Categories
Did You Know

ලොව IQ අගය ඉහළ බුද්ධිමතුන් 10ක්

Image: candid.technology

බුද්ධි මට්ටම මැනීමේ අගයක් වන IQ අගය මානසික සහ කාලානුක්‍රමික (chronological) වයස පදනම් කරගෙන ලබාදෙන්නක්. මෙම පරීක්ෂාවන් සඳහා මුහුණ දුන් බුද්ධිමතුන් බොහොමයක් ලකුණු 100ක පමණ අගයයක් ලබන අතර, ඉහළ අගයයන්ට හිමිකම් කියන්නට සමත් වන අය IQ අංක වලින් පමණක් නොව හැකියාවන්ගෙන් ද ලෝකයේ අවධානය දිනාගනු දකින්නට තිබෙනවා. ඇල්බට් අයින්ස්ටයින් පමණක් නොව, අපේ රටේ නිෂී උග්ගල්ල සිසුවියත් මේ ලැයිස්තුවේ ඉන්නවා.

ස්ටීවන් හෝකිං

බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයෙක්, භෞතික විද්‍යාඥයෙක් මෙන්ම ක්වන්ටම් විද්‍යාව, කළු කුහර වලින් විකිරණ නිකුත්වීම පිළිබඳ සිද්ධාන්තමය කරුණු ඉදිරිපත් කිරීම ආදියට ද නම් දැරූ ස්ටීවන් හෝකිං යනු, අයින්ස්ටයින්ට පසුව දකින්නට ලැබුණු අසහාය චරිතයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඔහුගේ IQ අගය 160ක් වුණා. සාමාන්‍ය ජීවිතයක් ගෙවූ ඔහුට 21වැනි වියේදී මොළයේ චාලක නියුරෝන ක්ෂයවී යාමේ රෝග තත්ත්වයක් ඇති බවට හඳුනාගැණුනා. 1942 එංගලන්තයේ දී උපන් ස්ටීවන් හෝකිං කේම්බ්‍රිජ් සරසවියෙන් තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කර, ඔක්ෆර්ඩ් සරසවියෙන් ස්වභාවික විද්‍යාව ද 1959 දී හදාරා තිබුණා. 1959 පමණ වන විට ඔහුට චාලක නියුරෝන ආබාධ තත්ත්වයක් ආ බවට හඳුනාගැණුනු අතර ක්‍ර්‍රම ක්‍රමයෙන් ඔහුට දේහ චලන සිදුකිරීමට අපහසු වුණා. ALS ලෙස හැඳින්වෙන මෙම රෝගය නිසා ක්‍රම ක්‍රමයෙන් ඔහුගේ පේශි මෙහෙයවීමේ හැකියාව ගිලිහුණු අතර අවසානයේ රෝද පුටුවක කල් ගෙවන්නට සිදුවුණා.

නමුත් ඔහු දිගින් දිගටම තමන්ගේ බුද්ධි මහිමය ලොවට හෙලිදරව් කරමින් එතෙක් විද්‍යාඥයන්ට සිතා ගන්නටවත් නොහැකිව සිටි දේ තම පර්යේෂණ හරහා එළිදැක්වූවා. මේ නිසාම, පරිගණක CPU නිෂ්පාදනයෙහි නම් දැරූ ඉන්ටෙල් ආයතනය, ලෙනෝවෝ ආයතනය එක්ව පර්මොබයිල් ආයතනය විසින් ලබාදී තිබුණු ඔහුගේ ඉලෙක්ට්‍රොනික රෝද පුටුවට පරිගණක පද්ධතියක් එක් කරන්නට තීරණය කළා. මේ නිසා ඔහුගේ ආබාධ තත්ත්වය යටතේදීත් දැනුමින් ලොව පෝෂණය කරන්නට ඔහුට අවස්ථාව හිමිවුණා. 2018 වර්ෂයේ මාර්තු 14දා එනම්, අයින්ස්ටයින්ගේ උපන්දිනය දවසේදී ඔහු මෙලොවින් සමුගත්තා.

