Categories
Technology

Spyware නවත්වන්න ඇපල් වලට Lockdown mode එකක්

මේ අවුරුද්ද අන්තිමට එන අලුත් OS update එකත් එක්ක සියලුම iPhone, iPads සහ Macs වලට Lockdown Mode එකක් ලැබෙනවා. Lockdown කිව්වාම මතක් වෙන්නේ කොරෝනා වුණාට මේක දෙන්නේ Spyware මෘදුකාංග වලින් ආරක්ෂා වෙන්නට යි.

අර්බුදය මොකක්ද?

මෑත කාලීනව ලෝකය පුරා සමාජ ක්‍රියාකාරීන්, දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් සතු ඇපල් උපාංගවලට Spyware, ඒ කියන්නේ ඔත්තු බැලීමේ මෘදුකාංග ආසාදනය වෙලා තියෙනවා.

Advertisement

ඒකට ඉහළම චෝදනා ලබලා ඉන්නේ ඊශ්‍රායලයේ Spyware මෘදුකාංග සමාගමක් වන NSO සමූහය යි. NSO එකෙන් හදපු Pegasus නමැති Spyware එකක් මේ වෙද්දි රටවල් 150කට අධික ප්‍රමාණයක් පැතිරිලා ගිහින් තියෙනවා.

එම මෘදුකාංගයට iPhone සහ Android උපාංග දෙකටම ආසාදනය වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔවුන්ට අපේ ෆෝන් එකේ ත‍ිබෙන මැසේජ්, ඡායාරූප සහ ඊමේල් ලබා ගන්න, Call record කරන්න වගේම, මයික්‍රොෆෝන සහ කැමරා පවා රහසිගතව සක්‍රිය කරන්නටත් ඉඩ ලැබෙනවා.

පසුගිය ජූලි මාසයේදී මේ ගැන හෙළි වුණාට පස්සේ පරිශීලකයින් ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් ඇපල් සමාගමට විවේචන ගොඩක් එල්ල වෙලා තියෙනවා. ඒ නිසා වසර ගණනාවක් තිස්සේ ඇපල් උපාංග සතුව තිබූ දුර්වලතාවයන් (Pegasus එක පාවිච්චියට අරන් තියෙන්නේ ඒවා) ඉවත් කරන්න ඉක්මනටම update එකක් දෙන්න ඇපල් සමාගම කටයුතු කරලා තියෙනවා.

Lockdown Mode එකෙන් මොනවද වෙන්නේ?

අලුතින් එන Lockdown Mode එකට දැනට පවතින සියලුම Spyware වලින් ආරක්ෂාව සලසන්න පුළුවන් කියලා තමයි ඇපල් සමාගම කියන්නේ. Device Settings වලට ගිහිල්ලා Lockdown mode එක activate කළාට පස්සේ,

  • මැසේජ්වල ඡායාරූප හැර අන් සියලුම මැසේජ් attachment යන එක නවතිනවා. Link preview වෙන එකත් නවතිනවා.
  • අපි අවසර දුන්නේ නැති හැම වෙබ් සයිට් එකකම ක්ෂණිකව ක්‍රියා කරන ජාවාස්ක්‍රිප්ට් ඇතුළු සංකීර්ණ වෙබ් තාක්ෂණයන් නවතා දමනවා.
  • පෙර සම්බන්ධ කර නොගත් අයගෙන් ලැබෙන ෆේස්ටයිම් ඇතුළු සියලු ඇමතුම් නවතිනවා.
  • iPhone එක ලොක් කර ඇති විට පරිගණක හෝ වෙනත් යමකින් වයර් හරහා දත්ත ලබා ගැනීමට තියෙන හැකියාව නවතිනවා.

අපි බය වෙන්න ඕනද?

“වැඩි දෙනෙක්ට ලොකු සයිබර් ප්‍රහාර එන්නේ නැතත්, පොඩි පිරිසක් හෝ රැකගන්න කළ හැකි හැම දෙයක්ම අපි කරනවා,” Apple හි ආරක්ෂක ඉංජිනේරු සහ නිර්මාණ අංශ ප්‍රධානී ඉවාන් ක්‍රස්ටික් විදෙස් මාධ්‍ය වලට කියලා තියෙනවා.

ඒ කියන්නේ, මර්දනකාරී පාලන තන්ත්‍රයක් යටතේ සිටින මාධ්‍යවේදීන්, විපක්ෂ නායකයෙක් වගේ ඉහළ පෙළේ කෙනෙක් මිස අපිට Spyware ගැන බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ඒ වගේ දෙයක් ගැන අපිට ඉවක් වැටුණොත් බේරෙන්න දැන් ක්‍රමයක් තියෙනවා.

NSO එකට නඩු දානවලු

ඇපල් සමාගම Spyware එකක් ආසාදනය කරවපු එකට NSO සමූහයට නඩු දාන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම, Pegasus එක පතුරුවන්න WhatsApp පාවිච්චි කරපු බව හෙළිදරව් වෙලා තියෙන නිසා Meta (කලින් ෆේස්බුක්) ආයතනයත් NSO එකට නඩු දාන බව තමයි දැනගන්න ලැබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page