ගාල්ලට රේල්ලුවෙන් #GalleByRail

ගිය සැරේ TweetUpSL5 අහවර වෙලා මාස 5 – 6ක් යන්නත් කලින් අපේ Twitter සැට් එකට ආයිත් mini tweetup එකක් දාන්න හිතුණා. කලින් Grand සැරමොනිය කොළඹ උනාට මේක දාගත්තෙ බෙන්තර ගඟෙන් එහා, ගාල්ලෙ. අර කතාවටත් කියනවනෙ, බෙන්තර ගඟෙන් එහා පූසෙක්වත් විශ්වාස කරන්න එපා කියලා. ඒ හින්දා අපිව බලන්න එද්දි පරිස්සමෙන්. අපි නිකම්ම නෙවෙයි, උපාසක prefix එකක් තියෙන උන්. 😀 (කවුද කිව්වෙ කොළඹ උන් මීයො කියලා?) අකුරු 140කින් බෙදාගත් හිතවත්කම තවත් වැඩි වෙන්නත් එක්ක මේක සංවිධානය කෙරුණා. ඉස්සරහට KandyByRailනුත් සමහරවිට වෙයි.

ඉතින් කොහොමහරි මට මේ ගැන දැන ගන්න ලැබුණෙ අපේ ඔපීසියෙ සෙට් එකත් එක්ක Google I/O 15 ගියපු වෙලාවෙ. ඒක රෑ එළිවෙනකම් තිබුණ නිසා අපේ ගෑණු ළමිස්සියො දෙන්නා නැහැ. අපේ ලොක්කා ප්‍රබෝධ, සශේන්, සහන් එක්ක අනුරාධයත් සෙට්වෙලා ගියේ. අපේ tweepsලත් ගොඩක් ඇවිත් හිටියා. ඉතින් ඒ හැර එදා ඇවිත් හිටපු හැමෝම ගූගල් දෙයියන්ගෙ පංකාවො තමයි. ටී ෂර්ට් ගන්න බලන් එහෙම කවුරුවත් එන්නෑ. පිස්සුද? දෙයියො වැඳපුදාගන්න එන්න ඇත්තෙ. එදා රණුකයා () මාව අමිල අයියට () හඳුන්වලා දුන්නා. වැඩේට අදහස් මොනවත් තියේනම් කියන්න කියලා කිව්වට, හතර වටේ ඇවිදලා නිදහසේ ඉන්න හොඳ ම අදහස එයාලා අරගෙනයි තිබුණෙ. අපේ තාරි අක්කත් () එදා ඇවිත් හිටියා.

ජුනි 14 ඉරිදාට ඔහෙලා ඇඟිලි ගනිද්දි මම ගෙදරින් 838 අවසර පත්‍රය (එහෙම කිව්වාම වැඩේ අමාරුව කියන්න ඕන නෑනෙ පප්පෙ?) අරගත්තා. එදා උදේ 6ට විතර අපේ කට්ටිය රේල්ලුවෙන් මරදානෙන් පිටත්වෙලා තිබුණා. 2වැනි පෙට්ටියට සැට් උනාට ඒක පටලවං  දෙවෙනි පන්තියට ටිකට් අරන් තිබුණ නිසා 5වෙනි පෙට්ටියෙ තමයි කට්ටියට එන්න වෙලා තියෙන්නෙ. හයහමාරට විතර නැගිටලා twitter feed එක බලද්දි තමයි ඒක දැක්කෙ. දෙයියනේ! අද නේද ගාලු යන්නෙ! 😀 දිස්ත්‍රික්කෙන් එළියට මුල්වතාවට ගියේ එදා කියලා එහෙම හිතන්න එපා හරිය? මොකද මාතර  කොටිකාවත්තෙ  බලන්න ගිහින් එදා. ඉරිදා උන්ගෙ date එකනෙ. ඉතින් මාතරින් මං විතරයි GalleByBus. අටහමාරට විතර එන්න කියලා තියෙද්දි දෙයියනේ කියලා 9.30 වෙද්දි තුන්වෙනි වේදිකාවට පැමිණි මම ගාල්ල දුම්රිය ස්ථානයේ නතර කළා. මොකද ඊට කලින් අමිත් () අයියයි, ගෙනිච්චාම නොවහින මැජික් කුඩේ අතින්ගත් නලින් () අයියයි ඇවිත් හිටියෙ. නලින් අයියා මාව දැක්ක ගමන් අඳුරගත්තා. ඉතින් කොළඹ සැට් එක එනකන් අපි එහාට මෙහාට වෙවී හිටියා. ඔය අතරෙ උස හීන්දෑරි එකෙක් තනියම කිරි පැකට් එකකුත් බිබී ආවා අපි හිටපු පැත්තට. රණුකයා. ඒ ඉඳිද්දි 9.40ට විතර ඔන්න අපේ උන්ටික රැගත් කෝච්චිය සේන්දු වුණා. , නෝනා මහත්තයා නැතුව , අමිල සහ කටුචූටි එක්ක  අක්කලාත් ඇතුළු tweepලා 30ක් විතර ඇවිත් හිටියා.

