ඔහෙලා ඔපීසියේ ලොක්කන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් 7ක්

තමන්ගේ දක්ෂතාවයන්ට කෙසේවෙතත් සුදුසුකම් වලට හරියන ජොබ් එකක් හොයාගන්න එක පුතේ ලේසි පහසු කර්තව්‍යයක් නෙවෙයි. වෙන රටවල ඒවා නම් කැල්කූලස් උත්තමයාණෝ දන්නේ නෑ. හැබැයි මෙහේ නම් අමාරුයි. වැඩිය ඕන නෑ,  ජොබ් එකක් ගන්න ඇසිපීරියැංස් තියෙන්න ඕන – ඇස්පීරියැංස් ගන්න නම් ජොබ් එකක් තියෙන්න ඕන කියන එකෙන් ම වැඩේ කෝමද කියලා ඔහේලා දන්නවා ඇති. හැබැයි ඉතින් කොච්චර අමාරුවෙන් වැඳලා වැඳලා ජොබ් එක ගත්තත් ඊට පස්සේ ඒක මතක නැතුව නානාප්‍රකාර දේවල් බලාපොරොත්තු වෙනවානේ. අන්න ඒ දේවල් තමයි ලොක්කන්ගේ දැනගැනීම පිණිස හෝ උඹලෑට අඩු කරගන්න ලේසි වෙන්න බොගේට කොටන්න හිතුවේ.

1. පඩිය

Courtesy: wanna-joke.com

ඔපීසියේ ලිෆ්ට් කබලක් තිබුණාට මොකද අපිට ඕන එක ම දේ පඩි නෙවැ. කෝමත් අර පරණ පඬිවරයෙක් ගලක කැටයමක් දාලා තියෙනවාලුනේ “පඩියෙන් පඩිය ඉදිරියට යන්නා පඬිවරයෙක් බවට පැමිණේ” කියාලා. ඉතින් අපි ඕක අනුගමනේ කොරමින් තමයි නිතරම පඩි වැඩි කිරීම් ඉල්ලන්නේ.

රටක් වශයෙන් බැලුවා ම නම් පඩියක් වැඩි කරනවා කියන්නේ අනෙක් අතින් බඩු මිල වැඩිවෙලා අතට එන ටික නැවතත් යන එක ම තමයි. මොකද නැත්නම් ආර්ථික රෝල කැඩෙනවා නේ.

අපිට ඒවා අදාල නෑ යකූ. පේ සීට් එකේ ලොකු ඉලක්කං දැක්කා ම එන ජිංකි චිකා එකට තමා අපි ආස. හා නැද්ද? අනික වැඩක් කරලා, ආය තනයට (චීයා ඔවා කියන කතා) ලාභයක් අරගෙන දීලා ඒ ගාණට පඩියක් එන එකෙත් කිසි ගැම්මක් නෑ. නිකං ඉඳලා ම ටිකක් වැඩිපුර එනකොට තමයි ටොයිං ටොයිං.

2. වැඩ කරන්න ඔපීසියක්

නිතර එහෙ මෙහේ යන විධියේ  ජොබ් කරන අයට තියෙන ප්‍රධාන පුරස්නයක් තමා මේක. “මට ඔපිස් එකක් දියල්ලා!” ඒකේ වෙන මොකෙක්වත් හිටියේ නැතත් කමක් නෑ, ඒකේ රෙන්ට් එකට, කරන්ට්, වතුර වලට යන ගාණ කීය උනත් බොලා පාඩු ලැබුවත් කමක් නෑ, වැටිලා ඉන්න ඔපිස් එකක් තියේනම් ශපාන් එකේ ඉන්නෑකි.

3. ප්‍රෙශර් නොකර ඉන්න එක

ඔහේ කියන්නේ එතකොට ස්ට්‍රෙස් නැති කරගන්න තියෙන අර ලොකු බෝල තියෙන්නේ අපිව ස්ට්‍රෙස් කරන උන්ට ගහන්න නෙවෙයි කියලා ද? Courtesy: pinimg.com

“මේ වැඩේ හෙට වෙද්දි ඕන!” කියලා කන්දක් විතර ෆයිල් මිටියක් හම්බ වෙනවා නම් ඒකෙන් ම ගහලා මහ එකාව මරාගෙන අපිටත් මැරෙන්න හිතෙන එක අහන්නත් දෙයක්යැ? හැබැයි ඉතින් ලොක්කා එහෙම කියන්න හේතුව වෙලා තියෙන්නේ කලින් දීපු වැඩ අත ගගා ඉඳපු හින්දා මේකත් එහෙම කරලා මුළු ඔපීසියම අතු ගෑවිලා හැඳි ගෑවිලා යයි කියන බයට ද කියලා ටිකක් හිතන්නට වෙනවා.

