Categories
What I see

සයිටම් නොව කෑම ද මුදලට නොදෙව්

ප්‍ර‍මිතියක් නැතිව අපේ වෙළඳපොළේ අහක දැමිය හැකි දෑ බොහෝ ය. විශ්ව විද්‍යාල ආපනශාලාවල කෑම බීම පමණක් නොව එදිනෙදා ගන්නා හැම දේක ම දැන් ඇත්තේ මල ජරාව මිසක් කෑමට හොඳ දෙයක් නොවේ. ඒ අතර ය මේ වෙළඳපොළට සයිටම් එක ආවේ. ඒකට මෙච්චර නහිනවා නම් කුඹුරු ද කොටන්නට සිදු වන තත්වයකි තිබෙන්නේ. සාමාන්‍යයෙන් අප අසා ඇත්තේ ප්‍ර‍ශ්ණයකට විසඳුම එය මඟහැර හෝ පලා යාමෙන් නොවන බව නමුත් පෙනී යන පරිදි අපේ උගතුන් තෝරාගෙන ඇත්තේ හැදිය නොහැකි ළමයෙක්ට මරණ දඬුවම දීමට යන ආකාරයකි.

හැඳි නොගා හදන හොද්ද කිසිදා රස නොලබයි. ඒ නිසා ඔබේ මහා තරහකාරයෙක් සිටීනම් හැඳි නොගා ම ඔවුන්ට ඔවුන්ගේ හොද්ද හදාගන්නට ඉඩදී නිදහස් අධ්‍යාපන කැඳ හැලියට ආඬි හත් දෙනා වාගේ බොරු සෝබනේ දමමින් සිටියොත් වෙන්නේ කන්නන්ගර මහත්තයාට ද අපහාසයකි. මීට පෙර කීවා සේ කළයුතු වන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කිරීම නොව පාඩම් කිරීම ය. එවිට සයිටම් නොව මොන අයිටම් එකෙන් ආවත් ඔබේ දැනුම හොඳ නම් කිසිවකුටත් ඔබව හෝ ඔබ තබන ලද අභිමානය ඔබේ අධ්‍යාපන ආයතනයෙන් උදුරා ගන්නට නොහැකි වන්නේ ය. අප නම් අසා තිබෙන පරිදි “උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” මිසක් “පහර කෑ උද්ඝෝෂණයයි අප රකිනා” කියා එකක් නැත.

Advertisement

සෞඛ්‍යය හැම කෙනෙක්ට ම අදාල නිසා හැමෝම “මහජනතාව වෙනුවෙන්” හඬ නගතත් අනිත් හැම ඉන්ඩස්ට්‍රියේ ම තිබෙන්නේ මේ ටික ය. උපාධි ගසා පැමිණියත් වැඩ බැරිව රස්සාවේ ම නම කා දමන උන් කණෙන් වුව ද පෙන්වන්නට හැකියාව තිබේ. කොහොමනමුත් සෞඛ්‍ය ක්‍ෂේත්‍ර‍ය යනු වැදගත් සේවාවක් බව සැබෑ ය. පණ යන්නට ඉන්න ලෙඩෙක්ගෙන් තමන්ගේ ට්‍රෑල් එක කරගන්නා වෛද්‍යවරයෙක් කිසිවෙකුත් පතන්නේ නැත. එහෙත් තමන්ගේ වෘත්තියට එන අභියෝගයකට විකාර කරන වෛද්‍යවරයෙක්, ලෙඩෙක් ජීවිත සටනෙහි සිටියදී ඊට උපකාර කරන්නේ කෙසේදැයි සිතීමත් උගහට ය.