ඇල්බට් අයින්ස්ටයින්

1879 මාර්තු 14දා උපන් අයින්ස්ටයින් ප්‍රාඥයාගේ හිස කුඩා කාලයේදී අව ප්‍රමාණව පිහිටා තිබීම ඔහුගේ දෙමව්පියන්ට කනස්සල්ලක් බවට පත් වුණා. ඔවුන්ගේ වෛද්‍යවරයා‍ ද මෙය රෝගයකැයි සැක පළ කළ නමුත් කෙටි කාලයක් යත්ම හිස සාමාන්‍ය ප්‍රමාණයට පැමි‍ණුනා. නමුත්, ඔහුට මානසික වශයෙන් රෝගී තත්ත්වයක් ඇති බවට තවදුරටත් දෙමව්පියන් සිතුවේ අවුරුදු 4ක් පහුවනතුරුත් ඔහු කතා නොකිරීම නිසා යි. දිනක් සියල්ලෝම පුදුමයට පත් කරමින් කුඩා අයින්ස්ටයින් “මේ සුප් එක හොඳටම උණු යි” කියා කීවා. සාමාන්‍යයෙන් බහ තෝරන වියෙහි ළමයෙක් මුල් වරට තනි වචනයක් අමාරුවෙන් ගෙතුවත් මොහු එක්වරම තේරුමක් සහිත සම්පූර්ණ වාක්‍යයක් ම කීම දෙමාපියන්‌ විමතියට පත් කළා. මෙතෙක් කල් කථා නොකළේ මන්දැයි ඔහුගෙන් විමසු විට කියා සිටියේ “මෙච්චර කාලයක් හැමදේම හොඳට සිද්ධ වුණා” කියා යි. කෙසේ නමුත් නව හැවිරිදි වන තෙක් ම ඔහුට කථන අපහසුතා තිබුණා. පසුකාලීනව විවාහ දිවියට එළැඹි අයින්ස්ටයින් තමන්ගේ බිරිඳට ගිවිසුම් පත්‍රයක් සකසා ලබා දුන්නා. එහි “මා කී විට ඔබ කතා කිරීම නැවැත්විය යුතුයි” ලෙස ද සඳහන්වූවා. බිරිය මේ දේවල් පිළිගත් නමුත් ඔවුන් අවසානයේ දික්කසාද වුණා.

සාපේක්ෂතාවාදය, ස්කන්ධ – ශක්ති තුල්‍යතාව, ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල නිර්මාතෘත්වයට සහ නොබෙල් ත්‍යාගයන්ට ද හිමිකම් කී ඔහුට 160ක IQ අගයක් තිබුණා. නමුත් නිතර අමතකවීම් වලට මුහුණ දුන් ඔහු වරක් දුම්රියේ ගමන් ගනිද්දී එක්වරම ටිකට් පත හැමතැනම සොයන්නට වුණා. මෙය දුටු ටිකට්පත් පරීක්ෂකවරයා ඔහුට නොමිලේ ගමන් කළාට කමක් නැතැයි පැවසූවත් ඔහු කියා සිටියේ “ස්තූතියි, ඒත් ටිකට් එක හොයාගත්තේ නැත්නම් මං යන්න හදන්නේ කොහෙටද කියලා මට බලාගන්න බැරිවෙනවා” කියා යි. ඔහු මෙලෙවින් සමුගනිද්දී 76 හැවිරිදි වූවා.

නිෂී උග්ගල්ල

දැනට බ්‍රිතාන්‍යයේ වෙසෙන ලංකාවේ පවුලක උපන් නිෂී මෑතකදී අයින්ස්ටයින් පමණක් ‍නොව, ස්ටීවන් හෝකිං ද පරදවා 162ක IQ අගයකට හිමිකම් කීවා. එංගලන්තයේ චැනල් 4 නාලිකාව මගින් පවත්වනු ලැබූ Child Genius නමැති රූපවාහිනී තරගාවලිය ජයග්‍රහණය කරන්නට නිෂී උග්ගල්ල සමත් වුණා. 13 හැවිරිදි ඇය අවුරුදු 3දී පටන්ම පොත පතට නැඹුරුවූ අතර, තවමත් නිදාගන්නට යද්දී තමන්ගේ අතේ පොතක් රඳවා ගන්නට අමතක කරන්නේ නැහැ. මහා බ්‍රිතාන්‍යයේ බුද්ධිමත් ම ළාබාලතමයන්ගේ ලැයිස්තුවේ ඉහළින් ම නම සටහන් කරගත් ඇය ‘මෙන්සා’ නම් බුද්ධිමතුන්ගේ සමාජයේ සාමාජිකත්වය වයස අවුරුදු දහයේදී ලබා ගත්තා. මෙන්සා සාමාජිකත්වය ලබාගැනීමේ පරීක්ෂණයෙන් සාමාන්‍යයෙන් කෙනෙක් ලබාගන්නේ ලකුණු 100ක් පමණ වුවත්, ඇය ලකුණු 162ක් ලබාගන්නට සමත් වූ අතර ඒ, එම පරීක්ෂණයෙන් ලබාගත හැකි උපරිම ලකුණු මට්ටම යි. එම ලකුණු ප්‍රමාණය ඇල්බට් අයින්ස්ටයින් ලබා ගත් ප්‍රමාණයටත් වඩා ලකුණු දෙකකින් වැඩි යි. ”‍මම මෙන්සා විභාගයෙන් ඇල්බට් අයින්ස්ටයින්ටත් වඩා වැඩියෙන් ලකුණු ගත්තාට ඒ ගැන මම ආඩම්බර වෙන්නේ නැහැ. මොකද ඇල්බට් අයින්ස්ටයින්ව ලෝකයට වැදගත් වෙන්නේ ඔහු සොයා ගැනීම් රැසක් කරපු පුද්ගලයෙක් නිසායි. අන්න ඒ තැනට එන්න මට තව ගොඩක් මහන්සි වෙන්න වෙනවා.”‍ නිෂී නිහතමානීව පවසනවා.

