Categories
Lifetime

මිනිස්සු කරන, මට නොතේරෙන දේවල්

ජීවත් වෙන්න එහෙමත් නැත්නම් Survive වෙන්න නම් ජීවි‍තේට එන අභියෝගවලට මුහුණ දෙන්න ඕන. ඒ වුණාට කරුමේ කියන්නේ ඔය මිනිස්සු කරන සමහර දේවල් මට තේරෙන්නේම නැත. බලන්න මේ දේවල් ඔහෙලා‍ටත් එහෙමද කියලා?

අතින් කරන සංඥාවල්

පාර එහා පැත්තේ ඉඳගෙන හූවක් කිව්වත් ඇහෙන්නෙ නැති තරම් දුර ඉඳන් ළඟට එන්න කම්මැලිකමට අත එහාට වනනවා, මූණ වටේ ගෙනියනවා, ඇඟිල්ල දික් කර කර මොනාද පෙන්නනවා.. උන් මොන මංගල්ලයක් කියනවද කියලා දන්නේ උඩ ඉන්න දෙයියො තමයි! සමහරවිට දෙයියොත් දුර ඉන්න නිසා තේරෙන්නෙ නැතුව ඇති.

මොකක්ද….? මොකක්ද…..? ගගා ඉතින් මං මෙහා කොණේ ඉඳන් අහන්න ඕන. උනුත් ආයෙ ඇඟිලි උරුක් කර කර තොල් එහා මෙහා කරනවා. අර පටාචාරා කතාවෙත් තියෙනවා නේද අම්මා රාජාලියෙක් එළවද්දි මෙහා පැත්තෙ හිටපු පුතා, අම්මා කතා කරනවා කියලා හිතාගෙන වතුරට බැහැපු? ඒ මගේ කලින් ආත්මේ. 😂

ප්‍රශ්නෙ කියන්නේ මේවා මට නොතේරුණාට අගේට තේරුම් අරගෙන වැඩ කරන අය ඉන්න එක!

ගැටගහන ක්‍රම

මොකක් හරි අල්ලලා ගැටයක් ගහන්න කිව්වාම, මං ඉතින් ඒ කොණයි මේ කොණයි අල්ලලා එහාට මෙහෙට අඹරලා ආයෙ සක්කරයාටවත් ගලවන්න බැරිවෙන්න ගැටේ ගහනවා. එතකොට එක පටක් දිග වැඩියි, ඒපාර කොණ කපනවා (ලණුවෙ යකෝ). එතකොට බලන් ඉන්න උන් කියනවා අයියෝ ඔහොම නෙවෙයි අදින හර ගැටේ ගහන්නලු සමනල ගැටේ ගහන්නලු. මට එතකොට හිතෙනවා මගේ වල් ගැටේකින් උන්ගෙ කට ගැටගහන්න.

කොටින්ම කියනවා නම්, ඉස්කෝලෙ යන කාලෙ අර වෙල්ක්‍රෝ සපත්තුමයි ගත්තේ ඔය මගුල ලි‍හෙන ලිහෙන පාරට ගැටගහන්න බැරි නිසා. 2 වසරෙදි විතර කොහොමහරි නීතියක් ආවා, ළමයි ගැටගහන්න දන්නැති නිසා ඒ ජාතියෙ ඒවා ගන්න එපා කියලා. මගේ වාසනාවට මගේ හොඳම යාළුවා සමනල ගැටේ දන්නවා. ඉතින් මගේ ලිහෙන ලිහෙන වාරයක් ගාණේ පොරට හැමතිස්සෙම දණ ගහන්න වෙනවා. (සමනල කතාවක් එක්ක දණ ගහනවා කිව්වාම හිනා වෙන උන්ට ගහනවා ගැටයක් මොනවත් කරගන්න බැරිවෙන්න 😡)

කොහොමහරි ඉතින්, ජීවිතේ ගැටගහගන්නවා කියන එකට ඕන ගැටේ මොකක්ද කියලා තාම හොයනවා කියහං‍කො. (මොකද ඕවා අපිට උපතින් ඇත්තෙත් නැහැනෙ.)

අඩු මිලට එළවළු ගන්න එක

ගෙදරින් එළවළු මොනවාහරි ගේන්න කිව්වාම ගේනවට වඩා අමාරුයි ආවාට පස්සෙ කියන කතා ටික අහන එක. මං ඉතින් ලේසියට සුපර් මාර්කට් එකකින් පොෂ් එකා වගේ ගෙනාවාම අයියෝ මෙච්චර ගණන්ද! අහවල් කඩේට ගියානං කිලෝව මෙච්චරයි ගගා ගණන් කියනවා.

