Categories
Did You Know Technology

Spotify භාවිතයට උපදෙස් සහ ඉන් ආදායම් ලැබෙන හැටි

Spotify යනු 2008 දී යුරෝපයේ දී මෙලොව එළිය දුටු audio streaming සේවාවක් වන අතර එතැන් සිට එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු බොහෝ ප්‍රධාන වෙළඳපළ වෙත ව්‍යාප්ත වූවක්. ගීතවලට අමතරව එහි පොඩ්කාස්ට් පවා අන්තර්ගතව තිබෙනවා.

Spotify සමඟ නීත්‍යානුකූලව අන්තර්ජාලය හරහා සංගීතය රස විඳින්නටත්, පොඩ්කාස්ට් වලට සවන් දෙන්නටත් ඔබට අවස්ථාව ලැබෙනවා. වානිජ CD වලින් සොරකම් කරගත් MP3 අඩංගු වෙබ් අඩවි නිසා ගායකයන්ට, සංගීත නිර්මාණකරුවන්ට ඔවුන්ගේ මහන්සියට ලැබිය යුතු ආදායම නොලැබී යනවා. ඉතින් එවන් වෙබ් අඩවියකින් MP3 ඩවුන්ලෝඩ් කරනවා වෙනුවට audio streaming සේවාවක් භාවිතා කිරීම ඔබ ගුණගරුක, වගකීමෙන් යුත් පුද්ගලයෙක් බවට පත් කරවනවා. මේ සඳහා ඩේටා වැයවන්නේ ඉතාම අඩුවෙන් වන අතර (Settings වලින් සැකසිය හැකියි), අතීත මෙන්ම නූතන සිංහල ගීත විශාල සංඛ්‍යාවක් ද Spotify සතුව තිබෙනවා. ඔබ ගීතයකට සවන් දෙන වාර ගණන මත පදනම්ව ගීතයේ හිමිකම් දරන්නාට මුදලක් ගෙවනු ලබනවා.

Advertisement

Spotify සතුව තනි ගීත, ගීත ඇල්බම තිබෙනවා. ඊට අමතරව Spotify වෙතින් ම Mood එක අනුව, දවසේ කාලය අනුව, ඔබ කරන කාර්යයට (රැකියාව අතරතුර /ජිම් එකේදී ගීත ඇසීම) ගැලපෙන ගීත අඩංගු කර සකසන ලද නිල Playlist තිබෙනවා. අවශ්‍ය නම් ඔබටම Playlist සකසා ප්‍රසිද්ධියේ බෙදා ගන්නටත් පුළුවන්.

Spotify නොමිලේ භාවිතා කළ හැකියි

Spotify හි ගීතවලට සම්පූර්ණයෙන්ම නොමිලේ සවන් දිය හැකි නමුත් App එකේ බැනර් දැන්වීම් මෙන්ම ගීත අතරවාරයේ රේඩියෝවක මෙන් ඉඳහිට වෙළඳ දැන්වීම් play වීම සිදු වෙනවා. මාසික Spotify Premium එක ගැනීමෙන් ඒවා ඉවත් කර ගත හැකියි.

Spotify Premium සමඟ 320kbit/s Audio Quality එකක් (Free එකේ 160kbit/s යි), සින්දු Offline ඇසීම සඳහා ඩවුන්ලෝඩ් කරගත හැකි වීම, මිතුරන් 5 දෙනෙකු සමඟ හවුලේ ගීත ඇසිය හැකි වීම, සහ Enhance නම් විශේෂාංගය හරහා ඔබ සකසන playlists වලට ස්වයංක්‍රීයව ඊට ගැලපෙන සින්දු එක් කර ගත හැකි වීම වැනි පහසුකම් ලැබෙනවා.

ඇතැමුන් Mod apps පාවිච්චි කරන්නට යොමුව සිටියත් එය හුදෙක් හැකර්වරුන්ට ඔබේ දුරකථනය වෙත දොරටු විවර කර දීමක් පමණයි. එය නීත්‍යානුකූල නොවන ක්‍රමයක් වගේම, ඒවායෙන් ඔබේ දුරකථනයේ දත්තවලට හානිවීම් (වෛරස), පෞද්ගලික ‍තොරතුරු හැකර්වරුන්ට නිරාවරණය වීම පමණක් ‍නොව දුරකථනය පාවිච්චි කරද්දී විවිධාකාර හානිකර වෙළඳ දැන්වීම් දිස්වීම වැනි නව ගැටළු රැසක් නිර්මාණය විය හැකියි.

ඩේටා වැයවීම, සහ සින්දු ඩවුන්ලෝඩ් කරන ආකාරය

සින්දුවේ audio quality එක අනුව ඩේටා වැයවන ප්‍රමාණය වෙනස් වෙනවා. Spotify ඇප් එකේ Home ටැබ් එකේ දකුණු පස ඉහළ කෙළවර ඇති Settings බොත්තමින් Audio Quality යටතේ ඇති Wifi streaming හෝ Cellular streaming හෙවත් මොබයිල් ඩේටා ඉදිරියෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණය සැකසිය හැකියි. Data Saver යටතේ ඇති Audio Quality ස්විචය සක්‍රීය කළ විට Low – 24 kbps වලින් play වෙනවා.

