවා නම් මමත් ගෙවලා ඉගෙන ගත්තා නම් ඔය එක එක පොඩි කොල්ලන්ට මොකටද නොමිලේ අධ්‍යාපනයක් කියලා, අපිටත් කුඹුරක් කොටාගෙන තමයි ඉන්න වෙන්නෙ.

ඉතින් උද්ඝෝෂණය කරනවා නම් ඉස්සෙල්ලාම හරිනම් පාරට බහින්න ඕන 5 වසරෙ සිඟිති පාතාල සැට් එක. මොකද ‘ශිෂ්‍යත්ව’ විභාගය තියෙන්නෙ අඩු ආදායම්ලාභී ශිෂ්‍යයන්ට මාසිකව මුදලක් ලබාගන්නයි, ගමේ පාසලේ දරුවන්ට නගරයේ පාසලකට පාර කපා ගන්නයි තමයි. ඒත් එහෙමයි කියලා සල්ලි තියෙන, ජාතික පාසල්වලට යන ළමයි විභාගෙ නොලියා ඉන්නවද? උන්ට තියෙන්නෙ නම්බුව තබාගැනීමේ තරගයක්. ඒකෙන් තරගය වැඩි වෙන්නෙ අහිංසක දුප්පත් ළමයින්ගේ. උන්ට ඕනකමක් නැති වුණත් අම්මලා ඌව මරවනවා, මොකද ඒ මිනිස්සු තමන්ගෙ අසරණකම දන්න නිසා; ළමයාත් ඒ ගාණට වැටෙයි කියලා බයෙන්. ඉතින්, සල්ලි තිබිලාත් එක වසරෙදි ජාතික පාසල්වලට යාමේ තරගයත් වැඩි කරලා; ශිෂ්‍යත්ව විභාගයටත් අරිනවා කියන්නෙ ඒ කූර කම සල්ලිවලට ම තමයි ගන්න පුළුවන් මහත්තයො.

දැන් විසඳුම අපිට ලැබුණා. සරලව ම කිව්වොත්:

ගොඩැල්ලේ තරම දැනගෙන වළ කපනු
කඩුල්ලේ තරම දැනගෙන වැට බඳිනු
බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු
තමුන්ගේ තරම දැනගෙන කල්ගෙවනු

ඒ විධියට තමන්ගෙ තරම අඳුරගෙන බොරු නිහතමානිකම් පෙන්නන්න පොඩි මනුස්සයාගෙ සාක්කුවට තට්ටු නොකර ඉන්නවා නම් සරලව මේක විසඳන්න පුළුවන්. හැබැයි ඉතින් සල්ලි ගෙවලා යන ඒවා එහෙම් පිටින් ම වහලා දැම්මුවොත් නම් ගොඩැල්ලෙ ගානට තමන්ටම වල කපා ගත්තා වගේ වැඩක් තමයි කෙරෙන්නෙ.

හැබැයි දැන් මෙතන ප්‍රශ්ණෙ තියෙන්නෙ ක්‍රමවේදයේ වැරැද්දක්. නිදහස් අධ්‍යාපනය යටතේ ළමයාව මරවලා එපා කරවලා උපාධිය දෙන අතරේ ගෙවන ඒවායෙ වැඩි මහන්සියක් නැතිවම උපාධිය දෙනවා. හැබැයි පෞද්ගලික පාසලකට, විශ්ව විද්‍යාලයකට ගිහින් ඒ පාඨමාලාව හරිහැටි ම හදාරලා නියම බුද්ධියක් ඇතිව එළියට එන කෙනෙක් ඉන්න බැරිද? බොරු විෂය මාලාවක් තියෙන තැනකට කිසිම දෙමාපියෙක් යවන්නෙ නැහැනෙ, තමන්ගෙ ළමයි ඉගෙනගන්නවාට අකමැති කෙනෙක් නැහැනෙ. ඉතින් ප්‍රායෝගිකව ඉතා ම සුළු වුනත් එ් වගේ සම්භාවිතාවක් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට වෙන්නෙ, ළමයාගෙ බුද්ධිය විමසන ක්‍රම තිබුණත් උන් ඒවා ගෙවලා පිට අයට කියලා කරවගෙන දීලා ශේප් වෙලා වෘත්තියට එනවා සමාන මට්ටමේ ම උපාධියක් අරගෙන.
මේක තමයි මේ වෙනකොටත් අපේ වෘත්තියටත් වෙලා තියෙන්නෙ. ඒ ලෙවල් අවුල් කරගන්න අය computer course කරා කියලා ලොකුවට ජොබ් එකට ආවට කෝඩ් කරන්න ගියාම කරන්නෙ බහුබූත. Clean codes, good practice කියන්නෙ කන ජාතියක් කියලාවත් දන්නෙ නැති උන් තමයි ලොකු ලොකු කම්පැණිවල වැඩ කරන්නෙත්. මේක තියෙන්නෙ අපේ වෘත්තීන්වල විතරමද?

