Categories
Lifetime Meme

ඒ/ලැ වළේ අඩක සිට

“A/L වනාහි සැවොම විඳිය යුතු හා බහුතරයක් විඳින ජීවිතයේ සුන්දර ම අවධියයි. සරසවිය ගැන වර්ණනා කළවුන් එක්ක සැසඳුවා ම මෙයත් එවන් ම විවිධාකාර අත්දැකීම් සමුදායකින් යුතු අගනා කාල පරිච්ඡේදයක්.“

කියලා මං කවදාහරි කිව්වොත් ඔබ මට

එවෙලේ ම කණට ගසන්නට ඕනෑ ය! 🙂
O/Lය කියා අවුරුදු හතර පහක් ලොකු කොරගෙන හිටිය ඒ පිදුරුතලාගලේ හැටි මං දැනගත්තෙ මේ A/L කියන මහාමේරුව නගින්ට පටන් ගත්තැයිං පස්සේ ය! 😛

ඒ කාලේ හැම වැඩිහිටියා ම කිව්වෙ, පුතේ මේ කාලෙ හොඳට පාඩම් කරන්න; O/L ඉවරවෙලා ඕන පිස්සුවක් නටන්ට අවුරුද්දක් ම තියෙනවාය කියලා. 😀 මාත් (කිව්වට හැමෝම) ඉතිං අහුවුණා නෙව ඔය කතාවට. ෆුල් ඩම් එක දාලා ඒ මගුලත් අමාරුවෙන් ගොඩ දාගෙන උඩ පනින්න උනේ සතියයි නැත්නං දෙකයි. ඕං.. පචං ගච්චා ඒ… ලැවැල් කැලෑසි.

මොකක් උනත් ගුරුවරුනේ.. කියලා කට, අතපය ශික්සනේ කොරගෙන හිටියාට ඒ කාලෙ එතුමන්ලා කියූ “O/L වලින් පස්සෙ බැරිය ඔය කෙල්ලෙක් දාගන්ට!“ (ඇත්තම කිව්වොත් ඒ උණ නම් මට වෙලාවට ඒ කාලෙ තිබ්බෙ නෑ. හේ..! දැනුත් නෑ හරිය? 😉 ) … “ඊළඟ අවුරුද්දෙ ම බැරියෑ ඔය ICT වැඩ කරන්ට.“ … “ඕලෙවල් කියන්නෙ පුතා; තොටිලි වැට වගේ එකක්. ඒක පැනගන්න. පස්සෙ බැරිය ඕනෙ තරං ටීවී, කාටූන් බලන්න!?“. 😛 මට දැන් මේවා මතක් වෙනකොට පැනලා දුවන්ට හිතෙනවා, හෙනහුරාගෙනුත් එහාට ම! 🙁

දොස් තොර කොරගන්ට කියලා හිතුණ හින්දයි, මව්පියන්ගෙ වදේටයි; ඈ ලැවැල් ඇප්ලිකෑසං එකට මම “ජීව විද්‍යාව“ යැයි ලීවෙමි. වෙන එකක් ඉතිං මට ඇත්තට ම ලියන්නට තිබ්බේ ද නැත. 😉 මොකද කොච්චර සමානාත්මතාවය ගැන කතා කළත් බයෝ, මැත්ස් කාරයින්ට වඩා අනිත් ඒවා දිහෑ සමාජය බලන්නෙ ෆහත් කරලා නෙවැ? 🙁 (මටනං ඔය ඕ..ක්කොම එකයි!) මං ඉතිං ඔය ගණන්කාරයෙකුත් නොවන හින්දා ඔන්න ඉතිං (බයෙන්) බයෝ කරන්ට ගියෙමි.

