හිත තියෙන්නේ හදවතේ ද? මොළයේ ද?

(wearechange.org)

ලොව වෙසෙන සෑම මහාජීවී සත්ත්වයෙක්ට ම හදවතත් මොළයත් විවිධ ආකාරයට පිහිටා තිබෙනවා. බටහිර විද්‍යාව විසින් සත්ත්වයන් ඡේදනය කරමින් ඒවායේ හැඩයන් සහ ප්‍රමාණයන් පිළිබඳව මෙන් ම ක්‍රියාකාරිත්වය පිළිබඳව ද බොහෝ දේ සොයාගෙන තිබෙනවා. ඒ අතරේ බුදු දහම ඔස්සේ කය පමණක් නොව, සිත කියා දෙයකුත් මේක අස්සේ තිබෙනවා ය, නානත්ත කායා නානත්ත සංඥා ආදී වශයෙන් එකිනෙකාගේ චර්යාවන් වෙනස් ය කියාත් පැහැදිලි කරනවා. ඒත් බාහිරට පෙනෙන බඹයක් පමණ වූ මේ කයෙහි හිත තියෙන්නේ කොතැනදැයි නිශ්චිතව වටහා ගන්නට අපට අපහසුයි.

ඒ නිසා හදවතටත් මොළයටත් ඇති හැකියාවන් හඳුනාගෙන ඒ අනුව සිත තිබිය හැක්කේ කොහිදැයි අනුමාන කර එය සත්‍යයක්දැයි ඔප්පු කරගන්නට උත්සාහ කරමු.

හදවත

(stemcellclinic.com)

හදවත සියළුම ජීවීන්ට තිබෙන අතර ජීවියාගේ ප්‍රමාණය සහ රුධිරයේ අවශ්‍යතාවය අනුව ව්‍යුහය හා ප්‍රමාණය වෙනස් වෙනවා. එහි මූලික කර්තව්‍යය පිරිසිදු කරන ලද රුධිරය දේහය පුරා ගලායාම සඳහා අවශ්‍ය චාලක ශක්තිය සැපයීම, එහෙමත් නැත්නම් පොම්පයක් වශයෙන් ක්‍රියා කිරීම යි. අපිට අත පය චලනය කරන්නට සිතැඟියෙන් හැකි වුණත් හෘදය ඒ ආකාරයට චලනය කරන්නට බැහැ. මන්ද, හෘදයේ තිබෙන්නේ ‘හෘත් පේශි’ නම් වන අපේ පාලනයෙන් තොර, ශරීරයේ වෙන කොහිවත් නැති විශේෂ පේශි වර්ගයක්. හෘදය මගින් හෘත් පේශි වලටමත් රුධිරය සපයා ගන්නවා. පෝෂක, ඔක්සිජන් ආදී දේ දරන රුධිරය රැගත් ශරීරය පුරා ම විහිදුණු රුධිර නාල හෘදය සමඟ සම්බන්ධ නිසා මුළු ශරීරයේ ම ක්‍රියාකාරීත්වය සඳහා හෘදයට වග කියන්නට පුළුවන්. ස්වයංව ක්‍රියාකරන හෘදය විසින් ම තමයි මොළයට රුධිරය සපයන්නේ.

“මම හරි හිතේ අමාරුවෙන් ඉන්නේ” කියද්දීත් වගේ ම “මම” කියන වචනය අෑත ඉන්නා කෙනෙක්ට ගොළු බසින් මෙන් පෙන්වද්දීත් අපිට අපේ පපුවට අත තියා ගැනෙන්නේ ඉබේට ම වගේයි. අඬන විට පපුවට ගහ ගැනීම, පාළුවක් දැනුණු විට තුරුළු වෙද්දී තවත් කෙනෙක්ගේ පපුව ම තෝරා ගැනීම හරහාත් “හදවතින් ම” හෝ “සිතට එකඟව” යන්න පෙන්වීමටත් අපි හෘදය ආසන්න ප්‍රදේශය පිටතින් ස්පර්ශ කරනවා. උත්තමාචාර දැක්වීමේදී එනම් යුද්ධ හමුදා වැනි අනෙකුත් සංවිධාන මෙන් ම ඇතැමුන් ජාතික ගීය ගායනයේදීත් හදවතට අත තබා ගන්නේ හිතින් ම ඊට ගෞරව කරන බව පෙන්වීමට යි. අතට අත දීමේදීත් හදවතට ආසන්න අත නිසා වම් අත භාවිතා වන පුරුදුත් තිබෙනවා.

