Categories
Short Stories

තාප්පය [කෙටි කථාව]

කෙතරම් වේලාවක් හිස මේසයට ඔබාගෙන සිටියාදැයි මට කල්පනාවක් නැත. පියන්ගේ හඬට එකවර හිස එසවීම නිසා බමන ගතියක් දැනුණු නමුදු එය නොපෙන්වා මම පුටු ඇන්දට හේත්තු වුණෙමි.

මහත්තයා, මේක ඉක්මණට අත්සන් කරගෙන එන්න කියලා ලොකු මහත්තයා කිව්වා.”

සති ගණනකට කළයුතු වැඩ මගේ මේසය මත ගොඩ ගැසී ඇත. ‘යනකොටසට වඩා එනකොටසෙහි දෙබැම උඩයනතෙක් ලිපි ගොනු පිරී තිබේ. මේ එකක් ගෙන අහවර කළ යුතුයැයි අතට ගත් හැම වරෙහිම ගොනුව තුළ දකින කිසියම් වදනක් හමුවේ දිව යන සිත මෙලොවට නැවත ඇදගන්නේ මඳ වේලාවකින් නැවත එය එතන තැබෙන්නෙට අත එසැවෙන විටය. මහතැන හදිසි කටයුත්තක් වෙනකෙකු ලවා කොට කාර්යාල පද්ධතියේ නාමයෙන් මගේ අනුදැනුම ඊට අවශ්‍ය නිසා මවෙත එවන නමුදු වචනයකින් හෝ මට දොසක් නොකීම සිතට සහනයෙකි.

උඩින් පල්ලෙන් කියැවූ මම එය කුරුටු ගා , මේක අරං යන්නයි කියා කවුළුවෙන් එපිටට නෙත් විසි කළෙමි. මෙලෙස මා අනන්තය දෙස බලා සිටි තරම මෙතෙකැයි කිව නොහැක. වැටුප් සහ වරප්‍ර‍සාද ඉහළ දමා ගැනීම සඳහාවූ සේවක අරගලයට සහායවූවන් නෙරපීමෙන් මට එහා මේසයේ සිටි වික්‍රමරත්න සහ ටයිප් ගැසූ මැටිල්ඩාගේ නානාප්‍රකාර විහිළු තහළුවෙන් කන් කරච්චලයක්ව තිබුණු මගේ කොටස දැන් නිහඬත්වයෙන් කන් පුරවා තිබේ. එය නැතිවීමෙනිය මා ඊට එකල අකමැතිවූමුත් යටි සිතෙන් ආලය කර ඇති බැව් මට වැටහුණේ. ඔවුන්ට එසේ ඉවත්වන්නට දී මා තවමත් මෙහි පුටුව රත් කරනා හැටි සිහිකරනාවිට මා කෙතරම් ආත්මාර්ථකාමියෙක්දැයි මම මට දොස් නගා ගනිමි. එහෙත් මට ඕනෑ කළ මහ පඩියක් නැත. නැති යමක් පුම්බා ලොවට පෙන්නා ලද යුත්තක් නැති මට යන්තම් ජීවත් වන්නට සරිලන මේ වැටුප ප්‍රමාණවත් .

මහ ගෙදර පාළුවට යාමෙන් එහි අරක්ගත් භූතයා වන් වූ මට බාහිර ඇසුර ප්‍රිය නොවේ. හුදකලාව අවනඩුවක් නමුත් මම ඊට දැන් පෙම් බැඳ ඇතිවා සේය. කාර්යාලයේ සිට එත්දී ගමේ බොහෝ දෙන මා හා සිනාසෙන්නට උත්සාහ කරනාවිට ඊට පිළිතුරු දීම සඳහා දෑස් කුඩා කොට කට දෙපසට ඇදීමෙන් මා ඉන් පැන යන්නෙමි. මේ සියල්ලට වඩා අළුතින් මිලදීගෙන කිසිලිගසා ගත් පොත මට වටී.

මාමේ, අපිට පොඩි ආධාරයක්..”

කියවමින් සිටි පේළියද මට වැරදී ගියේය. වත්ත අවුරා නොමැති නිසා පරණ පුරුද්දට ගම්මු කිසි සද්දයක් නැතිව මෙසේ ගේ දොරකඩ ප්‍රාදූර්භූත වීම මා කුප්පන්නකි. පිටු අතර ඇඟිල්ලක් සිර කර පොත වසාගෙන නැඟුණු මම මොකොද?”යි ඇසුවෙමි. මගේ දෙබැම රැලි ගැන්වී ඇති බව නළලත තදවුණු හැටියෙන් හැඟුණි.