පාසල් පටන්ගන්නත් පෙරසිට ම මා නිතර පාසලට ගොස් IT වැඩවල නිරතවුණෙමි. ඒ දිනවල පාසලේ ප්‍රධාන මාධ්‍යවේදියා උනේ මම. කොහේ මොකක් තිබුණත් කැමරාවකුත් උස්සං මං අයිනක. 😉 ඉස්කෝලෙ සැයිට් එකත් දිනපතා යාවත්කාලීන කළෙමි. ඇතිවෙනකම් රෑ දිවා නොබලා වැඩ කළෙමි. අනන්තවත් බැණුම් ද ඇසීමි.

වහෙං ඔරෝ ඕනෑ නැත. මට ඒ කාලේ එතරම් ගුරුතුමන්ලා සහ සිලbus එක ගැන අවබෝධයක් නැති නිසා (තාමත් නෑ 😉 ) සහ මාවතේ දුටු බෝඩ් එකක් නිසා මුලින් Bioවලට එක්තරා ගුරුතුමෙක්ගේ මල්වත්තකට පැන්නෙමි. මාස දෙක තුනක් ගියාට පස්සෙ අර පත්තරේ ආන්දෝලනාත්මක ලිපිය සහ කරුණු කාරණා ලාවට වගේ තේරිලා තිබුණු නිසා එතනින් ඉවත්ව HAPපුනෙමි.

පිකිස් කියන්නේ මට නම් එහෙම්පිටින් ම නැලැවිලි ගීයකි. මට මේක කොයි ගුරුතුමා ගැයුවත් හිස ගුරුත්වජත්‍වරණයට හසුවීම වළක්වාගන්නට ම බැරිය. 😀 (ගණං පිසික්ස් තමයි.. මගෙ හිතට වදේ..) මෙයට ද මුලින් අපේ පාසලේ ම ගුරුතුමෙකුගේ සරණ පතා ගියෙමි. එතුමාට ඇති අධික ඉල්ලුම (සහ එතුමාට කැලෑසිය ලොකු කරන්ට ඕනෑ නැතිකම) නිසා මා බොහෝ දිනවලදී ඉතා අඵාසුවෙන් සර්කස් ඉරියව්වලින් හිටිය හැටි මතක් වෙනකොට දුකේ බැරිය. 🙁 මට සාමාන්‍යෙයන් කොහේ හිටියත් අතපය දිගෑරගෙන ඉන්නට ඕනෑය. (අනික.. නැලැවෙන කොට හොඳට ඉඩකඩ ඕනිනෙ?! 😉 ) ඒකටත් සමුදීලා ඉතින් LOLවුනෙමි.

කැමිස්ට්‍රි වලට ද උනේ ද ඔය ටිකම ය. දැක්මක් හදාගන්න එක පැත්තකට දාලා මං අළුතෙන් හදපු ශාලාවට (අපි ඉපදෙන්නත් කලින් ද කොහෙද. 😉 ) ගියෙමි.

2011 දෙසැම්බරයේ අග භාගයේ සිට වැටුණූ මේ “වළෙන් ගොඩ එන්ට ඕනෑ වළ කටින්ම ය“ කියලා කවුද කටකහනවාට කියලා තියෙනවා අසා ඇත්තෙමි. ඒ උනාට මට නම් දැන් පෙනීයන ලෙසට මේ වළ හැමෝ ම අපිට හාර හාරා දෙනවා මිස එල්ලෙන්ට කොහිල කටුවක්වත් දෙන්නේ නැත.

