Categories
Current Affairs

සයිටම් ගැන අපි නොදන්නා පැතිකඩ

අපිට නිතරම අහන්නට ලැබෙන්නේ “සයිටම් හොර උපාධි කඩය”, “ලක්ෂ 120ට MBBS විකුණනවා”, “Abolish SAITM” ආදී වශයෙනුයි. ඊට වෛද්‍ය සිසුන් මෙන් ම වෛද්‍යවරුන් ද මේ දිනවල දැවැන්ත අරගලයක නිරත වන නමුත් සාමාන්‍ය ජනතාව වන අපිට එහි පෙනෙන්නේ වැරදි අදහසක්. මීට පෙර සාමාන්‍ය ජනතාවගේ ඇසින් සයිටම් ගැන ලියපු මම, අනෙක් පසින් එනම් වෛද්‍ය සිසුන්ගේ දර්ශනයත් තවත් ලිපියකින් නියෝජනය කරන්නට තීරණය කළේ හැම ප්‍ර‍ශ්ණයක් ම හරිහැටි අවබෝධ කරගන්නට නම් එහි දෙපස පිළිබඳවම අපි හොඳින් දැන සිටිය යුතු වනු නිසායි.

වෛද්‍යවරු කියන්නෙ කවුද?

Image credit: new-democrats.com
Advertisement

බොහෝ දරුවන්ට තමන්ගේ අභිලාෂය, හැකියාවන් මොනවා වුණත් ගෙදරින් කියා දෙන්නේ දොස්තර කෙනෙක් හෝ ඉංජිනේරුවෙක් වීමට යි.  සාමාන්‍ය වහරේදී වුවත් දොස්තර මහත්තයාට හෝ නෝනාට වැඩි පිළිගැනීමක් තිබේ. ඒ, එසේ තැනක් නොදුනහොත් කවදා හෝ තමන් මැරෙන්නට ඇඳේ සිටියදී අහක බලාවියැයි සිතා හෝ කපන්න බැරි අත ඉඹිනා පටු අදහසින් ම නොව, සමාජයේ උගත්, බුද්ධිමත් කුලයෙහි ලා ඔවුන්ව සලකන බැවිනි. මන්ද සංඝයාට පසුව සිටින්නේ වෙදුන් ය. මේ දෙපෙලට ම කන්න දෙන ගොවීන් ද ගොවීන්ට ආයුධ සකසා දෙන කම්කරුවෝ ගැන කියවෙන්නේ ද ඊටත් අනතුරුව ය. එනිසා හුදෙක් වෙදෙක් යනු යමක් කමක් නොතේරෙන මෝඩයින් රැළකැයි නොකියන්නට සමාජය විසින් ම සාක්ෂ්‍ය සපයා තිබේ.

වැඩ වර්ජනයක් කරපු ගමන්ම අපිට වෛද්‍යවරුන් යනු කුහක, ආත්මාර්ථකාමී කොට්ඨාශයක් විධියට තමයි පේන්නේ. වැඩ වර්ජනයන්ට හේතුව ඇතැම්විට වැටුප් විශමතා හෝ ඉල්ලීම් දිනාගැනීමක් වෙන්න පුළුවන්. ඒ වෙලාවල්වලදී පෙනෙන්නට තිබුණු දේ තමයි, රජයේ රෝහලේ වර්ජනය කළාට හවස ප්‍ර‍යිවට් ප්‍රැක්ටිස් එකේ හෝ පෞද්ගලික රෝහල්වල ඔවුන් මුදලට සේවය කරපු එක. මේවා දැක්කාම අපි සමස්ත වෛද්‍ය වෘත්තියේ ඉන්න හැම කෙනෙක්ටම බනිනවා. ඇත්තටම ඒ අපි පුරුදු වෙලා ඉන්න හැටි. කෙනෙක්ගේ හොඳක් දැක්කාම කෙලින් ම ඒ අයව ප්‍ර‍ශංසා කරනවා වෙනුවට අපි කරන්නේ කාගේ හරි වැරැද්දක් හොයලා ඒකට ඇඟිල්ල දික්කරලා බනින එකයි. වැරදි කරන අය, නරක අය ඕනම වෘත්තියක ඉන්න පුළුවන්. මොකද, මිනිස්සු හැම කෙනෙක්ම උපතින්ම රාග, ද්වේෂ, මෝහ එක ගාණට අරගෙන තමයි එන්නේ. ඒවා පෞරුෂ සාධකත් එක්ක එළියට එන ආකාරය අනුව පුද්ගලයා තීරණය වෙනවා. එහෙමයි කියලා හැම දොස්තරම නරකයි කියලා ලේබල් එකක් ගහන්න කාටවත් අයිතියක් නැහැ.