දෙන වැඩ ටික කොහොමටත් වෙලාවට කරලා දෙනවා නම් ඔය වගේ අඤ්ඤකොරොස් කතාවක් කිව්වොත් “සෑර් දන්නෝනේ මට වැඩක් බාර දුන්නොත් වක්කඩට ඉණි කපලා ගඟේ හකුරු හැංගුවා වගේ නේ. බය වෙන්ඩෙපා” කියලා කොන්ද පණ ඇතුව කියන්නට අපිට ගැම්ම තියෙනවා. දෙන වැඩේ වෙලාවට හරියට කරන්ඩලා. එතකොට උන්දැට ප්‍රෙසැර් හැදෙන්නෙත් නෑ අපේ ෆ්ලවර් ජම්ප්ස් වෙන්නෙත් නෑ. හැබැයි ඉතින් ඔබේ ධාරිතාවයට වඩා ලැබෙන වැඩ ටික දරාගන්නට බැරි නම් එක්කෝ කෙලින් ම ඒක ගැන කතා කරන්න. එහෙමත් නැත්නම් අයින් වෙන්න. මොකද ගොඩක් කල් ඕක දරාගන්න බැරි වුණොත් එක්කෝ හුරු වෙයි, නැත්නම් කොන් වෙයි.

4. වර්ණනා

අර කාලකණ්ණි හැත්ත නොමරා හිටපු එකට මම මාව ම වර්ණනා කරගන්න ඕන Courtesy: pinimg.com

පුංචි කාලේ මොන්ටිසෝරි ටීචැර් අපිට කරපු නරක ම වැඩේ මක්කද දන්නවයි? ‘අ’ යන්න ලියන්න දුන්නා ම එකේ ගැටේ විතරක් ලියලා පෙන්නුවත් “හානේ හොඳ පුතා” කියලා ඔළුව අතගාලා පොතේ රතු පෑනෙන් හිනා මූණක් ඇඳලා අපිව වැඩේ නොකර වර්ණනා ගන්න පුරුදු කොරපු එක. ඇත්තට ම ඔය වචනේ උගන්නන්නේ ම නැතුව හිටියා නම් එකක්.

මොකද ඕක ලංකාවේ මහ උන්ගේ ඩිස්සොනරියේ නැහැ. උන්දැලා බලන්නේ ම ඇදකුදයක් හොයලා නෝක්කාඩුවට වැඩේට “හා” කියන්න විතරයි. හැබැයි ඉතින් උන්දැට මොනවත් එහෙම ඇදයක් නොපෙන්වන්න පුළුවන් වෙන්න වැඩේ කරන්න ඕන කියලා අපිට මතක් වෙන්නේත් නෑනේ. ඉතින් සේරට ම වඩා ලේසියි වැඩේ හොඳට ගියා නම් ඒකේ වරුණාව එහා පැත්තේ ඉන්න එකා ගාවට ගිහින් ඌට වැඩක් කරගන්නත් බැරි වෙන්න දොඩව දොඩවා ඉන්න එක.

5. හොඳ පුටුවක්

මේ පුටුව නම්, හා බොස් Courtesy: watchersonthewall.com

පුටුව කිව්වේ තනතුරු තානාංතරේ විතරක් ම නෙවෙයි. වාඩි වෙන්න තියෙන පුටුවත් ටිකක් හොඳ පන්නයේ එකක් වෙනවාට අපේ මහත්තුරු හරි කැමතියි. කල්පනා කරද්දී කැරකි කැරකී ඉන්න, උසස් හැඟීමක් ගන්න ඕනෙ උනා ම පුටුව උස්සගෙන ඉන්න විතරක් නෙවෙයි කම්මැලි හිතුණා ම කාර් ගේම් ගහන්න වගේ පුටුවේ ඉඳගෙන ම එහාට මෙහාට තල්ලු වෙන්න ආසයි. මේවා නැති වුණොත් සමහරවිට “මේවැයි නිතර ඉඳලා ඉඳලා කකුල් රිදෙනවා.. කොන්ද ගැනම සිතලා සිතලා දෙනෙත තෙමෙනවා” වගේ ඒවා ලොක්කාට ඇහෙන්න කියනවා වෙන්නත් පුළුවන් කියපල්ලා.

