Categories
What I see

සමනලයින් නැති සමනල සංධ්වනිය

එන හැම සිනමා පටයම සිනමා හලට ගොස් නැරඹීමට තරම් පරිචයක් මා සතුව නැත. ඒ හැරත් මේ චිත්‍රපටය තිරගත වන කාලයේ (2013) නිමාවක් නැති අන්තෝ ජටා විභාගයක මා වල්මත්ව සිටියෙක් මි. ඉදින් ගෙවුණු නව අවුරුදු සැමරුමෙහි අග ඵලයක් ලෙසින් මට සමනල සංධ්වනිය රූපවාහිනියෙන් දකින්නට හැකි වුණේය. එකල වූ සිය දහසක් කට කතාවන්ගෙන් හා විචාරයන්ගෙන් ඔද වැඩී සිටි මා මෙය බලන්නට හිඳ ගත්තේ ලොව සුරූපීම කාන්තාව මා ඉදිරියේ රැඟුම් පාන්නට ආ සෙයිනි. නමුත් ඇගේ ලේ මස මට පෙනෙන්නට ගත්තේ පිල් විදහා නටන්නට වූ කල්හි ය.

මෙලොව බොහෝ දේ බිහිවෙයි. ඒ කුමක් හෝ හේතුවක් මුල්වන නියායෙනි. හේතුව කිනම් රැඟුමක් පායි ද ඒ එලෙසින් ම ඵලය වෙයි. වරදක් කළොත් වග කියන්නෝ හේතුව ය. නිසි සේ කළොත් පැසසුම් ලබන්නෝ ඵලය ය. ඒ ලෝ දමේ සැටි ය. මේ ලොවට ඇක්ෂන්කී අධ්‍යක්‍ෂකවරයාගේ සැටිය.

මෙම චිත්‍රපටයේ එන අමරසිරි පිරීස් විසින් ගැයෙන, නවක සංගීත නිර්මාණශීලියෙකුගේ අග්‍රගණ්‍ය පහස ලත් ඉකි ගසා හඬන අතීතයකගීතය මා මෑත කාලයේ ලත් ගීත අතරින් ඉහළ ම සිටින්නකි. එහි පද මාලාවත්, ගී තනුවත්, කටහඬක් මහා කාව්‍යයක් කියාපායි. සාමාන්‍යයෙන් 70-80 දශකයේ ගීතවලත් මේ ත්‍රිත්වයේ ම සංයෝජනය වෙසෙසින් නැගෙන්නෝ නොවෙති. එසේ වන්නේ ඉතා ම කලාතුරකිනි. එහිදී කණ කස්බෑවා විය සිදුරෙන් අහස දකී. එදා නම් පසලොස්වක ය. චිත්‍රපටය තුල ගීත කීපයක් අඩංගු වෙතත් ඒ බොහොමයක් බටහිර සංගීතයේ ඔපෙරාවල අනුභූතියෙන් නැගී සිටී. සංගීත පරීක්‍ෂණයේදී ප්‍රධාන චරිතය වන වාදීශ දේවමින්ද වික්‍රමනායක විසින් ගැයෙන ගීය ද එසේ ය. ගැයුම අගනේ ය.

යමක රස වැඩෙන්නේ එය සැඟැවී සිටින කල ය. පෘථිවියෙන් එපිට නිකම් ම නිකම් ධූලි ගොඩක් වන චන්ද්‍රයා කාව්‍යයෙහි ලප නිසා, වළාවෙන් වැසී ගිය නිසා සැමවිට ම වර්ණනාවට ලක් වූයේ ය. සඳළුතලයේ සිට එබී බලා රජු බලන විට ම සැඟැෙවන යුවතිය බොහෝ විට ජාතක පොත තුළ අග මෙහෙසිය බවට පැමිණෙයි. හිමාලය වැනි දුෂ්කර ස්ථානයක වැඩෙන නාරිලතා මල නොදුටුවන් තුළ ද රාගික හැඟීම් උපදවයි. නූතනය වරදවා ගත්ත ද හොඳින් හැඳගත් යුවතිය ද එසේයි. මහා රවුමකින් මා කියන්නට යත්න දරන්නේ, මේ චිත්‍රපටය තුළ ඇති විවෘත භාවය පිළිබඳවයි. කථාවක් විවෘත වන්නට වන්නට, එහෙමත් නැත්නම් සිදුවන හැම සුළු සිද්ධියක් පවා රචකයා විසින් ම කියන්නට යන කල ඒ කථාව තාප්පයක ලියූ කුණුහරුපයක් වැනි වෙයි. ඕනෑම විචාරකයෙක් සම්භාව්‍ය යන ලේබලය ගසන්නේ කිසිවක් සැඟැවූ කල ය. සිතන්නට යමක් නැති තැන දොඩන්නට ද යමක් නැත. ප්‍රේක්‍ෂකයා සිනමාහලෙන් පිටතට එන්නේ හිස් අතින් නම්, ඔහු ගෙවූ ප්‍රවේශ පත්‍රයට ද ණය ය. නැතහොත් ඔහුට තුට්ටු දෙකේ කොමඩියක් බලන්නට යන්නට තිබිණ.