මාධ්‍යවල රඟපෑම සහ ප්‍ර‍ශ්ණයේ බරපතලකම

Image credit: Awantha Artigala / toonpool.com

පිටින් බලපුවාම, එකවරම සයිටම් ප්‍ර‍ශ්ණය පේන්නේ මධ්‍යම පන්තිය සහ රදළයන් අතර තියෙන ගැටුමක් වගේයි. නොමිලේ ඉගෙන ගත්ත පිරිසක්, සල්ලි වලට ඒ දේම වෙනත් කෙනෙක් ඉගෙන ගන්නවාට ඊර්ෂ්‍යා කරනවා වගේ. අපිට මාධ්‍ය වලින් සහ මැති ඇමතිවරු පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ ඒ විධියට තමයි. ඒත් ඒ කථාවේ තව නොදකින පැත්තක් තියෙනවා.

මෙන්න මෙහෙමයි කියලා ඔප්පු කරන්න සාධක නැතත්, කොමන් සෙන්ස් එක්ක බැලුවාම ලාභ ලබන ආයතනයක් විසින් තමන්ට ප්‍ර‍චාරණයක් ලබාගන්නට සහ තමන්ගේ ව්‍යාපාරය සාධාරණීකරණය කරගන්නට මාධ්‍ය ආයතන වෙත පොඩි “ආයෝජනයක්” නොකර ඉන්නේ නැති බවව අපි දන්නවා. පහුගිය කාලේ වෙච්ච දේවල් (නාට්‍ය) වලිනුත් ඒ බව පේනවානෙ. තමන්ට කුට්ටියක් ලැබෙනවා නම් මිනිස්සුන්ගේ සෞඛ්‍යයට හෙන ගැහුවත් කමක් නෑ. මොකද, වෙන රටකට ගිහින් හරි බේත් ගන්න එයාලට සල්ලි තියෙනවා.

මගේ ෆුල් ටයිම් ඉන්ඩස්ට්‍රියේ- IT පැත්තෙත් මේ අවුලම තියෙනවා. පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් උපාධිය ගහලා ආපු බොහෝ දෙනෙක් ඩිග්‍රිය ඉස්සරහට දාලා ජොබ් එකට ආවාට මෙලෝ වැඩක් කරගන්න බැහැ. කරන්න වැඩක් දුන්නාම අනාගන්නවා. අපේ නම් ඉතින් වෙබ් සයිට් එකක්, සොෆ්ට්වෙයා එකක් නාගත්තාම ක්ලයන්ට්ගෙ ජීවිතේ නැති වෙන්නෙ නැහැනෙ. වෙන තැනකට දීලා හරි වැඩේ කරගන්න පුළුවන්. අන්න එතෙන්දී, සෞඛ්‍ය ක්ෂේත්‍ර‍යට වැඩි බරපතලකමක් මේ පෞද්ගලීකරණයත් එක්ක ලැබෙනවා.

අධ්‍යාපනය පෞද්ගලීකරණය වීම හොඳ ද?