මේ ‘වළ‘ කතාවේ සමාරම්භය සනිටුහන් වන්නේ 12 වසර සඳහා පාසල ආරම්භවූ දවසේ සිටය. කොට කලිසමෙන් දිග කලිසමට මාරුඋන දවසේ දැණුනු සතුටට වඩා වැඩි (ස‍්වයං) වින්දනයක් එකල “දැන් පාසලේ ලොකු ම එවුන් වන්නට ඉන්නේ අපියැ“ කියමින් ලැබුවෙමු. 🙂 ඒ දිනවල ම මා රපොර්තු කරගත් පරිදි පොඩි පන්තිවල ටීචර්ලා, සර්ලාට වැඩිය එහෙම් පිටින් ම උසස් පෙළ ගුරුතුමෝ සම්පූර්ණයෙන් ම වෙනස්ය. (වාසනාවට දැන්නම් එහෙම දැනෙන්නෙ නෑ. ෂේප්) Chemicals වලටය කියලා හෙන ගානකුත් ගෙවලා අපි පාසලට නැවත ඇතුළුවුණෙමු. අළුතින් ආ දරුවන්ගෙන් ද ඊට වඩා අයකොට තිබිණි. ඔන්න ඉතිං කොහොමහරි පන්තියෙ කට්ටිය ම සැට් උනැයි කියමුකො. 😉

සාමාන්‍ය පෙළ කාලෙ මාත් එක්ක හිටපු ඔක්කොම අඹ යාළුවො ටික Maths කරන්න ගිහිල්ලා. හෝව්! මේ කතාව අස්සෙ මට තව කතාවක් කියන්ට හිතුණා. දන්නවද ඔය “අඹ යාළුවෝ“ කියන එකේ තේරුම? “අඹ“ කියන්නෙ ජලයට නෙව. ඉතින් කවදාවත් වෙන්කරන්න බෑ කියන අදහසින් එහෙම කියන්නෙ. ඒ වුණාට මගේ පුංචි හිතේ පැණයක් තියෙනවා. ජලය ද්‍රව අවස්ථාවේ තියෙනකම් වෙන් කරන්න බැරි උනාට ඝන අවස්ථාවෙදි; ඒ කිව්වෙ අයිස් කඩලා වෙන් කරන්නට පුළුවන්නෙ? මං මෙහෙම යෝජනා කරන්නම්. ස.උ.පී. හිදී අඹ යාළුවෝ කිව්වානම් කතාව ශේප්. (සම්මත උෂ්ණත්‍ව පීඩනය) 😀

ඉතිං මං විතරයි බයෝ වලට අපේ සැට් එකෙන් ඉතුරුවෙලා හිටියෙ. සංසාරෙ එපා වෙනවා. මං පන්තියෙ කොනක් අල්ලගෙන තනිකඩ ජීවිතයක් පටන්ගත්තා. අළුතෙන් ආපු ළමයි අඳුරන්නෙත් නෑ සහ නම් දන්නෙත් නැති නිසා “තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්“ කියලා අයින්-ගැසීමි. 🙁 ඒ දිනවලත් පරණ පුරුද්දට අයිටී යුනිට් එකට ගොසින් මා හිත හදාගතිමි. ඇත්තම කිව්වොත් මගේ පාසලේ-නිවහන වූයේ එතැනය. ඒ අස්සේ සැන්ටෝ ද බිහිවී සිටි නිසා තත්වය තවත් නරක් විණි. මට මිතුරන් තෝරා-බේරාගන්න අන්තර්-දැල ද මදිවිණි. 🙂 හැබැයි ඒ පුරස්නය මාස කීපයකින් ඉබේ ම විසැඳිණි. වෙනත් පන්තියත දරුවෙක් මා සොයාවිත්, මා හා මිතුරුවැ හිඳ, පසුව අපේ පන්තියට ද පැමිණ මේ මොහොතේ මගේ හොඳ ම මිතුරා ද වී සිටින්නේ ය. කඳබඩින් සරු අළුතෙන් ආ අපේ පන්තියේ සිටි දරුවෙක් ද ඊට සබැඳිණි. මුන් දෙන්නා ගැන ලියනවා නම් මට වෙන ම පෝස්ට් එකක් දාන්ට වෙනවා ය! 😛 ඔය අස්සේ අපේ පාසලෙන් ගොඩක් ගුරුතුමන්ලා හා ගුරුතුමීන් විශ්‍රාම ගියහ.