නෑ, මේ.. අපේ තොරණට පොඩි ආධාරයක් කරන්න..” පැමිණ සිටි නඩයේ ඉදිරියේ හුන් ළමයෙක් නැවත කීය.

හන්දියේ අපි හැම අවුරුද්දෙම හදන තොරණෙ වැඩවලට මේ එකතු කරන්නෙ. පුළුවන් නම් පොඩි..”

යනවලා යන්න. ඔය එන එන එකාගෙ කන්නලව් අහන්න මේක දේවාලයක් කියලා හිතුවද?”

අසලවූ පේර ගස දෙස අනිමිසලෝචනයේ සිටි එකෙක් බිරාන්තව මදෙස බැලීය. පොතක් අතින් ගෙන පෑනෙන් හිස කසමින් තවෙකෙක් ලොකු මැණිකෙ ඉන්න කාලෙ නම් දිගටම දුන්නායි කියමින් කකුලේ මහපටැඟිල්ලටත් දබරැඟිල්ලටත් තණකොළයක් සිරකරගෙන එය උගුලන්නට වෙර දැරුවේය. මම කිසිවක් නොකියා නින්දෙන් පිබිදුනෙකු ලෙස මඳක් බලා හුනිමි.

කීයක් හෝ දී මුන් පිටත් කළනම් මැනැවැයි සිතමින් කාමරයට වැදුණු මා පසුම්බිය අතට ගෙන එහි ඇති නෝට්ටු එහා මෙහා කරමින් බැලූමුත් එහි පොඩි කොළයක් සොයාගැනීම අපහසු විය. ලාච්චුව ඇද එහි වූ පෑන්, කුඩා සිහිවටනාදිය, බිල්පත් ආදිය අතරෙහි සැඟවී සිටි සියයේ නොට්ටුවක් ගුලි කරගෙන පැමිණි මමම්හ්කියමින් එය පෑවෙමි.

කොහොමද මාමා නම ලියන්නෙ?”

ඔවුන් මගේ නම නොදැන සිටීම අරුමයක් නොවේ. බොහෝ දෙන ලියන මහත්තයායි මගේ පෙර තනතුරෙන් මා හඳුන්වන නමුත් නම කීමෙක් නොවෙයි. දැන් මොවුන් මෙය අසන්නේ තොරණ පෙන්වන දිනට ඉස්පීකර කටින් ගමට ඇසෙන්නට ආධාර දුන් අයගේ නම හඬගාන්නටය.

ඕක තියාගෙන යනවා

කාර්යාලයේදීවත් මෙලෙස රළු හඬින් මම කිසිවෙකුටත් අමතන්නේ නැතිමුත් මොවුන් කුමක් නිසා මට නුරුස්සන්නේදැයි මට නොවැටහේ. නැවත පොත කියවන්නට සිතාගත් මා ආපසු හැරෙත්දී ඉස්තෝප්පු දොර එක එල්ලේ ගෙතුළ තැබූ අම්මාගේ රාමුකළ ඡායාරූපය මට පෙණිනි. ඔසරියක් හැඳ මුතුපටක් ගෙල ලා කවදා හෝ ගත් රුව ජීවමානව මගේ දෙනෙත දෙස ඍජුව බලා සිටින්නාක් සේ විය. එහෙත් බැල්මට මම තවමත් සිත් බඳිමි. මඳ ස්මිතයකින් සැරසුනු දෙතොල හා පිම්බුණු ඇගේ දෙකොපුල මුව දෙපස සිහින් තෙලි තුඩෙකින් මෙන් ඇඳි දාරයක් ඇති කරවීම කුඩා කළ පටන් මා බෙහෙවින් ප්‍රිය කළ දෙයකි. ගමේ කොයි දේටත් අතහිත දුන් හැමටම ප්‍රිය වූවාය. ක්ෂණයෙන් මට අමුතු අදහසක් පහළ වීය.

ළමයි..” මා කීවද ඔවුන් වන විටත් වත්තෙන් එපිට පාරට ලංව සිටියහ.