මැන්චෙස්ටර් හි උසස් පාසලක ඉගෙනුම ලබන ඇයට “මානව කැල්කියු‍ලේටරය” කියා මිතුරන් විහිළුවට කියන්නේ ඇය සතු ඉහළ ගණිත ගැටළු විසඳීමේ හැකියාව නිසාමයි. ඇය භෞතික විද්‍යාවට බොහොම කැමැත්තක් දක්වනවා. ස්ටීවන් හෝකිං විසින් කළු කුහර පිළිබඳව කළ ‍හෙළිදරව් කිරීම් සම්බන්ධ පොත් වැඩි වශයෙන් කියවා ඇති ඇය, මෙම තරගාවලියේදී වඩාත්ම ප්‍රියතම විෂයය ක්ෂේත්‍රය ලෙස තෝරාදී තිබුණේත් භෞතික විද්‍යාවේ කළු කුහර ගැන වූ සොයා ගැනිම් ගැනයි. අවසන් තරගයේ මුල් වටයේදී ලකුණු විස්සෙන් විස්ස ම ලබා ගැනීම නිෂීගේ ඉලක්කය වූ නමුත් ඈ අතින් සිදුවූ සුළු අතපසු විම් නිසා ඇයට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 16ක් පමණ යි. එහෙත් අවසන් තරග අවස්ථාවේදී මුලින් ම ලකුණු 10ක් සම්පූර්ණ කරමින් බුද්ධි කිරුළ දිනා ගැනීමට නිෂී සමත්කම් කීවා. “මම පොත් කියවන එක ම විතරක් නෙමෙයි කරන්නේ, මම සංගීතය කරනවා, යාළුවො ආශ්‍රය කරනවා. මට යාළුවෝ ගොඩක් ඉන්නවා. ජයග්‍රහණය ලැබුණු එකට මම සතුටු වෙන්නේ දේවල් කිහිපයක් නිසා. එකක්, මේක මම ම හදා ගත්ත මගේ ඉලක්කයක්. අනෙක් දේ තමයි මම කළු හමක් තියෙන ගැහැණු ළමයෙක්. මට දැනෙන විදියට ඒකත් විශේෂයි. මම කැමති මේ විදියට ම ධෛර්යයෙන් ඉස්සරහට ගිහින් අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට ම යන්න” නිෂී විදෙස් මාධ්‍ය වෙත පවසනවා.

යූඩිත් පෝල්ගෑර් (Judit Polgar)

1976දී උපත ලද යූඩිත් හංගේරියාවේ චෙස් ශූරියක්. ඇය මෙතෙක් බිහිවූ දක්ෂතම චෙස් ක්‍රීඩිකාව ලෙස සැලකෙනවා. 1991දී ඇය ග්‍රෑන්ඩ්මාස්ටර් යන පදවි නාමයට හිමිකම් කීවා. ඒ වන විට ඇයට අවුරුදු 15යි. මේ නිසාම ඇය එකල එම පදවිය දැරූ ලාබාලතම ක්‍රීඩිකාව බවට ද පත්වුණා.1989දී FIDE හෙවත් ලෝක චෙස් සංගමයේ හොඳම ක්‍රීඩකයන් 100 දෙනා අතරට ආ ඇය 55වැනි තැන රැඳී සිටියා. 2005දී ලෝක ශූරතා තරගාවලියකට සුදුසුකම් ලැබූ එකම කාන්තාව ඇය යි.