මොළය

(ytimg.com)

හදවත වගේ ම මොළයත් සත්ත්වයන් අනුව වෙනස් වෙනවා. එහි ප්‍රමාණයේ විශාලත්වය අනුව සත්ත්වයා දරන හැකියාවන් ප්‍රමාණය පුළුල් වන අතර ආසන්න ප්‍රමාණ දරන සත්ත්වයන්: මිනිසා, චිම්පන්සියා, ඩොල්ෆින්, අලියා සමාන හැකියාවන් දරන බවට සැලකෙනවා. නියුරෝන නමැති නැවත ප්‍රතිස්ථාපනය වීමට හෝ අලුතෙන් වර්ධනය වීමට හැකියාව නැති සෛල වලින් මොළය සැකසී තිබෙනවා. ශරීරයේ සිතා මතා භාවිතා කළ හැකි කංකාල පේශි ක්‍රියා කරවීම, ඉන්ද්‍රීය හරහා එන තොරතුරු හඳුනා ගැනීම, ගබඩා කිරීම සහ ප්‍රතිචාර දැක්වීම, හෝර්මෝන ක්‍රියාකාරීත්වය ආදිය පාලනය කරන මොළය කොඳු නාරටිය දිගේ දිවෙන සුෂුම්නාව සමඟත් ඒ හරහා ශරීරය පුරා ම දිවෙන ස්නායු සමඟත් සබැඳී පාලන කටයුතු ගෙන යනවා.

දුකක් දැනුනා ම හිස බදාගෙන හඬන්නට, ඔළුව බිත්තියක ගහ ගන්නට, කල්පනා කරද්දී නළලට අත තබන්නට හෝ හිස අතගාන්නට, බොරු කියද්දී ඔළුව කසන්නට අපේ පුරුදු තිබෙනවා. වැඩ බොහොමයක් කරද්දී, ආතතියට හෝ විශාදයට ලක්වූ විටදී ඔළුවට අමාරුවක් දැනීම, හිස කකියන්නට ගැනීම මෙන් ම කිසිවක් අසාර්ථකවූ විටදී අපි “මොළේ නැතිකම” කියලාත් කියනවා.

බුදු දහම සහ බටහිර විද්‍යාව අනුව පිළිතුරක්

බටහිර විද්‍යාවේදී කය ක්‍රියාත්මක වන්නේ කුමක් මත ද යන්න හෝ සිතක් පිළිබඳව කිසිදු සඳහනක් නැතත් බුදු දහමේදී “සිත” යන්න හොඳින් විස්තර කරනවා. ශරීරයේ හෝ රූපයේ තැනුම් ඒකකය “රූප කලාපයක්” ලෙස කියැවෙන බුදු දහමේ එය එක් ක්ෂණයකදී ඉතාමත් ඉහළ වේගයකින් වෙනස් වන බවත්, සිත ද චිත්ථ ක්ෂණ 17ක් අනුව වෙනස් වන බවත් පැහැදිලි කරමින් අනිත්‍යතාව පිළිබඳවත් කරුණු ගෙන හැර දක්වනවා. සෑම සිතක් පහළ වීමට ප්‍රථමයෙන් ම එය නිසල දිය මෙන් භවංගගත වන බවත් අනතුරුව භවාංග චලනය නමින් අරමුණ කරා යොමු වන බවත් ධර්මයේ සඳහන් වෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදීවූ පඤ්චස්කන්ධය ද දැල්වූ පොල්තෙල් පහනක් මෙන් ගිනි සිළුව ක්ෂණිකව ඇතිවී එක් ගිනි සිළුවක් සේ පෙනුනත් තෙල් දහනය වීමේදී එය සෑම මොහොතකදී ම ඇති වෙමින් නැති වෙමින් යන ස්වභාවය පෙන්වා දෙනවා.