මා මිදුලට බැස නැවත ඔවුන්ට හඬගෑමි. දුවගෙන යන මුගටියෙකු හදිසියේ නැවතී තොම්බ උල්කොට මඳක් බලා සිටින්නාක් මෙන් මඳක් වික්ශිප්තව සිටි ඔවුහු නැවත මා කරා ඉක්මන් ගමනින් ඇවිද ආහ.

දැන් ඕකට කොච්චර යනවද?”

හොඳට කරන්න නම් මේ සැරේ අමාරුයි වගේ. හින්දා විසි තිස්දාහකින් පුළුවන් තරමක් කරන්න කියලා තමයි බැලුවෙ

කොච්චර එකතු කරගන්න පුළුවන් වුණාද?”

වෙනදා වගේ මෙහෙට තමා මුලින් ආවෙ. මේ.. බලුබ්වලට තමයි ටිකක් වැඩියෙන් යන්නෙ. සැකිල්ලට උණ ගස් නම් එහා ගොඩෙන් කපා ගත්තෑකි.. දැන් අනිත් ගෙවල්වලට යනවා. ම්.. මදි වුනොත් එහා ගමෙනුත් පුළුවන් තරමක් එකතු කරගන්න වෙනවා. ඉතිරිය හාමුදුරුවො දෙනවා කිව්වාඅහපු දේට නොව වටේ රවුමකින් වෙහෙරේ තරම කියන්නට මේකා මහඋන්ගේ ආභාෂය හොඳින් ගෙන තිබේ.

ඔහොම ඉන්න

ගෙට වැදුණු මම මේසය මතින් අවුස්සා චෙක් පොත ගෙන රුපියල් තිස් පන්දහසක් පමණයිලියා දරුවනට දුනිමි.

නම් ගම් ඕනෑ නැහැ, ඕකෙන් ඕන ටික කරගන්න

මාමාට ගොඩක් පින්සිද්ධ වෙනවාසියල්ලන්ගේ නෙත් විදුලි බුබුළින් බැබැලෙත්දී මෙතෙක් නිහඬව සිටියෙක් කී.

* * * * *

ආණ්ඩුව පෙරළීමත් සමග අරගලකාරයන්ට යළි තැන ලැබිණ. ඔවුන්ගේ ඉල්ලීම් ලැබෙන බවත් අසාධාරණයට ලක්වූවන් ප්‍රතිස්ථාපනය කෙරෙන බවත් ගුවන් විදුලිය රැව් දිනි. එය වඩාත් මගේ සිතට අස්වැසිල්ලක් වූයේ පරණ සගයන් දෙපළ නැවත කාර්යාලයට එන බව සිහි කිරීමෙන් මිස මගේ වේතනය ඉහළ යාමෙන් නොවේ. අපගේ ප්‍රධානියාට නම් මෙය හොඳ කලක් නොවීය. ඔහු දුෂ්කර පළාතකට මාරු කර ඇති බවත් වෙනුවට වෙනත් අයෙකු පැමිණෙන බවත් කොඳුළ පියන් ඔහුටද ඉදිරියට කුමක් සිදුවේද යන්න පිළිබඳ අවිනිශ්චිත හැඟීමෙන් යුත් බිඳුණු හඬින් මට කීවේය.

මෙවන් දෑ පිළිබඳ මට හොඳින් අත්දැකීම් තිබේ. ආණ්ඩුව නොව වරක් පැවති පළාත් පාලන මැතිවරණයට පසුවද බොහෝ ස්ථාන මාරු මා වටා සිදු විය. බොහෝ අවංක සේවකයන්ට මහත් ගැහැට විඳින්නට සිදුවිණ. මේ පෙරැළිය සඳහා පක් පාට භේදයක් නැති අතර එක් අතකට බෝලය මාරුවෙත්දී අනිත් අතට ස්ථාන මාරුව සිදුවේ. ඊටත් වඩා ඉවසිය නොහැක්කේ තේරීම් විභාගය නොඇසුවෝ නව පත්වීමෙන් ඉහළ පුටුවල ඕපපාතික වීමයි. එවන් කලට අපේ ගොනු එකතුවේ බර වැඩිවීම හිරු නැගෙන පස නැගෙනහිර යි කීම සාධාරණීකරණය කරයි.