ගොඩක් අයට දැනට රටේ තියෙන එළවළු, මාළු මිල ගැන අවබෝධයක් තියෙනවා. ඒ වුණාට කිලෝවෙ ගාණ කිව්වාම 250 ගාණ හදාගන්නත් මට හැට පැයක් යනවා. ඇයි යකෝ ගන්න ප්‍රමාණෙම ගාණ එකපාර කඩවල්වල උන්ට කියන්න බැරි හැටි! අපි ඉතින් කැල්කියුටර් කරගහං යන්න ඕන.

අනික පොළකින් එහෙම ගන්න ගියාම අපි වේගෙන් ඕන දේවල් කියන්නත් ඕන. ඊට වඩා ලේසි නැද්ද සුපර් මාර්කට් එකෙන් නිදහසේ වරුවක් විතර එළවළුට කොහොමද මේ වගේ හැඩයක් ආවේ කියලා අතගගා ඉඳලා අරගෙන එන එක? එළවළු තෝරන හැටි එක ගැන නම් අපි කතා නොකරම ඉමු. බණ්ඩක්කා නම් නැට්ට නවන්න ඕනලු, තිත් නැති වෙන්න ඕනලු. මොන ලබ්බක්ද! ලබු තෝරන්නවත් මං දන්නෑ.

උයන ක්‍රම

මේකට නම් මං හිතන්නෙ ගොඩක් අයට relate වෙන්න පුළුවන් වේවි. ගෙදර කොහොමහරි කෑමක් අටවා ගත්තට, කොහේහරි ගිහිල්ලා උයන්න වෙලා තියෙනවා නම්, වටේ ඉන්න උන් කියන කතාවලට උන්ව පෙති කපලා උයන්න හිතිලා ඇති. ඇයි, ඔන්න අහනවා කෝ කෑලි මිරිස් දාන්නෙ කෑම එක බාන්න කිට්ටු වෙලා නෙවෙයිද, අයියෝ මේ ජාතියෙ පොල් ගාන මැසිමක්ද තියෙන්නේ, පොල්කිරිවලට ඔච්චර වතුර දානවද වගේ ප්‍රශ්න ගොඩයි.

වැඩිය ඕන නෑ, අපි ‍ට්‍රිප් එකක් ගිය වෙලාවක අපේ යෙහෙළියක් එයාගෙ බබාට සමපෝෂ හදද්දි ඇල්වතුර දානවා. මං දන්න ක්‍රමේට මං උණු වතුරනේ දාන්නෙ. ඉතින් ඕක ඇහුවාම උන්දැ රවලා බැලුවා බැලිල්ලක්.. මගේ ඇඟ‍ේ ලේ ටිකත් ඇල්වතුර වෙලා ගියා. සාධාරණයි ඉතින් 😆

නොදන්න අය එක්ක කතා කරන එක

ජීවිතේට නොදැක්ක එකෙක් හම්බෙනවා හරිද. ඌ එක්ක අහවල් මගුලක් කතා කරන්නද මෙලෝ දෙයක් නොදැන. අනික දැන් තියෙන ෆෙමිනිස්ට් ද ජෙන්ඩර් ද අරකයි මේකයි නිසා assumptionවලට එළඹුණ විධියෙ ප්‍රශ්නයක් එළියට පැන්නොත් ආයෙ රෙදිත් නෑ. අනික පොඩි කාලෙත් මොකක්ද උගන්නලා තියෙන්නේ? අඳුරන අය එක්ක කතාවට යන්න එපා.

ඒ වුණාට බලහංකො සමහර උන් කිසි ගාණක් නෑ. අම්මෝ නොදන්න එකෙක් ඉන්නම ඕන කච-කච ගාන්න. ඒක නම් සිරාම හැකියාවක්. හැබැයි අපි එක්ක කතාවට ආවාම සමහර උන් මළ වාතයි. ඇයි ඉතින් උගේ අම්මා මුත්තාගෙ ඉඳලම වරුණාව පටන් ගන්නවනේ. අන්තිමට මං ගැලවෙන්න ක්‍රම දන්නෙත් නෑ. ඌටම හිතිලා යනකම් අහං ඉන්නවා. ඇයි, බොරු හේතුවක් කියලා උගෙ හිත රිදුනොත් ඒකටත් අවුල්.

දැන් ඉතින් කියාවි අයියෝ කතා කරන එක මොකක්ද, හායි කියන්න විතරයි තියෙන්නේ ඊට පස්සේ කතාව ඉබේම ඇදෙනවා කියලා. ආන්න එහෙම උන් දැන් ෆේස්බුක් එකේ කෙල්ලෙක්ට හායි කියලා බලාපල්ලා. බායි!

By Thambaru Wijesekara

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.