නූතන ප්‍රේක්‍ෂකයාගේ බුද්ධිය සහ වෙළඳාමමුදල කලාවට ආ කල කිසිදාක උන්නතියක් වන්නේ නැත. කුමක් හෝ පිරිනමා මුදල් සෙවීම ලොව පැරණි ම වෘත්තියටත් වඩා එහා ය. සංස්කෘතිය පාවා දී ප්‍රේක්‍ෂකයාගේ බඩ මිරිකා සිනා ගස්වා පසුම්බියට විදීම තුච්ඡ ක්‍රියාවෙකි. නූතනයේ දකින්නට ලැබෙන බොහොමයක් එසේ ම ය. අගනා සුළුතරය ගැන මෙහි වනන්නටවත් ඕනෑ නොවන්නේ හැම අතින් ම හේ පැසසුම් ලබා ඇති හෙයිනි.

සිනමාපටය ආරම්භයේ ම යෙදූ “SMS කාලයට පෙරයන්නෙන් ම නූතනත්‍වය නමැති මුගුරෙන් භාව්‍යත්වයට පහර ගසා හමාරය. කාලය ඉපැරණි බව හඟවන්නට යෙදිය යුත්තේ එයද? අඩුම තරමේ අතීතයේ දිනෙකයන හෝඩියේ පන්තියේ දෙවදන දැම්මා නම් හෙණ ගසත්ද? එසේ නොව, මොවුන්ට ඕනෑ චැලෙන්ජර්ස්වැනි සිහින ලෝකවල සිටින උන්ට කුමක් හෝ පෙන්වීමය. වාදීශ යනු ඇරැඹුමේ හැටියට සංවේදී චරිතයකි. ඔහු මුදල් වෙනුවෙන් ලියුම් කඩා ඉවත දමන ලියුම්කරු දෙස බලා සිටින්නේ සංවේගයෙනි. අනතුරුව තමා ඇහිඳගත් ලිපිය කියවන්නේ ද ආදරණීයව ය. තමන්ගේ ජීවිතයට එය ආදේශ කොටගෙන කියවන්නට තරම් සංවේදීත්වයක් හේ තුළ ඇත. “මං මෙහේ දුක් විඳිනවා අම්මේ, කොහොමහරි මාව ලංකාවට ගෙන්වා ගන්නැයි වූ ලිපිය හිනැහෙමින් ඉවත ලන මිතුරන් හමුවේ ඔහු ගෞරවණීය චරිතයකි. ලිපියේ කවරය සොයන්නට වෙහෙසෙන්නේ ද එහෙයිනි.

ලිපිය අනුව ඔහු මාර්තු 7වැනිදා පළමු වරට කුමාරි උද්‍යානයට යන සැටි, එහි සිටින යුවතියකට ලිපිය දෙන සැටි සහ පුණ්‍යා සෙමින් ගමනින් පැමිණෙන සැටි, ඈ ගර්වයෙන් යුතුව හිඳගන්නා සැටි අඩංගු දර්ශන පෙල ඉතා අගේ ය. එය කථාව සඳහා හොඳ ප්‍රවේශයක් ලබා දෙයි. එහෙත් පැණය නම්, SMS යුගයට පෙරත්, Racing යා හැකි යතුරුපැදි මෙන් ම දෙතන දෙස බලතැයි Blouse එක වසා ගන්නා බඩුද පුණ්‍යා වැනි නිශ්ශබ්දව පිය නගන, නැවැතිල්ලේ හිඳගන්නා සහ පොරොන්දු ඉටු කරන මානසිකත්‍වය පරයා යාමයි. ඕනෑ ම සමාජයක විවිධ ස්ථර හිඳින්නට පිළිවන. එහෙත් ඒ හැමෙකක් ම ගලා යන කථාවකට එබීම යුතු නොවේ. කථාවසානයට එහි වන ගැලපීමෙක් ද නොවේ. කෙසේමුත් බොහෝ කාලයකට පසුව වාදීශ එහි එද්දී, ප්‍රවේශපත්‍ර ගැනීමට සිදුවීම, Sea Plane එකක් දැකීම ඉතා අගේ ය. “ඉස්සර නම් ටිකට් ගන්න ඕනෑ නැතැයි කියන දෙබස් කොටස ද ඉවත් කළේ වී නම් වඩාත් යෙහෙකි.