ම්මහත්තයා, .. අර.. අළුත් සර් ..අඬගානවා

සුපුරුදු හඬෙහි ජවය නියඟයට වන් බිමක් සේ ඉරිතලා තිබේ. ඉදිරියට නොඑන වැස්සක පෙරනිමිති එහි ගැබ්ව තිබේ. මේ ගිනියමට හසුවූ මට එකවර නැගිට ගැනීමට අපහසු විය. හිස වැනූ මා ගැහෙන හද නවතා ගන්නට හොඳ හුස්මක් ගතිමි. වික්‍රමරත්න එක දිගට මගේ දෙස බලා සිටින බව දැනුනු නිසා මම ඔහු වෙත නෙත් යැවීමි. ඔහු වේගයෙන් ඇසි පිය සළා හිස වනමින් ඉක්මනට යන්නැයි මට ඉඟි කළේ .

කමීන්, ටේක්‍ය සීට්

අළුත් මහතැන කළු සුද්දෙකැයි බොහෝ දෙන කීයේ ඔහුගේ ඇදපැද ඉංග්‍රීසි වහර නිසා විය යුතුය. ඔහු බීවේද ඉහළ පැලැන්තියේ බීර වර්ග . හේ තැන් පටන් ඒවා තැන තැන දැකීමෙන් නම් ගම් අපට කටපාඩම් වූයේ .

මම කතා කළේ ඉදිරි වැඩකටයුතු ගැන මිස්ටර් පතිරණ එක්ක ටිකක් කථා කරන්න.” පුටුවේ පසුපසට නැවෙමින් ඔහු කීය. පරණ පුටුව ඉවතලා නව පත්වීමක් ලද මෙය සැප පහසු, කැරකෙන එකක් වූ අතර ඉරියව් අනුව හැඩගැසෙන්නක් විය. “මේ ඔෆිස් එක හරි ඕල්ඩ් ෆැෂන්ඩ්. සෝඋ බෝරිං. මම කල්පනා කළේ හැම සෙක්ශන් එකක්ම රීඅරේන්ජ් කරන්න. මිස්ටර්ගෙ අකමැත්තක් නෑනෙ?”

මා මීට කුමක් කියන්නදැයි මඳක් කල්පනා කළෙමි. මට මෙය කොහොමත් සුදු කුකුළු කරමලය වැනිය. එහි මොනවා තිබුණත් මට මොනවා නොලැබුණත් ගැන නොසිතා හැකි පමණින් මගේ කොටස කිරීම මට ගැටළුවක් නොවීය. සිතට කාන්සියක් දැනුනු විට කිසිවක් නොකර කල් යැවීම එසේම . අවුරුදු ගණනක් තිස්සේ මෙය එක සේ පැවති බැව් සිහි වූයේ ඔහුගේ මේ කථාව නිසාය. මොනවා නොතිබුණත් වැඩ කරන කෙනා කරන බව පමණක් මගේ අදහස විය. එහෙත් නිහඬව කරබාගත්තානම් අහවරැයි මට සිතෙන්නට පටන් ගත්තේ ඔහුගේ එංගලන්ත පම්පෝරිය පැයකට ආසන්න කාලයක් මගේ දෙසවනෙහි කඳවුරු ලා ගන්නට පටන් ගත් වේලෙහි .

සර්ගෙ කැමැත්තක් කරන්න. මගේ ප්‍රශ්ණයක් නැහැ

ඕකේ ගුඩ්. තව දෙයක් තියෙනවා. මට දැනගන්න ලැබුණා මිස්ටර් ප්‍රොමෝෂන් එකට පස්සෙත් තාම පරණ මේසෙමයි ඉන්නෙ කියලා.”

ඔව් සර්. මම එතනට කැමතියි.”

..හෙම බැහැ මීට පස්සෙ. අළුතින් දෙන බිල්ඩිමේ මම බ්‍රාන්ච් හෙඩ්ලාට වෙනම රූම් එකක් හදන්න කිව්වා, ඔක්කොම ෆැසිලිටීස් එක්ක. මිස්ටර් ඒකට යන්න ඕන.”

ඒත් සර්.. මට ඕන සම මට්ටමේ ඉඳගෙන වැඩ කරන්න. එතකොට උස් පහත් භේදයක් නැතුව නිදහසේ වැඩ කරන්න පුළුවන්.”

වෙන්න පුළුවන්. ඒත් මේ නිව් සිස්ටම් එකට අපිට විදියට ඕන කරනවා. ටිකක් යද්දි පුරුදු වෙයි. අළුතින් මොනවත් ඕන නම් මට දන්වන්න. ඕකේ, තෑන්ක්ස් ෆෝ යුව ටයිම්.”