නෑ, මේ හැමදේම පාලනය වෙන තැනත් ගඳ ගහනවා. දේශයක් පාලනය කරන්න ගිහින් තියෙන්නෙත් නුසුදුසු පිරිසක්. එතකොට ඒක යටතේ තියෙන මොන දේ පාලනය වෙන්නෙත් අජූව විධියට තමයි. දැන් කියන්න එපා අන්න ඒක තමයි! මහින්ද මහත්තයා හිටියා නම් ඕවා වෙන්නෙ නෑ කියලා. ආයෙ මුල ඉඳලා දෙයියන්ගෙ නාමෙට මේක කියවගෙන එන්න.

ඉතින් මං කියන්න ගියේ, කොච්චර නමට පස්සෙ අකුරු තිබුණත් වැඩක් නෑ තමන් ඒකට සුදුසු නැත්නම්. නමට කලින් කුලය තීරණය වෙන වාසගම් තිබුණාට පාදඩකමට ජීවත් වෙනවා නම් ඒකෙ තේරුමක් නෑ වගේ ම මොනතරම් සහතික, උපාධි තිබුණත් කරන වැඩේ හරියට කරගන්න බැරිනම් ඒ ටික පුච්චලා අළු ටික නළලේවත් ගාගන්න තරම්වත් තමුන් ඊට සුදුසු නැහැ. ඒ හින්දා නොමිලේ ලැබෙන නිදහස් අධ්‍යාපනයෙන් පැත්තක තියෙද්දි පාරවල් හරස් කරගෙන වාහනවල විෂ දුමෙන් පරිසර දූෂණය වෙන එක වැඩි කරලා, පිච්චෙන තෙල්වල සල්ලි රට පටවලා, පොලීසියෙ ඉන්න තවත් දුප්පත් ළමයි පිරිසකගේ තාත්තලාට සිවුරු පොරවගත්ත කොල්ලන් එක්ක කුණුහරුප කියලා, ගහලා, රටේ පොදු දේපල විනාශ කරලා, තමන්ගෙ ම වළ කපාගෙන ඒකට වසුරු හෙළාගන්නෙ නැතුව තියෙන දෙයින් පාඩම් කරන එක තමයි කරන්න පුළුවන් උතුම් ම දේ.

මේ විධියට, ක්‍රමවේදයේ වැරැද්දක් තියෙනවා කියන එක හරියට ම හරි. මොකද දැනට අපි නිදහස් අධ්‍යාපන කණ්ණාඩි දෙකෙන් බැලුවාම උපාධියක් තියෙන කෙනා උගත් සහ උසස් විධියට පෙනුනත් මේ ශේප් න්‍යායෙන් එන අය එක්ක ඒ කණ්ණාඩි දෙකෙන් පෙනෙන දේත් වැරදියි. අපිට අවශ්‍ය වෙන්නෙ වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලබපු, තමන්ගෙ වෘත්තියට ආසා කරන, ඒ ගැන හොඳ ශාස්ත්‍රීය විධියට මූලධර්ම හොඳට දන්න අය යි. එහෙම කළොත්; රාජ්‍ය සේවයේ ඉඳගෙන රටේ ධනය නාස්ති කරමින් කාලය කන අය, වෙනත් රස්සාවක් කරන්න කැමති වුණත් වෛර කරමින් තමන් අධ්‍යාපනය ලබපු දේ අනුව වෙනත් ම රැකියාවක් කරන්නට සිදුවුණු අය වගේ ම හැක් කරන්න තරම් දැනුම තියෙන අය ගෙදර ඉද්දි මොනාහරි ටිකක් ‘වැඩේ කෙරෙනවා නම් එච්චරනෙ’ න්‍යායෙන් code කරපු අය රජයේ IT ඩිපාට්මන්ට්වලයි ඉන්න එකක් නැහැ.

ඒවයින් වැඩක් නෑ, ඔහෙට blog එකක් ලියන්න උපාධියක් තියෙ ද?

3 Replies to “නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් නෙවෙයි පාඩම් කරන්න”

  1. දුප්පතුන් නොවන්නන්ගේ දරුවන් ශිෂ්‍යත්‍ව විභාගයට පෙනී සිටීම තහනම් කරනු!

  2. කරකවල අතෑරියා වගේ! ?

    “නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන් සටන් නෙවෙයි පාඩම් කරපියව්. උගත්කම මොකෙක්ටවත් සල්ලිවලට ගන්න බෑ. ඒක තේරෙන්නෙ නැත්නම් ඔය දෙපිරිසේම කිසි වෙනසක් නෑ.”

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.