Low (24 kbps) සමඟ පැයකට 10MB, Normal (96 kbps) සමඟ 45MB, High (160 kbps) සමඟ 75MB, Very High (320 kbps) සමඟ 150MB වැයවෙනවා. නමුත් Spotify සතුව Cache එකක් ඇති නිසා ඔබ වරක් සින්දුවක් ඇසූ පසුව නැවත එය අසද්දී දෙවරක් ඩේටා කැපීමක් සිදු වන්නේ නැහැ. මේ නිසා ඔබ නිතර අසන සින්දු සඳහා (Cache clear නොකළහොත්) ඩේටා කැපෙන්නේ මුල් වාරයේදී පමණයි.

නයිට් ඩේටා වලින් ඩවුන්ලෝඩ් කර තැබීමට අවශ්‍ය නම් අදාල Playlist එකට පිවිස එහි ඉහළින්ම ඇති Download ස්විචය සක්‍රීය කරන්න. තනි සින්දුවක් පමණක් ඩවුන්ලෝඩ් කළ නොහැකි බැවින් ඔබට විසින්ම Playlist එකක් සකසාගෙන (Add to Playlist > New Playlist) එතැනින් Download කර ගත හැකියි.

මිතුරන් සමඟ සම්බන්ධ වීම

පරිගණකයෙන් Spotify පාවිච්චි කරනවා නම් ඔබේ මිතුරන් අසන ගීත ඔබට දැකගත හැකි වෙනවා. මේ සඳහා Settings > View Profile වෙත පිවිස දකුණු පස ඉහළ ඇති තිත් තුනක අයිකනයෙන් Find friends හරහා Facebook ගිණුමේ මිතුරන් පහසුවෙන් එක් කරගත හැකියි. නැත්නම්, Search එකේ මිතුරාගේ නම ටයිප් කර ඔවුන‍්ගේ profile එකට පිවිස Follow බොත්තම ක්ලික් කරන්න.

මොබයිල් app එකෙන් මිතුරන් සමඟ හවුලේ සින්දු ඇසීමට ප්ලේයරය විවෘත කර එහි යට කෙළවරේ ඇති Device අයිකනය ක්ලික් කරන්න. ඉන් Start a Group Session යටතේ ඇති Start session බොත්තමෙන් ඔබට මිතුරන් ඊට එක් කරගත හැකියි. එකතු වන අයට සින්දු මාරු කිරීම, නැවැත්වීම, අලුතින් සින්දු Playlist එකට එකතු කිරීම වැනි දෑ කළ හැකියි.

ගීත නිර්මාණකරුවන්ට ලැබෙන ආදායම

විවිධ රටවල් සඳහා ඇති Spotify Premium ගාස්තුව වෙනස් නිසා ගීත නිර්මාණකරුවන්ට ඔවුන්ගේ රසිකයන් සිටින රටවල් අනුව ලැබෙන ආදායම විවිධාකාර වෙනවා. උදාහරණයක් ලෙස ඇමරිකාවේ තනි පුද්ගල Spotify Premium ගාස්තුව $9.99 (රු. 2000 පමණ) වන නමුත් ශ්‍රී ලංකාවෙන් අය කරන්නේ රු. 529ක් තරම් අඩු මුදලක්. ‍මේ නිසා අපි ගීතයක් අසද්දී එහි දේශිය හෝ විදේශීය නිර්මාණකරුවාට ලැබෙන්නේ අඩු අගයක්.

ගීත බෙදාහරින සේවාවක් වන iGroove දක්වන ආකාරයට ඇමරිකානු රසිකයෙක් එක් වරක් ගීතයක් ඇසුවොත් ගීතයේ හිමිකරුට $0.0035ක් (රු. 70ක් පමණ) ලැබෙන අතර, ඉතාලියානුවෙක් ඇසුවොත් ලැබෙන්නේ $0.0019 (රු. 38ක් පමණ) යි.

ඔබ සංගීත නිර්මාණකරුවෙක් නම් artists.spotify.com හරහා ඔබේ ඇල්බම Spotify වෙත එක් කළ හැකි වන අතර ආදායම් වැඩි කරගැනීමට ඇති සරල ක්‍රම වශයෙන් නිරන්තරයෙන් ගීත එළිදක්වමින් රසිකයන් ග්‍රහණය කරගැනීම, නිල Spotify playlist එකකට ඔබේ ගීත එක්වන ආකාරයේ ප්‍රසිද්ධියක් ලබා ගැනීම යනාදිය දැක්විය හැකියි.

Spotify ලංකාවට ලබාදීමෙන් පසු, ඔවුන් විසින්ම සකසන ලද සිංහල Playlist පවා දැන් දැකගන්නට පුළුවන්. ඒවා ද ඇතුළුව තවත් සිංහල, සහ ඉංග්‍රීසි Playlist කිහිපයක ලින්ක් පහත දැක්වෙනවා.

ඔබ කැමති තවත් Playlist තිබෙනවා නම් පහතින් ඒවායේ ලින්ක් එක කමෙන්ට් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page