Categories
Current Affairs Health

ඔසප් දවසට නිවාඩු දෙන ස්පාඤ්ඤය

ශ්‍රී ලංකාවේ තාම පෑඩ්වලටත් රෙදි කෑලි පාවිච්චි කරන්න කියන මිනිස්සු ඉඳිද්දී වෙන රටවල් වල ආණ්ඩු ඔසප් නිවාඩු හඳුන්වාදෙන එක ගැනයි කතා වෙන්නේ.

දරුණු ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන් සඳහා නිවාඩු දින හඳුන්වා දෙන පළමු බටහිර රට බවට පත් වෙන්න ස්පාඤ්ඤය සූදානම් වෙනවා. 

Advertisement

ඉකුත් අඟහරුවාදා (මැයි 17) කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ කෙටුම්පත් යෝජනාවෙන් කියැවෙන්නේ කාන්තාවන්ට ඔසප් වීම සිදුවන විට මසකට දින තුනක් නිවාඩු ගත හැකි බවයි. ඒ වගේම, ආර්තවීය ආබාධ (dysmenorrhea) ඇති අයට එය දින පහක් දක්වා දීර්ඝ නිවාඩුවක් ගන්නත් පුළුවන්. හැබැයි අඩු වේදනාවක් තිබෙන අයට මේ කිසිම නිවාඩුවක් අදාල වෙන්නේ නැහැ.

“අපිට තවදුරටත් ඔසප් වීම ගැන කතා කරන්න ලැජ්ජ වෙන්න ඕන නැහැ. සෞඛ්‍ය අංශවලට විසඳන්න බැරි ගැටලුවක් නිසා, තාවකාලික අසනීප නිවාඩු ලබා ගැනීම හොඳයි කියලා අපි හිතනවා,” ස්පාඤ්ඤයේ සමානාත්මතාවය පිළිබඳ රාජ්‍ය ලේකම් ඇන්ජෙලා රොද්‍රිගස් එරට මාධ්‍ය වෙත කියනවා.

“ආර්තවීය ආබාධ” කියන්නේ මොකක්ද?

ඔප් වීම සිදු වන බොහෝ කාන්තාවන් ඔවුන්ගේ මාසික චක්‍රයේ කොටසක් ලෙස වේදනාවට ලක්වුණත් සමහරුන්ට දරුණු වේදනාවක් ඇති වෙනවා.

ඒක සාමාන්‍යයෙන් ඇති වන්නේ දැඩි උදර කැක්කුමක් විදියට. වේදනාව කොන්දට සහ කලවා දක්වා දැනෙනවා. සමහරුන්ට ඔක්කාරය, පාචනය සහ ඉරුවාරදය පවා ඇති වෙන්න පුළුවන්.

ආර්තවීය ආබාධ (dysmenorrhea) ඇති වෙන්න එක හේතුවක් තමයි, ගර්භාෂයේ ශ්ලේෂ්මල පටලයේ සෛල මගින් නිපදවන ප්‍රොස්ටග්ලැන්ඩීන් (prostaglandin) හෝමෝන මට්ටමේ අසමතුලිතතාවයක් නිසා ගර්භාෂය සංකෝචනය වෙන එක. එහෙම හැකිලෙද්දි වේදනාව ඇති වෙනවා.

අනෙකුත් රටවල තත්ත්වය

ශ්‍රම බලකායේ නියුතු කාන්තාවන් සඳහා යම් ආකාරයක ඔසප් නිවාඩු ක්‍රමවේදයක් නීත්‍යානුකූලව හඳුන්වා දීලා තියෙන්නේ ජපානය, තායිවානය, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, සැම්බියාව වැනි රටවල් අතළොස්සක් විතරයි. ඔසප් නිවාඩු පිළිබඳ පළමු නීතිමාලාව හඳුන්වා දීලා තියෙන්නේ 1922 දී සෝවියට් සංගමය යි.

ඉන්දුනීසියාවේත් ඔසප් වීමේදී දින දෙකක වැටුප් සහිත නිවාඩු ලබා ගත හැකි නීතියක් තිබුණත් බොහෝ කාන්තාවන් ඒ ගැන දැනුවත් බවක් නැතිලු. “මම ඉන්දුනීසියාවේ මාධ්‍යවල සේවය කරන කාන්තාවො එක්ක කතා කරලා තියෙනවා. එයාලා මේ ප්‍රතිපත්තිය ගැන දන්නේ නැති නිසා වේදනාව දරාගෙනම රස්සාව කරනවා” ඉන්දුනීසියානු රූපවාහිනී මාධ්‍යවේදිනියක් වන අයිරීන් වර්ධානි බීබීසියට කියනවා.

ජපානයේ, ඔසප් නිවාඩු හිමිකම වසර 70 කට වැඩි කාලයක් සිට කම්කරු අයිතියක් ලෙස ලබා දී තිබෙනවා. “ඔසප් නිවාඩු ලබා ගන්නේ ජපානයේ කාන්තාවන්ගෙන් ඉතා සුළු ප්‍රතිශතයක්” යැයි රටෙහි ඔසප් ක්‍රියාකාරී සංවිධානයක සභාපතිනියක් වන අයුමි ටානිගූචි කියනවා. “ඔසප් වීම වටා අපකීර්තියක් ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන් පුරුෂ ආධිපත්‍යය දරන වැඩබිමක ඔසප් වුණාම ඒක හෙළි කරන්න අමාරුයි.”

දකුණු කොරියාව ඔසප් නිවාඩු අනුමත කළේ 1953 දී. එහේ මාසකෙට එක දවසක් වැටුප් රහිත නිවාඩුවක් ගන්න පුළුවන්. 2021 දි එහෙම නිවාඩු දෙන්න බැහැ කියපු හිටපු ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙකුට දකුණු කොරියාවේ අධිකරණයක් ඩොලර් 1,800ක (රු. ලක්ෂ 6.5ක විතර) දඩයකුත් නියම කරලා තියෙනවා.

“දකුණු කොරියාව ඉතා තරගකාරී සමාජයක්. එයාලා හිතන්නේ අපිට වේදනාව දරාගන්න පුළුවන් වෙන්න ඕන කියලායි. ලොකුම බාධකය සමාජ වාතාවරණයයි. මෙහේ ඔසප් නිවාඩුව ගැන කතා කරන එක හරිම අමාරු වැඩක්.” දකුණු කොරියාවේ ඔසප් වීම ගැන දැනුවත් කිරීම් කරන සංවිධානයක කිම් මින්-ජි කියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page