තියෙන දෙයෙහි වැරදි හොයමින් එය මෙහෙම උනා නම් හොඳයි කියා සිතීම බොහෝ දෙනෙක් හරහා සමාජයේ පිළිඹිබු වන දෙයක්. එසේ සිතීම නිසා ඉදිරියට යාම, දියුණු වීම සිදුවෙන එක හොඳ නමුත් බලපෑමක් කර හදාගත නොහැකි ඇතැම් දේවල් ගැන දුක් වෙමින් සිටීම නම් තමාට ම වළක් කපා ගන්නවා වගේ වැඩක්. මොකද, අපිට දේවල් කරගත හැකි සීමාවක් තිබෙනවා. විශේෂයෙන් තෙවන පාර්ශවයක බලපෑම ඇති දේවල් අපට අවශ්‍ය ආකාරයට සකසා ගැනීමට ඇති හැකියාව ඉතා ම අවමයි. ඉතින් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් බලමු.
නැති දේ ගැන සිතන අවස්ථා හඳුනාගන්න
නැති දේ ගැන හිතන්නට ගත්තා ම අපි ඒකට හුරුවෙනවා. ඒකත් හරියට ඔබ පාසල් හෝ කාර්යාලයට යන්න හැමදාම උදේ 6ට නැගිටින්න පුරුදු වුණොත් නිවාඩු දවස්වලදීත් ඉබේ ම ඒ ආසන්න වේලාවකදී ඇහැරිලා නින්ද යන්නෙ නැතිව ඉන්නට සිදුවෙනවා වගේ අපේ සිත අපි නිතර ම සිතන්නට පෙළඹුණු දේවල් වලට නිතැතින් ම ඇබ්බැහි වෙනවා. ඒ නිසා ප්‍රථමයෙන් ඔබ සිතන දේවල් පිළිබඳව අවධානයෙන් ඉන්නට අවශ්‍යයි. “මම මේ වෙලාවේ මේ හිතන්නෙ මොනවාද? මේකෙන් මගේ හෝ මගේ ආදරණීයයන්ගේ අනාගතයට ප්‍රයෝජනයක් තිබෙනවාද?” ආදී වශයෙන් ඔබෙන් ම ප්‍රශ්ණ කරමින් නැති දේ ගැන සිතීම වළක්වා ගන්න.
එවන් අවස්ථා වෙනත් දේකින් ආදේශ කරගන්න
බොහෝ විට මෙවන් දෑ සිතන්නට පෙළඹෙන්නේ ඔබ බස් එකේ යනවිට, පාරේ ඇවිදින විට, නිවාඩු දවසේ ගෙදර ඉන්නකොට වැනි කරන්නට වැඩක් නොමැති අවස්ථාවලදීයි. මෙතෙක් කාලයක් ම මේවා සිතන්නට ඔබ පෙළඹී සිටින නිසා එකවරම ඔබට මෙය නවත්වාගන්නට නොහැකි වේවි. අනෙක එහෙම එකවර නැවැත්වූවාම ඒ වෙලාවට ඔබට සිතන්නට වෙනත් දෙයක් නැතිවන නිසා අඩුවකුත් දැනේවි.
ඉතින් “වැඩක නොයෙදූ සිත – නරක අතටම පෙරළෙත” කියලා සිහිපත් කරගෙන වැඩක් නැතිව නිදහසේ ඉන්න කාලය වැදගත් දේකින් ආදේශ කරගන්නට අවශ්‍ය වෙනවා. උදාහරණයක් වශයෙන් ගෙදර නිකං ඉන්නවා නම් ඒ කාලයේදී ෆේස්බුක් එකේ ඔබේ යහළුවන් ප්‍රමෝශන් ගත්තුවා, තම පෙම්වතියන් හෝ බැඳලා දාපු ඡායාරූප, ආදී ඔබේ සිත චංචල කරන දේවල් බලනවා වෙනුවට මුද්දර එකතු කිරීම, කොමඩි ෆිල්ම් එකක් හෝ ටීවී සීරීස් එකක් බැලීම වැනි දෙයක් කරන්නට පුළුවන්. පාරේ ඇවිදිනවා නම් තමන්ගේ පියවර ගැන සැලකිලිමත් වන්නටත් බසයේ යනවා නම් ඒ කාලය තුළ පොතක් කියවන්නටත් යොමු විය හැකියි.
