සොයන්නාට සම්භ නොවේ

අප හැමට නොලැබුණු යමක් වෙයි. මෙලොව එළිය දුටු දා සිට සොයන දේ වෙනස් වුවත් තවමත් අප කිසිවක් සොයමින් සිටියි. ඒ දේ ලැබුණොත් සියල්ලම කෙළවර වන බව සිතයි. එහෙයින් එය ලබාගන්නට ඕනෑ දෙයක් කරයි, එසේ වෙත්දැයි කල්තියා දැනගන්නට ඕනෑ දෙයක් කරයි. ඉන් වෙහෙසෙන ඇතැමෙක් වෙනත් දේකට පෙළඹෙද්දී අනිකුන් ඉන් මඳ වෙලාවක් ආත්ම වංචනයෙන් හතිලයි. වෙන දේකට පෙළඹෙන්නා පරාජිතයෙකු හෝ අසාර්ථකයෙකුයැයි ද අනෙකා නොනවතින්නා අප්‍රතිහත ධෛර්යයෙන් ද යුතුයැයි බලා සිටින්නෝ කියත්. එහෙත් සෙවූ දේ ලැබුණාදැයි තම තමන්ගෙන් අසා දැන ගත යුත්තකි.

කිසිවෙකු කිසිවක් කළ යුත්තේ අනුනට ඕනෑ නිසා හෝ රැල්ලට නොව තමන්ගේ මඟ සපිරෙන අයුරින් ය. එසේ නොවන කල බූරුවා, තාත්තා සහ පුතා පිළිබඳ එන කථාව සිහි කළ මනා ය. තමා කවුද, කළ යුත්තේ කුමක්ද යන්නෙහි තීරණයක් නොමැති බව හැමවිට රැල්ලට හසුවන අතර අනුනට ඕනෑ නිසා කිරීම ඕනෑවට එපාවට කිරීමට පොළඹවයි. ඉන් ඊට පොළඹවන අනිකුන්ගේ මිණුම් දණ්ඩට අනුව “සාර්ථකත්වය“ යැයි කියතත්, කරන්නාට ඉන් ලැබෙන යමක් නැත.

නුසුදුස්සන් ඉහළ තැන්වලට යන්නේ ද එයිනි. ඔවුන්ට එතැනින් ලැබෙන සැපතක් නැත. උන් පතන්නේ වෙනකකි. එහෙත් යටත් වැසියා උන්ගෙන් පතන්නේ තවෙකකි. එහෙත් යටත් වැසියාට එහි යන්නට මඟ අවුරා තිබේ. එහෙත් සියල්ලෝම තම තම මිණුම් දණ්ඩේ සාර්ථකත්වය සොයති.තමාට ඕනෑ දේ හඹායන්නා ද නිතැතින් ඉන් විඩාවට පැමිණෙයි.

දැන් ඔහුට මඳකට ඉන් ඉවත් වන්නට අවශ්‍යමුත් අනෙකුන් තමා ගැන සිතන දේ සලකා හෝ තමාට ඉන් නොනැ‍ඟෙන්නට ඇති නොහැකියාව නිසා හේ වෙනතක් සොයයි. එයට “hobby” හෝ “vacation” යැයි කියයි. එයට යොමුවීමෙන් මෙලොවින් මඳකට මිදෙන්නට ඔහුට හැකිවෙයි.  ඇතැම්විට සිතිජයෙන් එහා පාළු දූවෙක හුදෙකලාව සිටින්නට ඔහුට සිතෙයි. පොත් ගුලක අතරමං වන්නට හෝ සුරාසැලකට යන්නට ද ගැහැණියක වෙත පිවිසෙන්නට ද කෙනෙකුන් පන්සල් යන්නට ද සිතයි. එහෙත් තමා විසින්ම බැඳගත් දම්වැල ඔහු කණුවටම කොටු කොට තබයි.