Image credit: sites.miis.edu

කොහොමත් ලංකාවේ අධ්‍යාපනය තිබුණේ ගෙවලා ගන්න තමයි. වෙන රටවලත් නිදහස් අධ්‍යාපනයක් තියෙන්නේ රටවල් අතලොස්සක විතරයිනෙ. හැබැයි සංවර්ධනය වෙමින් පවතින රටක් විධියට අධ්‍යාපනය නොමිලේ ලබාදීම ශ්‍රී ලංකාව වැනි රටවල්වලට අත්‍යාවශ්‍ය සාධකයක්. ගෙඩියක් කඩාගන්න ගහකට නගින කොල්ලන් රැසක් වෙනුවට රටේ ආර්ථිකයට, පරිපාලනයට, සෞඛ්‍යයට උරදිය හැකි බුද්ධිමතුන් පිරිසක් ද ගොඩනගාගන්නට පුළුවන් වන එකම ක්‍ර‍මය ඒක විතරයි.

සල්ලිවලට අධ්‍යාපනය දුන්නොත් බදු ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒත් ඒ ඉතිරි වෙන සල්ලි වලින් කවදාවත් තමන්ගෙ ළමයාට ඉහළට උගන්නගන්න කිසිම දෙමාපියෙක්ට පුළුවන් වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ නැවතත් හාමු පැලැන්තියක් සහ කඹුරන දුගී පිරිසක් බිහිවීම විතරයි. එයාලට ඕනත් එහෙම තමයි. මොකද, බුද්ධිමතුන් වැඩි වෙන්න වැඩි වෙන්න එයාලට ගේම ගහගන්න අමාරුයි. ඒ හින්දා නිදහස් අධ්‍යාපනය නසන්න ඕන දෙයක් කරාවි.

කලින් කිව්වා වගේ, ඒකෙ හොඳ පැත්ත බලමුකො. ඒ කියන්නේ O/L, A/L වලින් රජයේ අධික කප්පාදුව වැනි සාධාරණ හේතුවක් නිසා හැලුණු කෙනෙක්ට තමන්ගේ උසස් අධ්‍යාපනය කරගන්න, ජීවන ඉලක්කය සපුරා ගන්න අවශ්‍ය නම්; මුදල්නුත් තියෙනවා නම් එහෙම කෙනෙක්ට පෞද්ගලික විශ්ව විද්‍යාලයකට නැති කළොත් වෙන්නේ මහා අපරාධයක් කියලා කියන්නට පුළුවන්. හැබැයි මේ යන ක්‍ර‍මය ඒක නෙවෙයි. මෙතන තිබෙන්නේ දැනුම/හැකියාව කුමක් වුවත්, ලක්ෂ 120ක් තිබේ නම් බන්දේසියේ තබා MBBS එක පිරිනැමීමයි. ඉතින් මහන්සි වෙලා ඉගෙන ගන්නෙ මොකටද එච්චර ලේසියෙන් දොස්තර පට්ටමක් ගන්න පුළුවන් නම්? බේත් ගන්න මිනිස්සුන්ට හෙණ ගැහුවත් කමක් නෑ. (?)

සයිටම් ප්‍ර‍ශ්ණයට සටන් කළාට වැඩක් තියෙනවාද?

Image credit: sldoctors.lk

සටන කරන විධිය මොකක් වුණත්, අරමුණ හොඳ එකක් බව පැහැදිලියි. ලංකාවෙ නිදහස් අධ්‍යාපනය රැක ගන්න වගේ ම දුප්පත් මිනිස්සුන්ට නොමිලේ බේත් ටික දෙන්න ඉන්න පිරිස- දොස්තරවරු නිවැරදි විධියට උගත් පිරිසක් මිස නමට දොස්තරවරු නොකිරීම නිසා කරන වැඩේ හොඳයි. වැඩේ කුහකයි කියලා මොකක් හරි හේතුවක් නිසා හිතෙනවා නම්, සියළුම වෛද්‍ය ශිෂ්‍යයන් සහ වෛද්‍යවරුන් මේකට සහභාගී වෙන්නේ ඇයි කියලා නැවත හිතන්නට වෙනවා. උගත් සියල්ලෝම නරක දෙයක් වෙනුවෙන්? ඒක වෙන්න බැහැ.