ගෙවුණු අඩවසර ගැන කතා කරද්දී ‘වාර්ෂික දින‘ ගැන කතා නොකර ම බැරිය. බොහෝ පාසල්වලට කිහිපවාරයක් විවිධාකාර දිනයන්ට සහභාගීවී මා ඉන් මහත් වින්දනයක් ලැබීමි. ඒවා ගැන බ්ලොග් පෝස්ට් දැමීමෙන් ලැබුණු අනේකවිධ ප්‍රතිචාරයන්ගෙන් මානසික සුවයක් ද ලැබීමි. ඒ අතර එක්තරා බාලිකා පාසලක් ළඟින් ගියොත් මට හොඳටෝ ම ගුටිකන්නට වන බව ද හැමෝම කීහ. 😀 අනිකුත් දිනවලට සහභාගී වෙනවා වගේ ම අපේ ඉස්කෝලෙ අයිටී ඩේ එක ද සංවිධානය කිරීමෙන් මා ‘දින‘ පිළිබඳ මහාචාර්ය උපාධිය ද ගැසුවෙමි. 😉 ඒ උනාට දැන්නං මට Days තිත්තවී තිබේ. (කිව්වට.. තා එක අහක යන්ට තියෙනවා 😉 😀 )

ඕවා අස්සේ විදුහල්පතිතුමා දෙමාපිය රැස්වීමක් අරං මගේ වාරෙ ආවා ම වස නෝන්ඩියකුත් සභාව මැදදි ම දීලා, මව්තුමීට කිව්වා වැඩිය කම්පියුටරේ දමාගෙන ඉන්න දෙන්ට එපාය කියලා. 😛 (කන්න දෙන්න එපා කිව්වනම් මීට හොඳයි සර්. 🙁 )

මගේ වාසනාවට e-Learning කියලා එකක් තිබුණෙ. 😀

අපේ දෙවැනි ඉංගිරීසි ගුරුතුමීට ද උසස් පෙළ පන්ති එපා කරවන්නට අපේ එවුන් හරි ම දස්සයෝ වූහ. “ටීච එනවා දැකීම“ නමැති සංවේදනයට මොවුන් ප්‍රතිචාර දක්වන්නේ “ලැයිබ්‍රි යෑම“ නමැති ප්‍රතීක ක්‍රියාවෙනි. මෙය අනිච්ඡානුග ය. 😛 මොන ක්‍රමය අනුගමනය කළත් මේක නවත්වන්නට බැරිනිසා එතුමිත් දැන් පන්තියට එන්නේ නැත! 😮

ඕලැවැල් කාලයේ පවුල් පන්සල් වුණූ මිනිස්සුන්ට අරක මේක කියකියා විහිළු කොළාට ඔය වැඩේටත් උපාධියක් ගන්ට ඕනෑය කියලා තේරුණේ මේ වළට වැටුණායින් පස්සේ ය. දැන් ද ඕවා කොරන උන්දෑලාත් නැතිවෙලා අඬන උන්දෑලාත් පදින උන්දෑලාත් අතරටවී මා අතරමංවී සිටින්නෙමි.

