කාලෙට ගැලපෙන්න බුදු දහම මාර්කට් වීම

Image courtesy: Wikipedia

“මල්ලි මම ඕනෑම කුණු ගොඩක් මාර්කට් කරනවා” කියන කාලෙක බුදු දහමත් ඒ එක්ක ම මාර්කට් වෙන එක අපි ගොඩක් දෙනෙක්ට, විශේෂයෙන් සෝෂල් මීඩියා දායක සභාවට උහුලන්න බැරි දෙයක්. ඒ වුණාට කරුණු කාරණා බැලුවා ම ඕක වෙන්නේ අද විතරක් ම නෙවෙයි, ඒ කාලෙත් ඕක ම වෙලා තියෙන බව තමයි පේන්න තියෙන්නේ. කාලෙන් කාලෙට ඉන්න මිනිස්සුන්ගෙ අදහස් වෙනස්. මේ කාලෙ වෙද්දි අධ්‍යාපනය හැම කෙනෙක්ට ම ලැබෙන හින්දා දැනුමත් එක්ක තර්කනය හැම කෙනෙක්ට ම පාහේ ලැබිලා තියෙනවා. මේවත් එක්ක තරුණ පරම්පරාව වයසක උදවියත් එක්ක ගැටෙන වෙලාවල්නුත් අනන්තයි.

බුද්ධාගමට වෙලා තියෙන සන්තෑසිය අද පෙනුනේ අපේ පන්සලේ අළුතෙන් හදලා තියෙන දේවාල ටික දැක්කාමයි. ඒ කාලේ නායක්කාර් බිසෝවරුන්ගේ බලපෑමත් එක්ක අපේ පන්සල් වලට හින්දු දේවාල ටිකත් හේත්තු වුණානේ. ඊට පස්සේ “වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මම ඔයා” කියලා කිව්වාට අපිට ඔය හිතූ පැතූ දේවල් දෙන්න දැන් බුදුහාමුදුරුවො නෑනේ. ඒ හින්දා බුදුන් වැඩක් නෑ, දෙයියො ටිකක් ශේප් කරගමු කියලා අපේ උදවියත් දෙයියන්ට ‘කන්නලව්’ කරන්න ගත්තේ ‘ලව්’ එකයි, රස්සාවයි හදාගෙන ‘කන්න’ පුළුවන් වෙන්න යි. මොකද බුද්ධ දර්ශනේ එන අනිත්‍ය තියරිය අපේ අයට හරියන්නෙ නෑ. අපිට ඕන බුද්ධාගමට මොනා හරි වෙනවා නම් රෙද්ද උස්සගෙන කෑ ගහන්නයි, එදා වේල සෙට් කරගන්නයි විතරනේ.

පින් මදි ද දන්නෑ – කරුමය ද දන්නෑ Image courtesy: music.lk

දැන් මේ පන්සලට කට්ටිය ඇද බැඳ තියාගැනීමේ භාරදූර කාර්යය ලේසි පහසු වැඩක් නෙවෙයි. ඉස්සර කාලේ ඕකට පොත් ලියන අය කළේ එකේක මෝස්තරදාලා වර්ණනා කරපු එකයි. ඒ කිව්වේ ඔය බුත්සරණේ වගේ එක වැලට උපමා ලියන එක විතරක් නෙවෙයි, තව කැටයම් ටිකකුත් දානවා “පන්සියයක් මහ රහතුන්”, “සවණක් රැස් දසත විහිදුවාගෙන බැබලෙමින් වඩින බුදුරදුන්”, අහසේ මාළුවෙකු සේ ඍධි ප්‍රාතිහාර්ය පාමින් වඩින හාමුදුරුවරු, මහාමේරු පර්වතේ තරම් උස අලි ආදී වශයෙන් කියවන/අහගෙන ඉන්න අයගේ ඇස් උඩ යන්න වැඩේ ගාණට අතාරිනවා. ඉතින් නින්ද ගිහින් හිටියත් වයසක ආච්චිලාට සාදු සාදු කියවෙනවා. ඔන්න ඔය වගේ ඒවා ඒ කාලේ පොත්වලට දැම්මේ ඒ කාලේ හිටපු අය එහෙම ඇස් උඩ තියාන, කට ඇරගෙන දෝත් මුදුන් දීලා ඒවා පිළිගන්න නිසායි. මෝඩකම හෝ මොකක් හෝ නිසා එයාලා ඒවා කොහොම පිළිගත්තත් ඒ උදවිය කරේ ඒකෙන් තමන්ගේ ශ්‍රද්ධාව වැඩිකරගත්තු එකයි. ඒ නිසා කතුවරුන්ගේ අදහස, අරමුණ වැඩකළා.

හැබැයි දැන් කාලේ අය වෙනස්. එයාලට ඔය උඩින් මාළුවෙක් වගේ යන එක ගේමක් නෙවෙයි මොකද ප්ලේන් එහෙම දැකපු මිනිස්සුනේ. ඒත් එයාලට තියෙන ප්‍රශ්නෙ තමයි මහාමේරුව තරම් අලි ඉන්න පුළුවන් ද? මොන පිස්සු කතාවක්ද! කිය කියා විවේචනය කරලා ලේ පුච්චගන්න එක. ඇත්තටම ඕවා හින්දා තියෙන ශ්‍රද්ධාවත් නැති කරගෙන බුද්ධ ධර්මය කියන්නේ සුරංගනා කතාවක් කියලා හිතාගෙන ඉන්න පිරිසක් දැන් බිහිවෙලා තියෙනවා. බුදු දහමේ හරය මොකක්ද, හින්දු ආගමෙත් භාවනා ක්‍රම තියෙනවා නම් ඒවායෙන් විදර්ශනාව වෙනස් වෙන්නේ කොහොමද කියන ඒවා ගාණක් වත් නෑ. හැබැයි කොච්චර පොයින්ට් එකට කතා කරමින් රෙද්ද උඩට ම උස්ස ගත්තත් ජීවිතේට දැකලා නැති දෙයියන්ටත් හිතේ ඉඩක් වෙන් නොකර ඉන්නේ නැති පිරිසකුත් ඉන්නවා. නන්දා මාලිනියගේ අපූරු සින්දුවක් තිබෙනවා: “බුදුහිමියන්ටත් කලියුගයේ – දෙවියන්ගේ පිහිටයි”