මෙතෙක් පත්ව හැම මහතැන මා සමග මෙලෙස නව සැලැස්මක්ගැන කථාබහ කළ බව මම සිහි කළෙමි. වරක් නිල ඇඳුම් ක්‍රමයක් හඳුන්වා දෙන්නට ද ගියේ . එහෙත් තීන්ත පෑනෙන් බෝල්පොයින්ට් පෑනට මාරුවීම පමණක් සාර්ථකවූ එකම දේ විය. නිසා මේ වාරයේදී එවැන්නක් වනු ඇත.

මේ දිනවල මගේ තත්වය පිළිබඳ ගමේ තත්වය මඳක් වෙනස් විය. බොහෝ දෙනා වඩාත් කුළුපගව මදෙස බලන්නටත්, කථාවට පෙළඹෙන්නටත් පටන් ගැනිණ. එය සැබවින් මට මහත් කරදරයක් වීය. උදේට මම පිටත් වන්නේ කාර්යාලයට වේලාවට යාමට , හවසට එන්නේ විඩාව නිවා ගන්නටත් ගෙන එන පොතක් හා රමණය කරන්නටත් . දැන් මේ දෙකම බොහෝ දිනවලදී ප්‍රමාද වෙයි. ගම්මුන්ට මට කියන්නට බොහෝ දේ තිබේ. තොරණෙහි විස්තර අතර වෙයි. ඔවුන් අපහසුතාවයට පත් කරන්නට මගේ සිත ඉඩ නොදෙයි. මේ කිසිවක් හාරා අවුස්සා දැන ගැනීම පිළිබඳව මට ඇත්තේ උදාසීනත්වයකි. කෙසේමුත් ලබන වෙසක් පොහොයැති සතියේ තොරණ පැවැත්වෙන බව මට දැනගන්නට ලැබිණ.

මගේ කොටස කළ පසු මට එහි ඇති ගැල්මෙක් නොවෙයි. එහෙයින් මේ සියල්ල සිතෙන් ඉවත් කොට සුපුරුදු සැහැල්ලුව විඳින්නට මම උත්සහ කළෙමි. මෙවන් දෑ සිහි කිරීමෙන් නාන කාමරයේ බිත්තිවල කෙඳුරුමත්, අනන්තයේ මැවෙන රූපත් අසනු දකිනු ලැබීම සිදුවීමට මම වෛර කරමි. ලොව නිශ්ශබ්ද කරනවාට වඩා සිත නිශ්ශබ්ද කිරීම මහත් හිසරදයෙකි. ඊට උත්සහ කරන්නට යෑමෙන් තව තවත් ඝෝෂා නැඟෙයි. එනිසා එයට කෑ ගසන්නට දී පාඩුවේ සිටීම ය කළ යුතු වන්නේ. මෙලෙස සිතෙහි දෙඩීම මුළුමුනින් නිවීම නිවනැයි මට සිතේ. ගැහැට නම් ඒ සිතන්නට වී ඇත්තේ ද හඬ නඟන සිතින් වීමයි.

නව ක්‍රියා පිළිවෙළ පිළිබඳ මගේ පුරෝකථනය වැරදි බව් පසක් වූයේ නව කාර්යාල ලිපිනය දැනගන්නට ලැබීමෙනුයි. මේ කාර්යාලය ලේඛනාගාරය කොට නවීන පන්නයේ ගොඩනැගිල්ලකට සිකුරාදා අපව ගෙනයන ලදී. එහි බිත්තිවල ගෑ නව තීන්ත නිසා හැමතැනම නැහැය දවන පුසුඹෙක් විය. සුදෝ සුදුව බැබලුණු බිත්තිවලට කැපුණු කිරිවන් පිඟන් ගඩොල් පාළු සිතකට බට යුවතියක් මෙන් කාර්යාලය බබලවයි. මේ නිසා දහවලට දැල්විය යුතුවූ පහන් ගණන ද අවම වනු ඇත. සිවිලිම ද බෙහෙවින් උස ය. එල්ලෙමින් සිනාසුණු විදුලි පංකා සියල්ල අළුත් බවත් ඒවා සුමටව ක්‍රියා කරන බවත් සිහිවීම ආස්වාදජනක ය. මේස මතුපිට ඇති රබර් කවරය ද ලීයට තිත තබා ගොනු රඳවන්නට තැබූ විවිධ පාටැති ප්ලාස්ටික් ඇසුරුම් ද සිත් බඳවයි. මේස ලාච්චුවල අගුළු ද හොඳින් ක්‍රියා කරයි.