මේ හැමැකෙන් ම තම සිත මුළාවට පත් කරගැනීම හෙවත් ආත්මයට වංචා කරගැනීම මින් මඳකට ගැලැවෙන පහසු මඟෙකි. අනතුරුව ආත්ම වංචාව සෙවීමට ම පෙළඹෙන්නෝ උන්මන්තකයෝ යැයි අනිකුන් විසින් කියනු ලබත්. කොතෙකුත් උහු සොයන සේ හැඹුවත් රිස්ස නොයයි. උදේ වරුවේ බෙහෙත් බොන්නට ඇතැයි කියමින් කන්නට යමක් ගන්නට මුදල් ඉල්වන පිරිස් නගරයේදී මට ඕනෑතරම් හමුවී තිබේ. වැඩිපුර අතේ මුදල් තිබුණොත් උන්ගේ අතෙහි එය ගුලිකරන්නට සිත ඉඩ දුන්නත් මා ගුලිකරන රුපියල් පනහ, විස්ස බලා උන් නැවත මගේ මුහුණ බලත්. මේ දීමෙන් මසිත තුළ සිට “ඔය මිනිහාට කීයක් හරි දීපන්“ යැයි හඬගාන්නා පමණකි සැනැසෙන්නේ. පොත් පසුපස යන්නාත්, ගැහැණුන් පසුපස යන්නාත්, උත්සව පසුපස යන්නාත්, උන්මන්තක ලේබල නොවැදී මේ හැම හඹන්නාත් මොහොතක හෝ සැනසීමක් සොයයි. පන්සලකට නිතර යන්නා උන්මන්තකයෙක් නොව උපාසකයෙකි.

හැමදා හවස යන පාරේ ඇති කාගේ හෝ නිවසක පාරට බරව ඇති මල් ගසකින් මල් ටිකක් කඩාගෙන ඒ ගෙදර උන් හා වෙනත් ගෙයක තතු කියා අත් තලා සිනාසී, දෙබැම උඩ යවා දෑස් ලොඹු කොට කම්මුලේ අත ගසා මුහුණ බෙරි කර, පන්සලට පිවිස මල් වට්ටියෙහි නෙක්වන් මල් මුසුකරමින් අඩුක්කරන අතර ගම වටා ගතු සමග විහාරයට අළුතින් පැමිණි තරුණ නමකගේ ගතු මුසුකොට අනෙක් ගැහැණුන් හා සිත්හි අඩුක් කර උහු බෝධියෙන් බඹ ගණන් දුරින් ඇති ග්‍රහලෝක වලින් තමාව රැක දෙන ලෙසත්, පිළිමගෙයින් රෝග දුරුකර දෙන ලෙසත්, දරුවන් විභාගයෙන් පාස්කර දෙන ලෙසත් ඉල්වති.

ගොයම් ලබන්නට වී වපුරන්නට ඕනෑ ය. වැපිරීමෙන් පසු නිල්ව නැඟෙන පැළ ගොයමින් ගොවියා නොව ඒ දකින් අන් කෙනෙකුගේ වුව සිත් බඳවයි. ඉන් සැනසීමක් ලබයි. ඉන් පසුව නැගෙන රන් පැහැ වී කරල් බරව හරිතව බැබලුණු යාය සැණින් රන් පැහැයට හැරවයි. වී මළු පනහක් හැටක් ගෙදර ගෙන යන ගොවියා වැඩිය විකුණා මුදල් ගෙන දරුවන්ට ද ඉතිරි කර නෑ සියන්ට ද රෙදි පිළි, හැළි වළං ගෙනැවිත් දී තමා ද ඉන් පට සරොමක් ගෙන විහාරයට දානයක් ද දී මීළඟ කන්නයට ද ඉන් කොටසක් වෙන් කරයි. ඔහුගේ අපේක්‍ෂාවන් සඵල වෙයි. සැනසීම ලැබෙයි. එහෙයින් ඔබේ සැනසීම උදෙසා වහාම වී වපුරා පැළ ගොයමක් දෙස බලා සිටිය යුතුය!

කළුවන් දණතෙක් දිගු වරලසින් මුතුවන් දත් දෙපලින් අඩවන් සඳ නළලතින් රන්පැහැ ඡවියෙන් ළැම කිටි කිටියේ සිරකරගත් සැට්ටයෙන් හා දණටත් අඩු සායෙන් සැරසුණු යුවතියක් දැකීමෙන් පමණක් සැනැහෙන්නෝ වෙති. මෙය කියවන කෙනෙක් සිර සැට්ටය හා දණට අඩු සාය නිසා වත්මන් විලාසිතාව ගැන කිපෙන්නට ද පුළුවන. එසේ හැඳීමෙනිය කුඩා දරුවකු වුව හොඳින් හදා ගන්නට නැත්තේ, සමාජය මෙතරම් කාම විකෘති වී ඇත්තේ යි ඉන් සැනැහීමක් නොදක්නෝ වෙති. සැනසීම තිබුණේ පැළ ගොයමෙහි ද? යුවතියගේ සැට්ටයෙහි ද?

එහෙයින් කළ යුත්තේ අවැසි දේ සෙවීම නොව විමසීම ය.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.