හිතේ අමාරු වලින් ඇතිවන විෂාදයෙන් මිදෙන හැටි

Image courtesy: thedolphinlmc.com

යමක් හෝ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ, හරියන්නේ නැහැ කියලා ඇතිවෙන හැඟීමත් එක්ක කල් යාමේදී විෂාදය (depression) හටගන්නවා. ඒ සිංහල වචනයේ තියෙනවා වගේ ම ඒක හරිම විෂක්. ඊට වැඩි කාලයක් ලක්වීමෙන් බඩ පපුව දැවිල්ල සහ ගැස්ට්‍රයිටීස් දක්වාම දිවෙන්නට පුළුවන්. මේ පිළිබඳව මනෝ විද්‍යාත්මකව වෙනත් ලිපියකින් පැහැදිලි කළ නිසා ඒ සඳහා ධර්මය හරහා පැහැදිලි කිරීමක් ලබා ගන්නටයි මේ ලැහැස්තිය.

එකතු කිරීම

ජීවත් වෙද්දී බොහෝ දේවල් එකතු කරගන්නට හිතෙනවා. මුලින්ම සල්ලි, ඊට පස්සේ ඒකෙන් ඉඩ කඩම්, ගෙවල් දොරවල්, යාන වාහන ආදී දේවල් පිටිපස්සේ අපි දුවනවා. තරුණ කාලෙදි ඒ ඇයි කියලා ඇහුවොත් “වයසට ගිය කාලෙක සතුටින් ඉන්න තමයි” කියලා කිව්වත් වයසට ගිහින් කරන්නෙත් එක්කෝ තමන්ගේ දරුවන් වෙනුවෙන් එක්රැස් කරමින් ජීවත් වීම වැනි තවත් ගොඩ ගසා ගැනීමේ ක්‍රමවේදයක් ම තමයි. ගොඩ ගැසීමටත් ප්‍රධාන හේතුවක් වන එම ලෝභකම මෙන් ම අනෙක් අයට තමන්ට බොහෝ සම්පත් ඇතැයි පෙනෙන්නට ගොඩ ගසා ගැනීමද සිදු කරනවා. හේතුව මොකක් වුණත් ඒ පසුපස තිබෙන්නේ තණ්හාව යි.

අතහැරීම

අපි ඒ විධියට එකතු කරගත් දේවල් කාලානුරූපව වෙනස් වෙන්නට පටන් ගන්නවා. අපි සමඟ සිටින අය වයසට යනවා. ලෙඩ වෙනවා, මිය යනවා. එහෙමත් නැතිනම් ඔවුන්ගේ සිත් වෙනස් වීම් නිසා අමනාප කම් ඇතිවී ඒවා ජීවිත කාලයට ම බල පවත්වනවා. දේපල ආදියෙහිත් වටිනාකම වෙනස්වීම්, ස්වාභාවික ආපදා වලට ලක්වීම හෝ වෙනත් කෙනෙක් විසින් පැහැර ගැනීම වැනි දේවල් නිසා අපෙන් ගිලිහී යනවා.
බුදු දහමේ එන මූලික දෙයකුත් තමයි අතහැරීම කියන්නේ. හැබැයි ඒක අපි වැරදියට වටහා ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. මොකද, අපි දැන් දානයක් දුන්නත් වැඩේ ඉවරවෙලා ලාභ පාඩු බලන්නටයි, දීපු හාමුදුරුවරුන්ගේ හොඳ නොහොඳ බලන්නටයි මිසක් කරපු දෙයින් සතුටු වෙන්න හිතන්නේ නැහැ. කෙටියෙන් කිව්වොත්, සිදු කළ යුතු දේ තමයි හිතෙන් අතහැරීම.

දෙයක් නැති වුණාම එහෙනම් සතුටු හිතෙන්නේ නැත්තේ ඇයි?