කලින් දවස් ටිකේ වැස්සාට එදා හොඳටම අව්ව. Station එකෙන් එළියට අඩියක් තියපු ගමන් මුන් කෑ ගහන්න ගත්තා රස්නෙයි කියලා. ඒකට මොකද,  කුඩයක් ගෙනත් තිබුණා. හැබැයි ඕක යටින් යන්න වාසනාව තිබුණෙ කටුචූටි අක්කට. ඉතින් “වෙන්ට Soldier” Captain America දේවීං වහන්සෙට මුළු දවස පුරාම මුතු කළු කුඩය ඉහළාගත් ඔහු දක්නට ලැබුණා. 😀 ඊට පස්සෙ ගාල්ලෙ බස් stand එක උඩට සිංදුවකුත් කියලා කට්ටිය පේළියට ගාළු කොටුවට පා නැගුවා. ඇතුල්වෙන හරියෙ නෙව වැඩේ! කෙතරම් ආදරණීය දර්ශනයක්ද! විලි ලැජ්ජාවෙ සංතෝසෙ බෑ කුඩවලින් හිස සිට දණහිස දක්වා වසාගත් ජෝඩු ජෝඩු කෙළිනවා, පෙම්.  😉 අපි ඉතින් නොදැක්ක ගානට ඉදිරියට ගියා. ගොඩක් රස්නෙ නිසා ලෝගා කිව්වා “Museum එක A/C කරලා තියෙන්නෙ. එ්කට යමු”.

රු. 50 ටිකට්නුත් අරං හැමෝම ගොඩවැදුණා. ඇතුළු වෙද්දිම තිබුණු ගාළු වරාය ආකෘතිය බලාගෙන අපේ උන් ඔන්න විස්තර කරනවා: “මේ තමයි ගාල්ල Port City” “මේක හදලා තියෙන්නෙ මූදෙන් පස් අයින් කරලා” “මේ කොළ පාටින් පෙන්නුම් කරන්නෙ පරිශ්‍ර” “එතකොට මේ මෙතන තියෙන නැව දැන් වුණත් ගිහින් බලන්න පුළුවන් එතන තියෙනවා” ඒ අතරෙ, “කෝ බං මේකෙ A/C?” “මොකාද මේකෙ A/C තියෙනවයි කියපු එකා?”
අනෙකුත් පුරාවස්තු කෙසේ වෙතත් ක්‍රි.පූ. ගණන්වලද කොහෙද හොයාගත්තු ෆෑන් ටික නම් අපේ උන් බදාගෙන බැලුවා. ඒවා කැරකෙනවනෙ හිටං! ඒ වගේ භාණ්ඩ තමයි වෙලාවෙ හැටියට තියෙන්න ඕන. ඒ ටික බලලා “නිශ්ශබ්දව වන්න – සෙමින් තරප්පු පෙළ භාවිතා කරන්න, අනතුරු සිදුවිය හැකියි” පඩිපෙළෙන් පහළට බැහැලා Pirates of the caribbean මතක් කරමින් අපි එතන තිබුණ නෞකා ආකෘතියක් බලමින් ඉන්න අතරෙ රත්පැහැ Tයෙන් සැරසුණු ත් නෝනා නැතුව join උනා. එළියට එද්දි A/C කළ විකුණම්හලක් දැකලා බොහොමයක් ඒකට රිංගුවා. මතක සටහන් ගන්න; වෙන මොකටෙයි?!