ප්‍රැක්ටිකල් කොරන්න ලැබ් එකට ගියා ම නම් මට H2SO4 බෝතලේ බීගෙන බීගෙන (ආ! එතනෝල් උනත් ඉතිං… නාකම නෑ 😀 😉 ) යන්ට හිතෙනවා ය. දන්නා එවුන් දඩබඩ ගා ෆ්‍රැක්ටිකැල් කරගෙන කරගෙන යති. මට හරියට බලාගන්නවත් වෙන්නෙ නෑ! ඒ අස්සෙ තව සැට් එකක් ලැබ් සහායකවරීත් එක්ක මල් කඩති. තා එවුං යතුරු කැරැලි බිම දමා වීදුරු කුඩු කරනවා වගේ ගුරුතුමීත්, ලැබ්අක්කාත් බය කරති. 😀 තවත් එකෙක් දෙවුම් බෝතලය උස්සාගෙන එහේ මෙහේ හැංගෙමින් පරීක්සන කොරනවුන්ගේ සාක්කු (aq) කරති. බයෝ ප්‍රැක්ටිකල් ගැන නං කතා කරලා ම වැඩක් නැත. ලැබ් එකේ ෆෝමලීන් ගඳින් නාසායතනය ෆෝම්වන නිසා මා වැඩිවේලාවක් එහිනම් රැඳෙන්නේ නැත. පිකිස්නුත් අනිත් එවුන් කරන ඒවා මං පැත්තකට වී බලා හිඳින්නෙමි. හැබැයි දෝලනකාලාවර්ත බලන අවලම්-බ-ට්ටන්, සරසුල, විරාම ඝටිකාව (පරීක්ෂණේට සුදුසුදැයි 😉 ) පරීක්සා කොරන්නේ මම ය! 😀

මේ තියෙන ඒවා මදිවට Project එකක් කොරන්නට ද තිබේ. කරනවානං බොරු නොකර ලෝකෙට දැනෙන්න දෙයක් කරපල්ලායි අපේ උන්ට මං බුද්දටෝක් දිදී හිටියට මොකක් කොරනවද කියලා මට තාම කල්පනා උනේ නෑ. 😛

ඉතින්.. තවත් අඩ වසරක් මේ ජීවිතය ගෙවන්නට ඉතිරිවැ තිබේ. Revision නමැති වස කෝප්පය ද දැන් හදිසියේ ම බොන්නට සිදුවී තිබේ. උපදෙස් දෙන වැඩිහිටයන්ගේ වචනවලින් ම කියනවා නම්, “ඒ පැත්ත බලා මේ පැත්ත බලනකොට ඔය අවුරුද්ද යයි!“. සරසවි ජීවිතයේ රසවත් කතා ද බොහෝ අය කියති. ඒ උනාට මට දැන්නං ඒ කතා ද විස්වාස නැතිය. මේ දිවියෙන් මා හතිවැටී සිටින්නෙමි. ඔය කෙටිකතාකාරයන් කියන්නට වගේ මෙය ලීවාට පසු මා මියැදෙන එකක් නම් නැහැ. හැබැයි හෙට මා වගේ ම තවත් එකෙක් මේ වළට වැටෙනු ඇත. Z ආකාර දඬුවලින් සෑදූ තෙවරක් පමණක් නැගිය හැකි ඒ කර්කෂ ඉනිමගෙහි නගින්නට ඔහු ද වෙර දරනු ඇත.

ඒ උනාට ඉතිං මොන මගුල හරි කොරලා විභාගෙ ගොඩ දාගන්නට ඕනෑය! (විභාගය මිස, මා නොවේ) 😀

By Thambaru Wijesekara

4 replies on “ඒ/ලැ වළේ අඩක සිට”

මමත් පොඩි උපදෙසක්‌ දෙන්නම්…
“A/L හොදට කරගන්න එක තමයි අමාරු… කැම්පස් ගියාම ඒ අවරුදු හතර ඔහේ ගෙවිල යනව…. fun එකේ ඉන්න තියෙන්නෙ…. ” කියල ඔය උපදෙස් දෙන කවුරු හරි කිව්වොත්, මාව විශ්වාස කරල, ඒ වෙලාවෙම කියපු කෙනාගෙ හොම්බට දෙකක් අනින්න…

එතකොට පසු කාලීනව “මාත් (කිව්වට හැමෝම) ඉතිං අහුවුණා නෙව ඔය කතාවට….” කියල පසුතැවිල්ලක් ඉතුරු වෙන එකක් නෑ….. ලොල් …. 🙂

enjoy reading your blog. Good luck for your Exam !!!

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.