අපි දැන් අවස්ථාවන් දෙකක් කථා කළා. එකක්, ගොඩ ගසාගැනීම. අනෙක, නොලැබී යාම හෝ තිබුණු දෙයක් නැතිවීම. බුදු දහම අනුව බැලුවාම එක්රැස් කිරීම හොඳ දෙයක් නෙවෙයිනෙ. දේවල් වැඩි වෙද්දී, බැඳීම් වැඩි වෙද්දී දුක ඇතිවෙනවා. ඊට පිළියම තමයි ඒවායෙන් වෙන්වීම, අතහැරීම. එතකොට අපිට ඇයි ඒ දේවල් නැති වුණාමත් දුක ඇතිවුණේ? ධර්මයේ කියන විධියට දෙයක් අතහැරියාම සතුටක් ලැබෙනවා නම් දේවල් නැති භංගස්ථාන වෙන අය වෙන්නට ඕන වඩාත්ම සතුටෙන් ඉන්නේ.
අන්න එතනට තමයි සිතෙන් අතහැරීම කියන කොටස සම්බන්ධ වෙන්නේ. අපි දේවල් දිහා බලන්නේ අවිද්‍යාවෙන්. ඒ කියන්නේ, මේ හැම දෙයක්ම ඇතිවෙලා (අපිට ලැබිලා), වෙනස් වෙමින් පැවතිලා, නැතිවෙලා යනවා. අපි “මගේ” කියාගෙන ඉන්න ශරීරයවත් වයසට නොයා, දත් නරක් නොවී වැනි දේවල් පමණක් නොවෙයි බඩගින්නක් වත් ඇති නොවී අපිට ඕන විධියට පවත්වා ගන්න බැරි එකේ ඉන් පිටත දේවල් ගැන කවර කථාද? මෙන්න මේ ඇතිවෙන මෙහොතේ සිට නැතිවීමට හේතු සකස්වීම නොදැකීම තමයි අවිද්‍යාව කියන්නේ.
අවිද්‍යාවයි තණ්හාවයි හොඳම යාළුවො වගේ. අවිද්‍යාව නිසා තණ්හාවට (ආශාවන් වලට) ඇති වෙන්න පහසුයි. ඉතින් හැම දේටම ආසා කරනවා. ඒක අපිට අවශ්‍ය විධියට පාලනය කරවන්නට, අපේ සන්තකයේ තබා ගන්නට උත්සාහ කරනවා. ඒත් ඒකෙ සැකැස්මේ තිබෙන්නේ වෙනස්වීම නිසා අපිට අවශ්‍ය ලෙස එය පැවැත්විය නොහැකි නිසා අන්තිමට ඇති වෙන්නේ දුකක්. ඒ දුක ඕනවට ඔඩු දිවීමෙන් තමයි විෂාද තත්වයන් ඇති වෙන්නේ.

පිළියම: හිතන හැටි වෙනස් කරගන්න

Image courtesy: huffpost.com

මේ තත්වයට පිළියම අපි හිතන ආකාරය වෙනස් කර ගැනීමයි. ඉපදුනු දා ඉඳලාම කිරි වෙනුවෙන් බඩගින්නට කෝපයෙන් හඬපු අපි අද හැඬුවාට, කෝප කළාට දේවල් නොලැබෙන නිසා සිතෙන් වැටෙනවා. අසරණ වෙලා කිසිම දෙයක් ඉදිරියට වත් කරගන්නට නොහැකි වෙන තත්වයකට අපිව ම ඇද දමනවා. විෂාදය කියන්නේ එවන් තත්වයකට යි. ඊට කළ යුතු වන්නේ අපි මෙතෙක් කල් පුරුදු වෙලා හිටපු “හැමදේම ස්ථිරයි, මට ලැබෙන්නට ඕන, මට අවශ්‍ය විධියට ඒක පවත්වා ගන්න පුළුවන්” කියන අදහසින් තොරවීම යි.
පුරුද්දක් අතහැර ගන්න එක ලෙහෙසි නැහැ. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ නිකං නෙවෙයිනෙ. අපි මුලින් ම සිහිය ඇති කරගන්නට ඕන. එතකොට අපි තව තව දේවල් වලට ආසා කරද්දි හෝ නැතිව ගිය දේකට සිත් තැවුල් ඇති කරගැනීම සඳහා සිත පෙළඹෙන අවස්ථාවන් හඳුනාගන්නට හැකි වෙනවා. හරියට වස කෝප්පයක් අතේ තියාගෙන කල්පනාව නැතිව ඒක බීලා අපිම මැරෙනවා වගේ සිතත් “පරණ මතකයන්” සහ “නව ආශාවන්” යන වස කෝප්ප නිතර පානය කරමින් තමාවම නොමරා මරනවා.
ඉතින්, අන්න ඒ අවස්ථාවන් අපිට හඳුනාගෙන දුරු කරගෙන මේ මොහොත ගැන අවධානය ඇති කරගන්නට හැකි වුණොත් (පුද්ගලානුබද්ධව) සංසාර චක්‍රය තවත් දික් කරගැනීම නවත්වා ගැනීම හෝ අඩුම තරමේ මේ මොහොතේ මඟහැරී යන බොහෝ අවස්ථාවන් වලින් ප්‍රයෝජනයක් ගෙන ජීවිතයේ අභිවෘද්ධියක් ඇති කරගන්නට වුණත් පුළුවන්. විෂාදය ඔබව, මේ මේ දේවල් නෑ කියලා සීමා කළාට සිහි පිහිටුවා ගත්තොත් ඔබට ඉදිරියට යා හැකි අනෙකුත් අවස්ථා වුණත් හඳුනා ගන්නට දෑස් විවර කරගන්නට පුළුවන්. හැබැයි තව දේවල් අල්ලා ගෙන දුක ගොඩගසා ගන්නවාට වඩා අවබෝධයෙන් අතහැර ගන්නට පුළුවන් නම් ඊට වඩා ජයග්‍රහණයක් ලබාගන්නටත් හැකි වෙනවා කියලා අමතක කරන්නට එපා.

Leave a Comment