ඇති දේවල් හඳුනාගන්න
අපිට කරන්න හැමවිට ම අමතක වෙන දෙයක් තමයි අපි ළඟ තිබෙන දේ්වල් ගැන නොසිතන එක. නැති දේවල් හිතමින් දුක් වෙනවාට වඩා “ලද දෙයින් සතුටුවීම” පෙරදැරි කරගෙන තමන් ළඟ මේවනවිටත් තිබෙන දේවල් පිළිබඳ සිතන්නට පටන් ගත යුතු වෙනවා. ඊට වඩාත් පහසු ක්‍රමයක් තමයි අපි ගාව තිබෙන දේවල් නැති අය කෙතරම් පීඩාවෙන් ඉන්නවාද කියා සිතන එක. නන්දා මාලිනිය ගායනා කරන “මිරිවැඩි සඟළක් ඉල්ලා හැඬුවෙමි” ගීතයේ තිබෙන්නෙත් මේ සංකල්පය ම යි. අපිට අපිගාව දැනට තිබෙන ඔරලෝසුවේ හැඩ මදි වුණත් ඔරලෝසුවක් බඳින්න දෑතක් නැති අය කෙතරම් ඉන්නවාද? එලෙස ඔබෙන් ඉවත සිට වෙනත් කෙනෙක් ඔබ දෙස බලන ආකාරයෙන් බලමින් ඔබ කෙතරම් වාසනාවන්ත කෙනෙක් ද කියා සිහිපත් කරන්න. ඉන් අධිමානය ඇති වෙනවා වගේ දැනෙනවා නම් පිටත සිට බැලීම ලිපිය කියවන්න.
නැතිව තිබී ලැබුණු දෙයින් ඔබ තෘප්තිමත් වුණා ද?
ඇතැම්විට අපේ ජීවිතයේ එක් කාලයකදී නැතිවම බැරි, අපි බෙහෙවින් සිත් තැවුලට පත්වුණු දෙයක් වුවත් එය ලැබී නොබෝ දිනකින් අපට එහි ඇති අවශ්‍යතාව නැතිවී යනවා. ඉතින් ඒ ගැන හිතන්න. අපි මොනතරම් තව තව දේවල් තිබුණා නම් හොඳයි කියලා හිතුවත් අන්තිමට ඒ දේ ලැබුණත් අපිට වෙන්නේ ඒක එපාවී යන එකයි. ඔබට ලබාගත නොහැකි නව දේවල් ගැන සිතන්නට පෙළඹවීම වළක්වා ගන්නට මෙතෙක් කල් ඔබ තුළ පැවති නරක පුරුද්ද: ඇති දේ ගැන නොසිතීම මේ අයුරින් භාවිතා කරන්නටත් පුළුවන්.
අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී
ඇති දෙයින් තෘප්තිමත් වෙනවා කියන්නේ තමන්ගේ බලාපොරොත්තු, ඉලක්ක නැති කරගෙන එකතැන පල් වෙන එක නෙවෙයි. ආරම්භයේදී ම කිව්වා වගේ මෙය භාවිතා කළ යුතු වන්නේ ඔබේ දියුණුව අවුරණ වැඩකට නැති දේවල් ගැන සිතමින් පල්වීම නවත්වා ගන්නට පමණයි. ඉතින් අනවශ්‍ය දේවල් ගැන සිතමින් ගිනියම් කළ යකඩ බෝලයක් තමන්ගේ අතේ තියාගෙන තමන්ට ම රිද්දවා ගන්නවා වෙනුවට යහපත්, ඔබේ දියුණුවට හේතුවන දෙයක් පිළිබඳ සිතන්නට පුරුදු වීමෙන්, ක්‍රියාත්මක වීමෙන් ඔබට ඔබේ දියුණුව ඉතා පහසුවෙන් ළඟ කරගන්නට හැකි වේවි.
ගිය හකුරට අඬපු කඳුළු වලින් ඔය අතේ තියෙන හකුරත් දියවෙලා ගියොත් අන්තිමට තේ එකේ ඇරඹුම ම කඳුළක් වෙලා යාවි.
2 replies on “නොලැබෙන දෙයක් ගැන ඇතිවන දුකෙන් මිදෙන මඟ”
ඒක ඇත්ත, මටත් ඕක ගොඩක් වෙලාවට තියනවා, අපරාදේ මෙහෙම කරන්න තිබුනෙ, ඒවා නැතුව මේවා කරන්න තිබුනෙ. ඒත් නාන වෙලාවට එහෙම කල්පනා වෙනවා, ඒක මෙහෙම උන නිසා හොඳකුත් උනා කියල 😀
ඒ අතීතයට වඩා දැන් ලැබිලා තියෙන දේවල් වලින් සතුටු වෙන්න පුළුවන් 😉