6. අලුත් දෙයක් අත්හදා බලන්නට ඉඩක්

වාර්තා හදන කටයුතු වලදී නෙවෙයි, නිර්මාණකරණයේ (ග්‍රෑපික්ස් ඩිසැයිනිං වගේ) හෝ සොෆ්ටෙයෑර් ඩිවෙලොප්ස්සිං කරන කට්ටිය හරි කැමතියි තමන්ගේ ජිංජි බිරිස් කෑල්ලක් කරන වැඩේට ඔබන්න. එතකොට පොඩි ගැම්මක් තියෙනෝනේ. එක අතකින් කට්ටයට කියන්න පුළුවන් මෙන්න මේක කරේ මං. අනෙක් අතට පුළුවන් අලුත් දෙයක් අත්හදා බලන්නයි ඒක තවත් කෙනෙක් ප්‍රයෝජනයට ගන්න හැටි දැකලා සතුටු වෙන්නයි.

ඒත් පුතේ කැල්කූලසා පහුගිය දවස්වල ආටිකල් කෑල්ලක් අටවන්න විස්තර හොයද්දි තමයි හම්බුණේ පේෂ්බුක්ස් එකේ ඩිවෙලොපර්ර්ස් ලාටත් එහෙම චෑංස් එකක් නැති බව. ඒක හින්දා ම අයින් වුණු අයත් ඉන්නවා. ඒක හින්දා කරන්න ඕන දේ තමයි එක්කෝ ඒවාට ඉඩ තියෙන තැනක් හොයා ගන්න ඕන. එහෙමත් නැත්නම් තමන් වෙනම වැඩ කරලා GitHub, Behance වගේ පෝට්ෆෝලියෝ වල ඒවා දාලා තියන්න. මොකද, අපි ජිංජි බිරිස් අත්හදා බලන්න ගිහින් අපේ අතින් වැරැද්දක් වෙලා සිස්ටම් එකක් කොර වුණොත් ඒක ගොඩක් දෙනෙක්ට පාඩුවක් වෙන්න පුළුවන්.

7. නිවාඩු

එක නිවාඩුවක් ගත්තා තමයි. ඒත් ඉතිං තා එකක් ගත්තට අවුලක් නෑනේ.. අවුලක් නෑනේ.. Courtesy: imgflip.com

අපේ මැරිච්ච ආච්චිලා සීයලා, නැන්දලා මාමලා ගාණට ගේ පිටිපස්සේ බොරැල්ල කනත්ත වගේ හතර-පස් ගුණයක් ලොකු කනත්තක් හදන්න ඕන යකුනේ. ඒ විතරක් නෙවෙයි ඒ ගාණට දාන දුන්නා නම් ඊළඟ ආත්මේ සිං ගාලා බ්‍රහ්ම ලෝකෙට ම ප්‍රොමෝසං එකත් ෂුවර්. ඒ තරමට පින් නෙව! හැබැයි ඉතින් දෙයියන්ගේ නාමෙට අපේ මහ උන්ට අපේ මැරිච්ච උන්දැලාගේ ගාණ මතකත් නෑ; ඒවාට එන්න අහලත් නෑ. (ගොඩක් දුර බැහැර හින්දා සර්ට එන්න අමාරුයි. අන්නේකයි. ආවේ නැති උනාට තරහ නෑ)

වෙන රටවල ලොකු ලොකු කොම්පැණිවල නම් ඔපීසිය ඇතුලේ ම දොස්තරවරු ඉන්නවාලු. ඔන්න අපේ රටට මෙහෙම එකක් ගේන්න ගියොත් ඇබොලිස් ඩොක්ටර්ස් කියලා පාරට බහින්න තොපි මතක තියාගනිල්ලා! නැත්නම් බඩේ අමාරුවක් කියලා කලින් යන්න හම්බෙන්නෙත් නෑ, වයිෆ්ට බබා ලැබෙන්න කිට්ටු හින්දා අපිට විලි රුදාවයි කියලා කියන්නත් බෑ, උණ හැදිලා කියලා හදිසි නිවාඩුවක් දාන්නත් බෑ.

දැන් ඉතින් ලොක්කාලා හිනා වෙවී මේවා බැලුවාට කමල්ලෑ ඊළඟ එඩිසං එකේ ලිපිය එන්නේ ඔහෙලාට කියලා හිතාගන්නවා හොඳයි. ගායිස් හූවක් ඕනේ!

Leave a Comment