170ක IQ අගයකට හිමිකම් කියන යූඩිත් වසර අවුරුදු 5දී තමන්ගේ පවුලේ මිත්‍රයෙක් සමඟ චෙස් පුවරුව දෙස නොබලා ම ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කරන්නට සමත් වුණා. “ඔයා චෙස් වලට දක්ෂයි නේද! මම නම් දක්ෂ උයන්න” යැයි ප්‍රතිවාදියා පවසද්දී ඇය ඇසුවේ, “ඒත්, ඔබට ලිප දිහා නොබලා උයන්න පුළුවන් ද?” කියායි.

ෆිලිප් එමීග්වාලි (Philip Emeagwali)

නයිජීරියානු පරිගණක විද්‍යාඥයෙක් වන ෆිලිප් බොහෝ කාලයක සිට ඇමරිකාවේ තම ජීවිතය ගත කරනවා. තෙල් ආකර ආකෘතියක ගණනය කිරීම් සඳහා නැණවත් ගණිත ක්‍රමයක් භාවිතා කිරීම වෙනුවෙන් ඔහුට 1989දී ඩොලර් දහසක් වටිනා ගෝල්ඩන් බෙල් සම්මානය පුද කරනු ලැබුවා. 190ක IQ අගයක් ලද ඔහුට කුඩා කාලයේදී පාසල් ගමන ද අතරමඟ නවතා දමන්නට සිදුවුණේ 1967දී ඇතිවුණු නයිජීරියානු සිවිල් යුද්ධය නිසායි. අවුරුදු 13දී ඔහුට බටහිර අප්‍රිකාවේ බ්‍යෆ්රා හි යුද්ධ හමුදාවේ කටයුතු කරන්නට සිදුවුණා. යුද්ධයෙන් පසු ස්වයං අධ්‍යයනයන් කරමින් ඔහු පාසල් අධ්‍යාපනය අවසන් කළා. ලන්ඩන් සරසවියෙන් ලත් ශිෂ්‍යත්වයක් නිසා ඇමරිකාවට පැමිණ ඔරිගොන් ප්‍රාන්ත සරසවියෙන් 1977දී ආචාර්ය උපාධිය ලබාගන්නට ඔහු සමත් වුණා. 

ඊඩිත් ස්ටර්න් (Edith Stern)

1952 දී උපත ලැබූ ඊඩිත්ට උපතේ පටන්ම අපූරු හැකියාවන් තිබුණා. ඇයට මාස 11ක් පමණ වන විට කාඩ්පත් වලින් අදහස් සන්නිවේදනය කිරීමට හැකියාව තිබූ අතර අවුරුද්දක් පමණ වෙද්දී අකුරු හඳුනාගන්නටත්, අවුරුදු 2ක් වෙද්දී සම්පූර්ණ හෝඩියම කියවන්නටත් හැකියාව තිබුණේ පියා ලබා දුන් සහයෝගය නිසාමයි. නමුත් ඇගේ පියා IQ පරීක්ෂණ ගැන වැඩි සැලකිල්ලක් දැක්වූවේ නැහැ. පසුකාලීනව ඇයට IQ අගය 200ක් තරම් වූ ඉහළ මට්ටමක් තිබෙන බව හඳුනාගැණුනු අතර කුඩා කාලයේම ඊට පෙනී සිටියා නම් ඇයට ලෝක වාර්තාවක් තියන්නටත් අවස්ථාව තිබුණා. අවුරුදු 12දී පාසල් අරඹා වසර හතරකට පසු එහි ගුරුවරියක් ලෙස ත්‍රිකෝණමිතිය උගන්වන්නට ඇයට සමත් වූවා. දැනට ඇය ගණිතය විෂයයෙන් ආචාර්ය උපාධිය ලබා, ඉංජිනේරුවරියක් බවට පත්ව IBM ආයතනයේ සේවය කරනවා.

කිම් උන් යං (Kim Ung-yong)

1962දී දකුණු කොරියාවේ උපන් කිම් අවුරුද්දක් වයස වෙද්දීම කොරියානු හෝඩිය පමණක් නොව, 6වන සියවසේදී ලියැවුණු කාව්‍යයක් කියවා ඉගෙනීමට අපහසු චීන හෝඩියේ අකුරු 1000ක් පමණ උගනින්නට සමත් වුණා. කැල්කියුලස් නමැති ගණිත ක්‍රමයේ ගැටළු විසඳන්නට, ඉංග්‍රීසි හා ජර්මන් භාෂාවන්ගෙන් ලියූ හැමගේම ආදරයට පාත්‍ර වුණු කවි පොතක් පළ කළ ඔහු ආලේඛ්‍ය සහ චිත්‍ර නිර්මාණ වලට මහත් දක්ෂතාවක් දැක්වූවා. අවුරුදු 5 වන විට ඔහුට කොරියානු බස, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් සහ ජපන් යන භාෂාවන් හොඳින් හැසිරවීමේ හැකියාව තිබුණා. කුඩා කාලයේම තමන්ගේ 210ක IQ අගය නිසා ගිනස් පොතට ඇතුළු වන්නට ඔහුට අවස්ථාව උදා වුණා.