කථාවෙහි බොළඳ බව ඉපිලෙන ස්ථාන නම්, වාදීශ සංගීත පරීක්‍ෂණයේ යෙදෙන අතරතුර පෝලිමේ කොහිදෝ සිටින කොල්ලන් දෙදෙනෙක් ඉදිරියට පැමිණ නටන්නට ගැනීම (කෙල්ලෙක්වත් නම් කමක් නෑ. මොන විහිළුවක්ද?), උද්‍යානයේ සිටින ගැහැණුන්ගේ පක්‍ෂාත් භාගයට තට්ටු දමන නොහැදුණු නොගැලපෙන චරිත දෙක සහ උන්ගේ පෞරුෂයේ මඳ බව, වාදීශගේ කළමනාකරුගේ සමයං සහ චරිතය නිසි සේ ඉදිරිපත් නොවන වාදීශගේ වැඩිමහළු සහෝදරයා ය. ඔහු මුල් කොටසේ දී මඳ මානසිකයකු මෙනි. අනතුරුව වයලීන් හඬ මවගේ මතකයන් අවධි කරතැයි කියන සංවේදී චරිතයකි. පසුව මල්ලිව බේරගන්නා මහ රජුගේ පුතාවන චණ්ඩියෙකි. අවසානයේ තම මල්ලීට අවවාද දෙන, බැරෑරුම් චරිතයකි. සැකෙවින්, එය අච්චාරුවකි. ලියන්නාට විවේකශීලී විචාර බුද්ධියක් නැති සෙයකි.

වාදීශගේ චරිතයත් මධ්‍ය භාගය තුළ විනාශ කොට තිබේ. මුලදී විවේකී බුද්ධියක් තිබූ සංවේදී, ආදරය හඳුනන හෙතෙම හදිසියේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූ, තම බිරියට ආලය නොකරන, තම දරුවා දෙස එකුදු frame එකකදී ආරණීය බැල්මක් නොහෙලන බේබද්දෙකි. මට නම් නිතැතින් ම සිහි ගැන්වුනේ Aashiquiහි සිටි නොමනා බේබද්දා ය. එහෙත් මේ චරිතයෙහි මුල් දුවමින් පැවතියේ මෙසේ නොවේ. එය විනාශ කොට තිබේ. අවසානයේ ඔහු මත්ද්‍රව්‍ය අතහැරීම මගින් ලියුමෙන් ඔහුගේ බර නිදහස් වූ බව උලුප්පන්නට උත්සාහ දැරුවත් එය සාර්ථක ප්‍රයත්නයක් නොවේ. සාහිත්‍යධරයෙක් බොන්නට වැටුණත්, කුඩා වාදීශ වැනි සංගීතයෙහි රස හඳුනාගත්, කේමදාස ශූරීන් තරම් ගී නිමැවිය හැකි, මගේ නොවන මගේ ම ආලයකට උපකාර කරන්නට තරම් සිත මෙලෙක් යකෙක් මෙසේ බේබද්දෙක් කිරීම හෙණ ගසන්නට ම යුතු වැඩෙකි.