ඊට පස්සෙ ලන්දේසි රෝහල, Police Barraks, Tap House පහුකරගෙන කොටු පවුර පැත්තට ගියා. ගියා කිව්වට යන්න වුණේ නෑ ගෑණු ළමෝ ටික කොහෙද නැවතිලා. උන් එනකං කියලා අපි අයිෂ්කීං කෑවා, Selfie ගත්තා, අපිට අත වනපු කෙල්ලො ටිකකට අත් දෙකම වැනුවා. ඉතිං වැනි වැනි ඉද්දි සුද්දි අක්කා කෙනෙක් අපේ පොටෝ එකකුත් ගත්තා. ඒපාර සේරම වැඩ නවත්තලා අමිත්, සාමන්, රත්ගමයා, රණුක ගිහින් එයා එක්ක සෙල්පියක් ගත්තා. ඊළඟට Light House එක පැත්තට ගියාට ඒ වහලා තිබුණ නිසා එතනින් පහළට බැහැලා Beach එකට ගියා. එතන අපිට සාස්තරයක් කියන්න ඇන්ටි කෙනෙක් හෙන ගේමක් දුන්නා. වැඩිය ඉඩ කඩකුත් නෑ, ඒත් නාන්න බැරි කමකුත් නෑ. කොහොමහරි සපත්තු දෙකත් දාගෙන ම නලින් අයියා රැල්ල පෑගුවා. 😀

එතනින් පස්සෙ කොටු පවුරට නැගලා ඇවිදගෙන ගියා ‘අයියලා ගලෙන් පනින තැන’ වෙනකම්. සමහරු උඩට ගිහින් පොටෝ ගත්තා. තව ටිකක් එක්ක මම පල්ලෙහා වාඩි වෙලා හිටියා හෙවණෙ. එතෙන්දි මම GTS Studiosහි අධිපති ගිහාන් අංකල් අයියව අඳුරගත්තා. කාක්කෙක් මොන වෙලාවෙ ‘සාල්ලෙක ලා ලා පාතට බාන්නා සේ’ අපේ ඔළුගෙඩි තෙමයිද කියලා බයෙන් ඉන්න අතරෙ සුකියා () join වුණා. මේ වෙද්දි 11.30 විතර වෙලා. බඩගින්නත් ටික ටික tweets දාන්න පටන් ගෙන තිබුණ නිසා කට්ටියම ළඟම තිබුණ Indian Hut එකට ගියා දවල් කෑමට. ගියාට මොකද Order කරලා පැයක් විතර ඉන්න වුණා. ඒ අතරෙ පූර්ණ අයියා (), මල්කි (), කළුමල්ලි () එයාගෙ නංගි () එක්ක හසී () යස හසරැල්ලක් දාගෙන ආවා. (විස්තරයක් හරියට දන්නැති නිසා වැඩි මොනවත් කියන්න බයයි. 🙂 ) තාමත් ඉතින් ඉන්නවා ඉන්නවා කන්න ලැබෙන පාටක් නෑ. ඒ අතරෙ ක්ලාස් ඉවරවෙලා උමේෂ් () එක්ක  මල්ලිලාත්, මැට්ටා ()ත් ආවා. රණුකයගෙ leaked ඉස්කීංසොට් එකක් ගැන කතා කර කර ඉද්දි කෑමත් ආවා.

කාලා කට්ටියම එළියට බැහැලා වීදි දිගේ ඇවිදගෙන ගියා. තිබහ නිසා ටික දෙනෙක් ආපනශාලාවකට රිංගද්දි අමද්‍යප උන්ටික ඉස්සරහට ගිහින් ගිහින් ආයිත් ලන්දේසි රෝහල ළඟට ඇවිත් හෙවණෙ වාඩි වෙලා හිටියා. එතනට ආවා කියහංකො Oliver () වගේ ම එකෙක්! ඇවිත් අහපි රණුකගෙන්ම “මචං ගිනිපෙට්ටියක් තියෙද?” 😀 තිබහ අයට තිබහ නිවා ගන්නත් ලැබිලා නෑ, ආයි අපි හිටපු තැනින්ම Tap House ගියා. ඉතුරු අපි ටික මෙන්න මේ අපූරු තැනට ආවා:

හෙවණයි, ක්‍රිකට් ගහන්නත් අදහසක් තිබුණ නිසා ඒකටයි හොඳට ගැළපුණා. කලින් දාපු අපි කට්ටියම ඉන්න පින්තූරෙත් උදේ මෙතන පහු කරගෙන යද්දි ගත්තෙ. එතන හිටපු ගාල්ලෙ එවුන් ටිකක් එක්ක අපේ උන් ක්‍රිකට් ගැහුවා. උන් සෙට් එකත් හෙන ආතල්. අනිත් උන්ට bat කරන්න ඕන නිසා උන්ගෙම එවුන් out කියලා කියනවා, cheer කරනවා. 😀 ඔතන හොඳට ගස් කැච් එහෙමත් තිබුණා. ගිහාන් අයියගෙ, අමිත්ගෙ බෝල දැමිල්ල ගැන, අර පැත්තෙ උන්ට උඩ පැන පැන ගහන්න වෙච්චි හැටි මතක් නොකරම බෑ. “මං ඉන්න පැත්තට බෝල එන්නෑ බං” කියාගෙන රණුකයත් අපි හිටපු තැනට ආවා. පූර්ණ අයියත්, උමේෂ් මල්ලිත්, බට විරෝධී කටූ අක්කත් මං ගාවට ඇවිත් ගතා කර කර හිටියා. නුවර ගිහින් ඉඳලා එහෙමම ආපු පොඩ්ඩාත් () මෙතන හිටියා, මට ආපු වෙලාව නම් හරියට මතක නෑ. අන්තිමට මැච් එකත් ඉවරවෙලා 4.10ට විතර දුම්රියපොළට එන්න පිටත් වුණා. ඒ එන අතරෙ මගදි දැකපු පූස් පැටියෙක් එක්ක ජානු අක්කට පොටෝ එකක් ගන්න ඕන උනා. මායි නලින් අයියයි ඌව අල්ලලා දුන්නා, ඇන්ජි අක්කා click කළා. අපි ඉස්ටේසමට කිට්ටු කරද්දි මෙන්න පොඩ්ඩා එක්ක කටූ බයික් එකෙන් ආවා. “ඒ උඹේ Tඑකේ පිට හිල් වෙලා” කියලා අනික්උන් කෑගැහුවා. පස්සෙ හැමෝටම සමුදීලා එයාලා ආයිත් කොළඹටයි මම මාතරටයි පිටත්වුණා.

මෙයාලගෙ හොඳත් කියන්න එපැයි. අළුතින් එන උන් ගණන් නොගන්න එක විශ්ව විද්‍යාලවල වුනත් තියෙන දෙයක් නෙ. ඒත් මෙතෙන්දි ගාල්ලෙදි එකතුවුණ පොඩිඋන්ට කිසි වෙනසක් කළේ නැහැ කවුරුවත්. ඒ වගේමයි, ගාල්ලෙ ඇවිත් ගාල්ලෙ විධියට හිටියා මිසක් පොෂ් වුනෙත් නැහැ. වයසක කැල්කූලස්තුමාගෙ මතකය එච්චර හොඳනැති නිසා අත්හැරුණු ගොඩක් නම් මෙතන තියෙනවා (30ක් විතරම ආවනෙ!). හැමෝම හොඳට විනෝද වුණා, අළුතෙන් අඳුරගත්තා – follow කරගත්තා. තව මෙතන හොඳ හොඳ දේවල් වෙලා තිබුණා. පූර්ණ අයියගෙ නංගිට ලයින් දාපු tweep මාට්ටු වුණා, Indian Hut එකේදි මටත් මොනාද උනා, සමහරු ආවෙ නෑ කියලා තවත් සමහරු අවුල් ගහලා හිටියා, අයිෂ්කීං ඉල්ලලා ගිහාන් අයියා වැඳගෙන ඉන්න පින්තූරයක් බඩුමල්ලි දාලා තිබුණා, කටූගෙ කටුවල බර 50kg කියලා හෙලිදරව් වුණා. බලන්නකො:


 

ඉතින් #GalleByRail ඊළඟ අවුරුද්දෙත් Retweet කරන්නම ඕන 🙂

[Update 06/20] ඇන්ජි අක්කගෙ ඇල්බම් එක මෙතනින්: GalleByRail Album on Facebook

3 Replies to “ගාල්ලට රේල්ලුවෙන් #GalleByRail”

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.