දියවැඩියාව කියන්නේ අග්න්‍යාශයට ඉන්සියුලින් නිපදවීමට නොහැකි වුණාම හෝ නිපදවෙන ඉන්සියුලින් ශරීරයේ නිසි ලෙස පාවිච්චි කරන්න නොහැකි වුණාම ඇතිවන නිදන්ගත රෝගයක්. ඉන්සියුලින් කියන්නේ අග්න්‍යාශය තුළ නිපදවෙන හෝමෝනයක්. එය කාබෝහයිඩ්‍රේටමය ආහාරවල තිබෙන ග්ලූකෝස්; ශක්තිය බවට පත් කරගන්නට උදව් වෙනවා.
අපි කාබෝහයිඩ්‍රේට් අඩංගු බත්, පාන්, බේකරි කෑම වගේ දේවල් කෑවාම ඒවා ග්ලූකෝස් බවට පත්වෙලා කුඩා අන්ත්‍රයේදි රුධිරයට එකතු වෙනවා. ඒ විදියට එකතු වුණු ග්ලූකෝස්, සෛලවලට අවශෝෂණය කරගන්න ඉන්සියුලින් උපකාර වෙනවා. ඒ වගේම, ඉන්සියුලින් වලින් මේ අවශෝෂණය වෙන ප්‍රමාණය පාලනය කරන්නත් දායක වෙනවා. රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි නම්, තත්ත්වය යාමනය වෙනකම් ඒවා අක්මාවේ රඳවා ගන්නට ඉන්සියුලින් සංඥා කරනවා. මේ පාලනය හරියට සිදුවෙන්නේ නැති වුණාම, ඒ කියන්නේ දියවැඩියා තත්ත්වයකදී, සෛලවලට අධික ලෙස ග්ලූකෝස් ඇතුළු වෙලා ඉන්ද්‍රියවලට හානි වෙනවා. අන්න ඒ නිසා එය පාලනය කරගන්න පුළුවන් කෑම වර්ග ආහාර වේලට එකතු කරගන්න අපි පුරුදු වෙන එක අත්‍යාවශ්‍යයි.
Type-1 සහ Type-2 ලෙස බහුල දියවැඩියා ආකාර දෙකක් තිබෙනවා. පළමු එකේදි වෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටළු නිසා එය අග්න්‍යාශයේ තිබෙන ඉන්සියුලින් නිපදවන සෛල විනාශ කරන එකයි. එතකොට ඉන්සියුලින් නිපදවෙන්නේ නැහැ. බොහෝ විට තරුණ වියේදී මෙය ඇතිවෙලා, මැදිවිය වෙද්දි වැඩි වෙන්න පුළුවන්. දෙවන ආකාරයේදි වෙන්නේ අධික ලෙස සීනි සහිත ආහාර අරගෙන පුරුදු වෙලා ඉන්සියුලින් පාලනයට අනුගත වෙන්න දේහය මැළි වෙන එකයි. එතකොට වැඩි වැඩියෙන් ඉන්සියුලින් අවශ්‍ය වෙනවා. මෙය ඕනෑම වයසකදි වෙන්න පුළුවන්. ඒත් වැඩිපුරම දකින්නට ලැබෙන්නේ වයසක අයගේයි.
මේවාට අමතරව ගර්භිණී දියවැඩියාව කියලා එකක් තියෙනවා. නමින් කියැවෙනවා වගේම එය ගර්භණී කාලයේ මවටත් දරුවාටත් බලපාන තාවකාලික තත්ත්වයක්.