ලියුම ලබාදෙන්නට වාදීශ වලිකන අතරතුර, කථාවේ එන ලෙසට ඔහු තම ජීවිතයම විනාශ කරගනිත්දී; පුණ්‍යාට රේවත මුණගැසීමත්, අමාරුවෙන් මුණ ගැසුණු ඔවුන් කෙසේ හෝ නැවත වෙන් වී යාමත් ඉතා ම ස්වභාවික ය. එය අගේට ගලපා තිබේ. ලිපිය ලැබී, ඔවුන් එකිනෙකා සොයා ගොස් එක්වන සේ අමු බොළඳ ලෙස මෙය නොලියා මේ අකාරයෙන් නිම කිරීම ඉතා අගනේ ය. එසේ ම සෑම වයසකට ම බැලිය හැකිවන සේ අනවශ්‍ය දර්ශන අඩංගු නොකිරීමත් පැසසිය යුතුයි. මේ කතාවේ හැටියට එවැන්නක් කොහොමත් ගැලපෙන්නේ ද නැත. එහෙත් කුමකට හෝ එවැන්නක් එබීම ලොව පුරා සිනමාකරුවන්ගේ සිරිතකි. ඒ එ්වා බලන්නට ම සිනමා පටයක් බැලීම වැනි පහත් මානසිකත්‍වයෙන් යුත්තෝ මෙලොව සිටිනා බැවිනි. උන්ට මෙහි ඉඩක් නැත. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ පොදු උත්සාහය සාර්ථකය. කථාවේ පාදක වස්තු බීජය ඉතා ම අගනේ ය. එහෙත් අවැදගත්, විවිධ ප්‍රේක්‍ෂක කොටස් ඉලක්ක කරන්නට යාම සහ උන්ගේ බඩ මිරිකන්නට යාම නිසා ඉලක්කය වැරදී ඇපලයට නොව හිස ම පසාරු කරගෙන හීය ගිය බවය මගේ මතය. එහෙයින් සමනලයින් සිටිතැයි සිතමින් මා හා මෙය නැරඹූ 2 වසරේ නෑනාට ද ලැබුණු මහ දෙයක් නැත.

By Thambaru Wijesekara

3 replies on “සමනලයින් නැති සමනල සංධ්වනිය”

ජයන්ත චන්ද්‍රසිරි යනු තමාට තිබූ ‘නම’ මෑත කාලයේදී අනාගත් සිනමාකරුවෙකි. එහෙත් මේ හැටි ඔහු සමඟ උරණ වියයුතු ද?

“SMS කාලයට පෙර” කියා දැමුවේ ලියුම්-හුවමාරුව අභව්‍ය යැයි ප්‍රේක්ෂකයා සිතිය හැකි නිසා විය නොහැකි ද? මට ඒක පෙනුනෙ කුරුල්ලො දෙන්නෙක්ටම ගහපු ගලක් විදිහට. මන්දා, සමහර විට ඔබ හරි ඇති 🙂

[[පෝලිමේ කොහිදෝ සිටින කොල්ලන් දෙදෙනෙක් ඉදිරියට පැමිණ නටන්නට ගැනීම]] මේක වාදනයට කරපු සමච්චලයක් කියලා මම හිතුවෙ.

[[නොහැදුණු නොගැලපෙන චරිත දෙක සහ උන්ගේ පෞරුෂයේ මඳ බව]] මුන් දෙන්නා නම් මල වදයක් තමා. කතා වින්‍යාසෙට මෙලෝ අදාළත්වෙකුත් නෑ!

[[චරිතය නිසි සේ ඉදිරිපත් නොවන වාදීශගේ වැඩිමහළු සහෝදරයා…සැකෙවින්, එය අච්චාරුවකි. ලියන්නාට විවේකශීලී විචාර බුද්ධියක් නැති සෙයකි.]] මොහු කළු-සුදු චරිතයකි; ත්‍රිමාණ චරිතයකි. කිසිවෙකු පරිපූර්ණ නොවන බැවින් සහ සියල්ලන්ම කාලයත් සමඟ පරිණත වන බැවින් මට ඔහුගේ එහෙව් වැරැද්දක් පෙනුනේ නැත. මන්දා, සමහර විට ඔබ හරි ඇති 🙂

[[මගේ නොවන මගේ ම ආලයකට උපකාර කරන්නට තරම් සිත මෙලෙක් යකෙක් මෙසේ බේබද්දෙක් කිරීම හෙණ ගසන්නට ම යුතු වැඩෙකි.]] තලීසාව මරපු වෙලේ ජෝජ් ආර්. ආර්. මාටින්ට කුණුහරුපෙන් බැනපු මායි උඹයි අතරෙ වැඩි වෙනසක් මට මෙතනදි පේන්නෙ නෑ බං. 😀

මම නං ෆිල්ම් එක හෝල් එකේදිම බැලුවා. ඒත් ජයන්ත මොකද්ද කියන්න හැදුවෙ කියලා මේ පුංචි මොළේට තේරුණේ නෑ. මන්දා, ඒක මගේ අඩුවක් වෙන්න ඇති 🙂

මේ විචාරය ලියූ බඹරාට පිං!

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.