මැරිලින් වො සැවොන් (Marilyn Vos Savant)

ඉතාලිය, චෙකොස්ලෝවැකියාව, ජර්මනියේ මෙන්ම ඔස්ට්‍රියාවේ සම්භවයක් දැරූ මැරිලින් ජර්මානු දර්ශනවාදියකු වූ අර්න්ස්ට් මැක් ට ඥාතිකම් කියනවා. 1946දී උපත ලද මැය අමෙරිකානු තීරු ලේඛිකාවක්, රචකයෙක්, කථිකාචාර්යවරියක් මෙන්ම නාටක රචිකාවක් ලෙස තම රැකියාවේ හැකියාවන් ප්‍රදර්ශනය කළා. 1986 සිට 1989 දක්වා ඉහළතම IQ අගය වෙනුවෙන් ඇයව ගිනස් පොතට තෝරා ගැණුනා. ඇගේ IQ අගය 228 ක් වුණා. 

විලියම් ජේම්ස් සීඩිස් (William James Sidis)

1898 වර්ෂයේදී නිව් යෝර්ක් හි බුද්ධිමතුන්ගෙන් පිරි පවුලක උපත ලද විලියම් අවුරුදු 5ක් වත්දී ම ටයිප් රයිටරය පාවිච්චි කරන්නටත්; ලතින්, ග්‍රීක, රුසියානු, ප්‍රංශ, ජර්මන් සහ හීබෲ යන භාෂාවන් කථා කරන්නටත් සමත්කම් දැක්වූවා. අවුරුදු 6දී හාර්වර්ඩ් සරසවියට ඉල්ලුම් කළත්, ඉතා කුඩා බව සලකමින් එම අයැදුම නිෂ්ප්‍රභා කෙරුණා. නමුත්, අවුරුදු 11දී ඔහු සිව්මාණ භෞතික විද්‍යාව පිළිබඳව කළ දේශනයක් නිසාම ඊට ඇතුලත් කරගනු ලැබුවා. ඔහු කිසිදිනක ගැහැණු ළමයෙකු සිප ගෙන නැති බව පිළිගැනීම ඇතුළු විවිධ කාරණා මුල් කරගෙන මිතුරන් ඔහුව හාස්‍යයට ලක් කළා. එලෙස හාර්වර්ඩ් හි සිසුන්ගෙන් ඇතිවූ විවිධ ගැටළු නිසා විලියම්ගේ දෙමව්පියන්ට ඔහුව ඉන් ඉවත් කරගෙන, ටෙක්සාස් හි ගුරුවෘත්තියට යොදවන්නට සිදුවුණා. පසුකාලීනව ඔහු දේශපාලනයට ද යොමු වූ අතර අවුරුදු 46දී මෙලොවින් සමුගත්තේ 250ක IQ අගයකට හිමිකම් කියමින්.

අයිනන් සෙලෙස්තෙ කෝලි (Ainan Celeste Cawley)

ලැයිස්තුවේ ලාබාලතමයා වන අයිනන් 1999දී සිංගප්පූරුවේ උපන් දරුවෙක්. ඔහු ඉපදී සති දෙකකින්ම බහ තේරුවා. IQ ලකුණු ප්‍රමාණය 263ක් තරම් ඉතා ඉහළ අගයක් දරන ඔහු අවුරුදු 6දී දේශනයක් පවත්වමින් ලොව ලාබාලතම විද්‍යා ගුරුවරයා බවට පත්වන්නට සුදුසුකම් ලැබුවා. අවුරුදු 7දී ම සාමාන්‍ය පෙළ රසායන විද්‍යාව සමත් වූ ලොව ප්‍රථම පුද්ගලයා බවට පත් වුණා. අනතුරුව ඔහු අවුරුදු 8දී සිංගප්පූරුවේ පොලිටෙක්නික් අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරයෙක් බවටත් පත්වුණා. අයිනන්ට සංගීත නිර්මාණ හැකියාවන් තිබෙනවා විතරක් නෙ‍වෙයි; Pi අගය දශම සංඛ්‍යා අගයයන් 518ක් දක්වා කියන්නටත් සමර්ථයි!

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.