Categories
Did You Know

ඉන්දියා‍වේ වැඩ පෙන්නූ ලංකාවේ නීතීඥවරිය

අරගලයත් එක්ක අපේ නිතීඥවරුන්, වරියන් ගොඩ දෙනෙක් අපිට සක්‍රීයව මිනිස්සු වෙනුවෙන් කටයුතු කරනවා දකින්න ලැබුණා. ඒ වගේම ඒ කාලේ පටන් ඒ වෘත්තීය ගරුත්වය රැකපු කෙනෙක් ගැනයි මේ කතාව.

එක්සත් රාජධානියේ නීති විභාගය සමත් වූ ශ්‍රී ලංකාවේ (හරියටම කිව්වොත්, සිලෝන් වල) පළමු කාන්තාව වුණේ ඇවබායි බොමාන්ජි වඩියා යි. ඒ වෙද්දි ඇයට අවුරුදු 19ක්!

Advertisement

1913 දී කොළඹ පාර්සි පවුලක උපන් ඇය “උපත් පාලනය” මුළු ලෝකයේම තහනම් වචනයක් වෙලා තියෙද්දි, ඉන්දියාවට ගිහින් ඒ සම්බන්ධව සමාජ සේවයේ නියුතු වුණා. සංස්කෘතියෙන් එල්බ ගත්තු මිනිස්සු ඉන්න දකුණු ආසියාතික රටක ‍ඒ වගේ දෙයක් කරන එක මොන තරම් අභියෝගයක් වෙන්න ඇතිද!

නීතීඥවරියක් විදියට සුදුසුකම් ලබපු ඇය ලන්ඩනයේ සහ කොළඹ රැකියාව කළා. ඒ වෙද්දි නිතීඥ ධුරය පිරිමින්ගේ රැකියාවක් විදියට සැලකුවත්, ඒ අභියෝගය නොතකා ඇය සේවය කළා.

ඇය රැකියාව අතහැරලා මුම්බායි වලට ගිහින් සමාජ සේවය පටන් ගත්තේ දෙවන ලෝක සංග්‍රාම කාලයේදියි.

“නීතිය වෘත්තියක් කරගෙන නොයාම නාස්තියක් ලෙස මට දැනුනේ නැහැ, මොකද මම කරපු සෑම දෙයකම නීතිය ශක්තිමත් කරන දේවල්.” ඇයගේ චරිතාපදානයක් වුණු The Light is Ours කෘතියේ සඳහන් වෙනවා.

මම උපත් පාලනයට විරුද්ධ වුණා

“උපත් පාලනය” කියන එක ඇහුණාම වඩියා ඒකට මුලින් විරුද්ධ වෙලා තිබුණා. නමුත් ඇයත් එක්ක හිටපු බොම්බායේ වෛද්‍යවරියක් ඉන්දියානු කාන්තාවන් ගැබ්ගැනීම සහ කිරි දෙන කාලය අතර මරණය එක්ක පොරබදන” බව පෙන්නලා දුන්නාට පස්සේ තමයි ඇයට එහි වැදගත්කම තේරිලා තියෙන්නේ.

අන්තිමට ඇය 1949 දී ඉන්දියානු පවුල් සැලසුම් සංගමය (FPAI) පිහිටුවන්න උදව් වුණා. ඒකේ අවුරුදු 34ක් පුරාවට ඇය නායකත්වය දැරුවා. උපත් පාලනයට අමතරව වන වගාව, මාර්ග සංවර්ධනය වගේ ව්‍යාපෘති පවා ඒක යටතේ සිද්ධ වුණා. මොකද, භජන් ගීත ගායනා වගේ නවමු සන්නිවේදන ක්‍රම භාවිතා කරලා, දුම්රියෙන් රට පුරා ගිහින් පවුල් සැලසුම් ප්‍රදර්ශන සංවිධානය කරලා එයාලා ගොඩක් ජනතාවගේ හදවත් දිනාගෙනයි තිබුණේ. කර්ණාටක ප්‍රාන්තයේ මලූර් හි ව්‍යාපෘතියකට කෙතරම් ජනතා සහයෝගයක් ලැබුණා ද කියනවා නම්, FPAI එක අයින් වුණාට පස්සේ ගමේ මිනිස්සු එහි කළමනාකාරීත්වය භාර අරගෙන වැඩ ටික කරගෙන ගිහින් තියෙනවා.

FPAI සංගමයෙන් උපත් පාලන ක්‍රම ප්‍රවර්ධනය කිරීම, සරු බව පිළිබඳ සේවා සැපයීම සිද්ධ වුණා. වඩියානුත් ගබ්සා වෙලා සහ දරුවන් නැතුව හිටපු නිසා සරු බව ගැන සේවාවන් සපයපු එක ගැන එයාට ලොකු තෘප්තියක් ලැබුණලු. වඩියාගේ උත්සාහය නිසා 1951-52 දී පවුල් සැලසුම් ප්‍රතිපත්ති නිල වශයෙන් ප්‍රවර්ධනය කරපු ලොව පළමු රජය බවට පත්වෙන්නත් ඉන්දියාවේ රජයට පුළුවන් වුණා.

බලෙන් උපත් පාලනය කරන්න බැහැ

හැබැයි 1975 සිට 1977 කාලෙදි පනවපු හදිසි තත්ත්වයකදි ඉන්දියානු රජය බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණය ඇතුළු කුරිරු ජනගහන පාලන ක්‍රියාමාර්ග අනුගමනය කරලා තිබුණා. ඒත් වඩියා ඒ වගේ බලහත්කාරයෙන් පවුල් සැලසුම් කිරීම හෙළා දකිමින් කිව්වේ, ඒක මිනිස්සු ස්වේච්ඡාවෙන් කරන්න ඕන දෙයක් කියලායි.

2000 දී, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පවුලකට දරුවන් දෙදෙනෙකු සිටිය යුතු බවත්, තෙවන දරුවාට ආහාර සලාක සහ නොමිලේ අධ්‍යාපනය නොදෙන බවට සම්මතයක් බලාත්මක කිරීමේ උත්සාහයක දී “මූලික මානව හිමිකම් උල්ලංඝණය වන නිසා බලෙන් උපත් පාලනය කරන්න දෙන්න බැහැ,” කියලා තියෙනවා. මොකද ඇයට ඒ වෙද්දිත් එහෙම බලෙන් දේවල් කරවන එකේ සාර්ථක කමක් නැති බව පෙනී ගිහිල්ලායි තිබුණේ.

එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ පරිපාලනය පවා එයාගේ වැඩවලට අකුල් හෙළලා තිබුණා. ඒකෙන් ඩොලර් මිලියන 17ක විතර අරමුදල් පවා ඔවුන්ට අහිමි වෙලා තිබුණා. කොහොමනමුත්, අවුරුදු 91ක් ජීවත් වෙලා 2015 ජූලි 11 ඒ කියන්නේ ඊයේ වගේ දවසක ජීවිතයෙන් සමුගත්තාට පස්සෙත් ඉන්දියාවේ අය ඇයගේ ගුණ සිහිපත් කරපු බවයි දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page