Image courtesy: jadeturtlerecords.blogspot.com

ඔන්න ඔය දේවගැති උපාසක අම්මලා සැට් එක පන්සලේ රඳවා ගන්න දැන් හාමුදුරුවරුන්ට පන්සල ඇතුලේ ම දේවාල හදන්න සිද්ධ වෙලා. ඒත් ඉතින් එක කට්ටියකට දේවාල ඕන, අනිත් අය ඒකට කැමති නෑ. ඒකට විසඳුම කරලා තියෙන්නේ හින්දු දෙවිවරු නැතුව, දහම් පොත් පත් වල කියවෙන දෙවිවරුන්ව පන්සලට බස්සලා. කෝවිල්වල තියෙන සීනුයි, යාතිකා ඩයල්නුයි ඒ එක්ක ම ප්‍රාදූර්භූත වෙලා. දැන් ඔය පොත පතේ මෙහෙම තියෙනවානෙ: “ධාතුසේන රජතුමා කළ අපමණ මෙහෙය වෙනුවෙන් එකල ජනයා එතුමාව දේවත්වයෙන් පිදූහ” මෙන්න මේ වගේ ඒවා වරදවා වටහා ගෙන ද මන්දා රජ්ජුරුවෝ අනිවාර්යයෙන් ම දෙවියෙක් වුණා කියලා. දේවත්වයෙන් පුදනවා කියන්නේ දෙවියන්ට තරම් උතුම් ආකාරයට සැලකුවා කියන එක මිසක් මරලා දෙයියෙක් කරවලා කෝවිලක් හදාගෙන වැන්දා කියන එක නෙවෙයි.

දේවාල ටිකට පස්සේ දැන් බුදුන් වඳින ගාථා කියලා ම මදි. මළගිය ඥාතීන්ගේ ඉඳලා ඉපදිච්ච නැති, පිළිසිඳ අරගෙනවත් නැති තමන්ගේ දරු මුණුබුරන්ට පටන් ම පන්සලේ සෙත් සාන්ති යාතිකාවත් හාමුදුරුවො ලවා ම කරගත්තේ නැත්නම් කිසි ගැම්මක් නෑනේ. ඒ හින්දා “තණ්හාව නැතිවෙලා මගේ – දුක් කරදර නැති වේවා, මා කරනා පින් බලයෙන් – නිවන් සැප ම අත්වේවා” කියලා තණ්හාව නැති කරගන්න එකත් ප්‍රාර්ථනාවකින් ම කරවගෙන ඒ බෝට්ටුවෙන් ම නිවනට ඉබේ යැවෙන එක තමයි අලුත් ම ක්‍රමේ. අපරාදෙ බෝසතාණෝ අවුරුදු ගාණක් දුෂ්කර ක්‍රියා කරලා, විදර්ශනා වඩලා බුද්ධත්වය ලැබුවේ. ඒ කාලේ වගේ නෙවෙයි දැන් නිවනටත් ෂෝට්කට් තියෙනවා.

ඊළඟට ටීවී චැනල් ටිකයි රේඩියෝ චැනල් ටිකයි තරගෙට අපිට ධාතු පෙන්නනවා. එක කට්ටියකගේ වැඩිම ධාතු ප්‍රමාණයයි, අනෙක් අයගේ නිසැක ඒවායි තවත් කෙනෙක්ගේ තවත් මොකක් හරි එකකුයි වගේ කරට කර ධාතු ටිකත් ගැම්මට මාර්කට් වෙනවා.

හැබැයි ඉතින් මේ මොන දේ වුණත්, ඒකෙන් ශ්‍රද්ධාව වැඩිලා කවුරුහරි මාර්ගයට වැටිලා ඒ ඔස්සේ හරි පාර හොයාගත්තොත් ඒකට වැරැද්දක් කියන්න බැහැ. මාර්කට් කිරීම ඒ කාලේ ඉඳලා ම ආවේ ඒ දේට ම තමයි. දැන් වෙනසකට තියෙන්නේ බිස්නස්නුත් ඒ අස්සේ ප්‍රොමෝට් වෙන එකයි කියලා හිතුණත් ඒ කාලෙත් තමන්ගේ හයිය පෙන්වන්න දානමාන දීපු රජවරු සිටුවරු ඉන්න ඇති. තේරුම් ගන්න ඕන ඉතින් මේ එක එක ක්‍රම වලින් ධර්මය අනිත්‍ය වෙලා යන්න කලින් ගොඩ යන්න පාර කපා ගන්න එකයි. බුදුහාමුදුරුවොත් අනිත්‍ය වුණා නම් ධර්මය, සංඝයා ගැන කවර කථා ද?

2 Replies to “කාලෙට ගැලපෙන්න බුදු දහම මාර්කට් වීම”

Leave a Comment