ඉතින්, කරන්නට ඕනෑ වන්නේ ස්ටෑන්ඩඩ් එකක් නැතිනම් ඒක හැදීම මිසක් මාළු නැතැයි කියා මාළු බනිස් තහනම් කර තිරිඟු වගාවක් පටන් ගැනීමෙන් සිදුවන්නේ ආච්චිට හාල් ගැරීම වැනි නිශ්ඵල ක්‍රියාවකි. දැන් දැන් මාධ්‍යවලින් පෙන්වන පරිදි මහජනතාවගේ සුවතාව ඉදිරියට දමා කරගෙන යන්නේ තමාගේ වෘත්තියට එල්ලවන අභියෝගය: රජයේ රෝහලේදී යක්ෂා වේශයකුත්, පෞද්ගලික රෝහලේදී හා පැටව් වේශයකුත් ගෙන කරන රඟපෑමට ඇතිවන අභියෝගයට මුහුණ දීමට නොහැකිව කරන්නක් ලෙසිනි. සටන සාධාරණ විය හැකියි, ඒත් මාධ්‍යවලට ඉඩ නොදී මහජනතාව හොඳින් දැනුවත් කළා නම්; අරමුණ හොඳ නම්, මීට වඩා මහත් සහයෝගයක් ඊට ලැබෙනු ඇති.

සයිටම් ගැන හෝ මොන ටම් ටම් එකක්වත් අපිට අදාල නැත. ඒවාට යවන්නට අපේ මහඋන්ට සල්ලිවත්, රජයේ ඒවාට යන්න මට මොළේවත් නැත. එහෙත් හතර වටෙන් ම ඇහෙන විකාර කතා නිසා කට පියාගෙන ඉන්නට සිතුණේ ද නැත.

Image source: unions.lk

4 replies on “සයිටම් නොව කෑම ද මුදලට නොදෙව්”

මුං කියන විදියට සල්ලි ගොඩාඩාඩාඩාඩාඩාක් තියන එකා පිට රට ගිහිං ඩොක්කු වෙලා එන එක හොඳයි, සල්ලි ගොඩක් තියන එකා මෙහෙදි ඒකම කරන එක නරකයි. මුං මුලිං මිනිස්සු තරහ කරගත්තෙ “අට පාස් කතාව” නිසා. හුදී ජනය ගැන පාං සංවේගයෙං දෙන ටොල්ක්ස් පුස් බව මිනිස්සු දන්න නිසයි සපෝට්ටෙකක් නැත්තෙ. අනික, “වහපං! වහපං!!” නොකිය, “පිටරට එවුං ලියන විභාගෙට ලියපං! තොපෙ ඉස්ටෑන්ඩඩ් හදාගං!” කියල කිවුව නං මිනිස්සු ත් සටනට එනවා.

UGC approved නිසා පිටරට එවුං ලියන එක ලියන්න ඕන නෑ කියල උසාවියත් කිවුවෙ. ඒ කියන්නෙ උපාධි පිරිනමන්න අවසර අරන් තියෙනනේ 2011. UGC ස්ටෑන්ඩඩ් එකක් මේන්ටේන් කරන්නැහැ කියන එක පිලිගන්න බෑනේද?

ඇත්ත කතාව. මුං හරි ප්‍රමිතියකින් ඕක කරා නම් කිසි ප්‍රශ්නයක් නෑ. තමන් පොර නම් අනිත් එකා මොකා උනත් ජොබ් මාකට් ගැන බය වෙන්න දෙයක් නෑ. ඕවට කෑ ගහන උනුත් දන්නෑ ඇයි කෑ ගහන්නේ කියල, සීනීයෝරිටි කියල පොඩි උන්ගෙ මොළ හෝදලා කුණු දාලා තියෙන්නෙ. උන්ට තේරෙන්නේ සින්නෝ කියනදේ විතරයි. ඇත්ත මොකක් ද කියල හිතන්නවත් ඒ මහත්වරුන්ට උවමනාවක් නෑ.

උපාධි ගසා පැමිණියත් වැඩ බැරිව රස්සාවේ ම නම කා දමන උන් කණෙන් වුව ද පෙන්වන්නට හැකියාව තිබේ.

මේක නම් කිව්වෙ අර අක්කට ද කොහෙද 😛

@Sashen: ඇත්ත, සින්නෝ සරණං ගච්ඡාමි වෙලා තමයි තියෙන්නෙ. වැඩේ කියන්නෙ මුන් සින්නො වුණා ම කරන්නෙත් එක ම ටික. හරියට ලේලි -> නැන්දම්මා වුණාම තමන්ගෙ ලේලිට කේස් දානවා වගේ.

“මේක නම් කිව්වෙ අර අක්කට ද කොහෙද”
නැහැ එයානම් දැන් පට් පට් ගාලා වැඩ අල්ලගෙන. සුපිරියි 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page