බුදු දහමේ කියැවෙන සිත තිබෙන්නේ හදවතේ හෝ කුමන හෝ අවයවයක නම්, එහි ක්‍රියාකාරීත්වය අනුව ශරීරයේ වෙනස්කමක් සහ ඉවත් කිරීමෙන් මරණයත් ඇතිවිය යුතු වෙනවා. ඉතින් හදවත හෝ ශරීරයේ අත් පා වැනි කොටස් අහිමි වුණත් නොමැරී ජීවත් වෙන්නට පුළුවන්. හෘදයාබාධයන්ට ලක්වූ පුද්ගලයන්ගේ හෘද සැත්කම් වලදී රුධිර ගමනාගමනය යන්ත්‍රයකට පවරලා, හදවත පිටතට ගෙන අවශ්‍ය දේවල් කරලා නැවත සවි කළත් පුද්ගලයා මිය යන්නේ නැහැ. ඒ වගේ ම වෙනත් හදවතක් එම පුද්ගලයාට සවි කළත් ඔහුගේ චර්යා රටාවන්ගේ කිසිදු වෙනසක් සිදු වන්නේත් නැහැ.

ක්‍රියාකාරී අවස්ථාවක ඇති හෘත්-පෙනහළු යන්ත්‍රයක් (wikimedia.org)

කිසියම් රූපයක් හඳුනාගැනීම බුදු දහමේ විස්තර වන්නේ රූපයත්, ප්‍රසාද ගුණය සහිත ඇසත්, සිත එහෙමත් නැත්නම් මෙම අවස්ථාවේදී චක්ඛු විඤ්ඤාණයත් එක් වීමෙන් බව යි. බටහිර විද්‍යාවේදී මෙය විස්තර වන්නේ බාහිර රූපයත්, ඇසත්, මොළයත් එක් වීමෙන් පෙනීම සිදුවන බව යි. එසේ ම සිත භවාංග චලනයන්ට ලක් වන්නට නම් ඊට චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන ආදියෙන් තොරතුරු ලැබෙන්නට අවශ්‍යයි වගේ ම බටහිර විද්‍යාවේ ඇස, කන, නාසය, දිව, සම යන ඉන්ද්‍රියයන් සියල්ල පණිවිඩ යවන්නේ මොළයට යි.

පඤ්චස්කන්ධය ක්‍රියාත්මක වීමටත් හෘදය හෝ ශරීරයේ වෙනත් කොටසකට වඩා මොළයේ සහාය ලැබෙන බව පෙනී යනවා. අපිට කිසිවක් ඇසුණු විට, දුටු විට හෝ දැනුණු විට ‘වේදනා’ හෙවත් ඒ පිළිබඳව දැනීමක් ඇතිවන අතර ඒ ගැන ‘සංඥා’වක් එනම්, ඊට පෙර ඒ ගැන තිබුණු දැනුම එක්වී සිදුවූයේ මේ යැයි හඳුනාගැනීමක් සිදු වෙනවා. ඒ පිළිබඳව අපි ගනු ලබන මෝහය මුල්වූ ලෝභ, ද්වේශ ආදී තීරණය ‘සංඛාර’ වන අතර මේ හැමට ම මූලිකත්වය ගන්නේ ඉන්ද්‍රියානුකූලව ඇතිවුණු විඤ්ඤාණය විසිනු යි. ඉතින් මේ හැම පියවරකට ම සහාය දීමේ හැකියාව පවතින්නේ මොළයට යි.