අනෙක හොඳම දේ, මේ වගේ දෙයක් සිද්ධවුණු ප්‍ර‍ථම අවස්ථාව මෙය නොවෙයි. සාමාන්‍යයෙන් අපි දෙයක් කරද්දී ඒක අතීතයේදී සිදුවෙලා තියෙනවාද, එහෙමනම් ඒකෙන් උගත හැකි යමක් තියෙනවාද කියලා සලකා බලනවානෙ. අපි දැන් මේ “සයිටම් ප්‍ර‍ශ්ණය”  කියලා අළුතෙන් වගේ කථා කළාට ඉස්සර මේකම “උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍ර‍ශ්ණය” වගේ නමකින් හැඳින්විය හැකි ආකාරයට සිදුවෙලා තිබෙනවා. දැනට තිබෙන රාගම මෙඩිකල් ෆැකල්ටිය ඒ කාලේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් විධියට ආරම්භ කරන්නට ගිහින්, දැන් වගේම අරගල කරලා ඒක අන්තිමට ජනතා අයිතියට පවරා ගන්නත් අතීත වෛද්‍ය ශිෂ්‍යයන්ට සහ වෛද්‍යවරුන්ට හැකියාව ලැබී තිබෙනවා. එදා කළා නම් ඇයි අද බැරි?

ජනතා සහාය අවශ්‍යයි

Image credit: jindalsteelpower.com

ඉතින්, හරියටම කිව්වොත් සයිටම් කියන්නේ ප්‍ර‍ශ්ණයක් ම නෙවෙයි පිළිලයක්. S2ක් දාලා ඇතුලට ගියත් හරියට උගන්වලා එළියට දානවා නම් ඒකෙ ප්‍ර‍ශ්ණයක් නැහැ. ඒත් එහෙම දෙයක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. ඒ ගැන සාමාන්‍ය ජනතාවගේ දැනුමත් බොහොම මදි. අනෙක, දිනපතා රෑට එක් පාර්ශවයක දෙයක්ම මිනිස්සුන්ට ඇහෙද්දි එයාලා ඒ පැත්තට යොමු වෙනවා වැඩියි. (හොරු රංචුවක් කථා කරන දේවල් අහලා නරක් වුණු අලියා ගැන අහලා ඇතිනෙ) දැන් මෙතෙන්දි කරන්නට ඕනෑ වෙන්නේ ප්‍ර‍ශ්ණය ගැන ජනතාවත් දැනුවත් කරලා ඔවුන්ගේ සහායත් ගැනීමයි. දැනටමත් වෛද්‍ය සිසුන් එය අරඹා ඇති අතර මේ ලිපිය ලියන්නට අදහස් කළේ ඊට හසු නොවන පිරිස වෙනුවෙනුයි.

කලින් අත්දැකීම් තිබෙන නිසා ද මන්දා, රජයත් මේ ගැන මුනිවත රකිනවා. ලංකාවේ අපේ සාමාන්‍ය පිළිවෙත වන: කාලෙන් කාලෙට එන topic පස්සේ දුවන එක භාවිතා කරලා මේ ප්‍ර‍ශ්ණයත් කාලයත් එක්ක අමතක වෙලා යාවි කියලාද කොහෙද වෙන වෙන ජවනිකා කරළියට ගේනවා. ඒ හින්දා ඒ ගැනත් අවධානයෙන් ඉන්න වෙනවා.

ඔබටත් මෙයට එකතු කරන්නට යමක් තිබෙනවා නම් පහතින් comment කරන්න. ඔබේ අදහස හැමෝටම වැදගත්!

2 replies on “සයිටම් ගැන අපි නොදන්නා පැතිකඩ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page