සතර අපායට වැටුණොත් ගොඩ ඒමක් නැති බව ඔබ අසා ඇති. ඒ වගේ ම බටහිර විද්‍යාව හරහා මනු සතාට වඩා අන් සතුන්ට වැඩි මොළයක් පිහිටා නැති බවත් ක්ෂුද්‍ර ජීවින්ගේ ඇත්තේ සෛලීය පදනමක් පමණක් බවත් දන්නවා ඇති. ඉන් පෙනී යන්නේත් තර්කනය, බුද්ධිය හැසිරවීම යන දේට භාවිතා කළ හැකි උපකරණයක් සිතට අවශ්‍ය බව යි. ඇතෙක් හෝ අලියෙක් වුණොත්, ධාතු කරඬුව වැඩමවීම හෝ පෙරහරට සහභාගී වීම හරහා හොඳ උත්පත්තියකට යා හැකි බවට ද මතයක් තිබෙනවා. පෙරහරේ යන්නටත් එකඟවූ සිතක් තිබිය යුතු වෙනවා. එය කරගන්නට තරම් දියුණු මොළයක් අලින්ට තිබෙන නිසා ඔවුන්ට එය පහසුයි. හොඳ උත්පත්තියකට යන්නට ඔවුන්ට ධර්මය දැන ගන්නට ම අවශ්‍ය නැහැ. මල් පහන් පූජා කිරීම් ආදියෙන් මිථ්‍යා දෘෂ්ඨිකයන්ට පමණක් නොව දහම් පදයක ශ්‍රව්‍ය රසය ඇසීමෙන් කෙවිටකට යටවූ ගෙම්බෙක් මියැද දිව්‍ය පුත්‍රයෙක්වූ බවට කථාවක් ද තිබෙනවා. ඒත් දුක්ඛ නිරෝධයට හෙවත් නිවනට විදර්ශනාව අවශ්‍ය යි.

(businessinsider.com)

හදවතක් හෝ වෙනත් අවයවයක් වගේ මොළය බද්ධ කරන්නට, ඉවත් කරන්නට බැහැ. කෙතරම් ශරීරයේ අනෙක් කොටස් නීරෝගීව තිබුණත් මොළයේ මරණය ජීවිතයේ අවසානය බවට ද පත් වෙනවා. සිතුවිලි බිහිවන කේන්ද්‍රය වන මොළය පඤ්චස්කන්ධයේ ක්‍රියාකාරීත්වය සිදුවන ස්ථානය බව පැහැදිලි කළ හැකි තවත් දෙයක් තමයි ෆේස්බුක්හි F8 සමුළුවේදී හඳුන්වාදුන් මොළයෙන් අකුරු ලියැවෙන මස්තිශ්ක-පරිගණක පද්ධතිය කියන්නේ. ශීර්ෂ පළඳනාවක් මඟින් එකාග්‍රවූ සිතේ ඇතිවන සිතුවිලි එමඟින් වචනයට නැඟෙනවා. සිත එක්තැන් කර ගැනීමේ භාවනා ක්‍රම අතීත හින්දු ඇදහිලි වලින් මෙන් ම ගැලවීමේ මාර්ගය වන විදර්ශනාව හඳුන්වාදීමෙන් බුදු දහම ද පෙන්වා දෙන්නේ එකඟවූ සිතක ප්‍රබලත්වය වැඩි බවයි. එය කෙතෙක් ප්‍රබල ද යත්, මේ ආකාරයේ උපකරණවලට ද චිත්ථ ශක්තිය හසුවෙනවා.

ඉතින් මේ පෙනී යන ආකාරයට, සිත ඇත්තේ මොළය ආශ්‍රය කරගෙන නම්, හිතේ අමාරු කියන්නේ මොළේ අමාරුව වගේ යි. හිත ඇත්තට ම තිබෙන්නේ මොළයේ ද? ඔබේ අදහස් අපිත් එක්ක බෙදාහදා ගන්න.

 

Leave a Comment