හා හා, මං”මෙතනයි දිවැවිත් බිත්තිය කෙළවර මේසයක් අල්වාගත් වික්‍රමරත්න කෑගෑවේ පොඩි එකෙකු ලෙසිනි. සෙස්සෝ ද ඒ ඇසිල්ලෙන් රිසි තැන්වලට බටහ. කුෂන් කර තිබූ පුටුවල සැපට හිඳගත් ඔවුහු මහනුවර යුගයේ රජවරු මෙන් දෑත් පුටු ඇන්ද වසා තබාගනිමින් මැණික් කටුවෙන් නවා අල්ල නිදහස් කොටගෙන ගෙල ඍජුව තබාගෙන අවට සිරි නරඹන්නට විය. ඇතැමෙක් සාක්කුවෙන් ගත් පෑන මේසය මතවූ පෑන් රඳවනයේ හඬ නැගෙන සේ දැමූහ. කිසිවක් සඟවා ඇතිදැයි සැකයේ මෙන් ලාච්චු හරිමින් ඒවායේ සතර කොන නෙත් යැවූහ. ටයිප් ගසන්නට මෙහි අනෙකුත් මේසවලට පැත්තෙන් ඒවාට මුහුණලා වෙන ම තැනක්වූ හෙයින් මැටිල්ඩා එහි යැවිණි. එහි නවතම ඉංග්‍රීසි හා සිංහල ටයිප් රයිටර දෙක බැගින්වූ මේස දෙකක් විය. ඒ තවත් පුරප්පාඩුවක් මෙන් ම මෙතෙක් මවෙත ආ ගෙවුණු අකුරු මත බාගෙට තින්ත ගෑවීමෙන් වැදී ලියැවුණු ලියුම්වල අවසානය පිළිබඳව ද ඉඟියකි.

මඳෙකින් දිව ආ පියන් අනේ සර්, ඩිංගක් පරක්කු වුණා. මේ ලොකු සර්ගෙ වැඩකට.”යි හිස කසමින් විරිත්තුවේ ය. හඬ නුපුරුදු ය. මුහුණ ද බිල්ඩිම සේ ම අළුත් ය.

එන්න සර්, සර්ගෙ රූම් එක අතන.. මං පෙන්වන්නම්”

මඳක් ඉදිරියට ඇදෙමින් ඔහු කියත්දී මම පසුපසින් ගියෙමි. මේස අතරින් කඩිනමින් යමින් අඩියකට වරක් පසුපස හැරෙමින් මගේ දෙපා දෙස බලන ඔහු මහ කැළයක මඟ පෙන්වන්නෙක් මෙන් මා පය පැකිලී වැටෙතැයි බියෙන් හිඳී. අනතුරුව දොරක් ඇරි හේ මෙතන සර්.”

මා ඇතුළු වෙනවාත් සමඟම අවශ්‍යවිට කැඳවන්නැයි යදිමින් පියන් ඉවත් වූයේ ය. ඒ දොර ඉබේ වැසෙන්නකි. මේසය ව්‍යංජන දහ පහළොහක් තැබ්බ හැකි කෑම මේසයක් සේ දිග ය. එහි දොරකඩට පෙනෙන්නට මගේ නම කෙටූ පුවරුවක් විය. රවුම්, පිත්තල මුද්‍රා රැඳවුමක්, පෑන් කීපයක් දැමූ රඳවනයක් හා තේ කෝප්ප තබන රවුමක් ඒ මත විය. පුටුව ද මේසයට දෙවැනි නැත. ඊට යාබදව රාක්කයක් ද අනෙක් පස අල්මාරියක් ද එහි ඉහළ ම සේප්පුවක් ද විය. මේ සියල්ල කොටු කොට තිබුණේ තින්ත ගෑ හාඩ්බෝඩ් ලෑලි වලිනි. මට සිහිවූයේ වරක් මා සාදයකට පිවිසි මන්දිරයක විසූ සැප යහමින් ලද හොඳ වර්ගයේ කූඩුකළ සුරතල් සුනඛයෙකි.

එදින මා නිවසට පැමිණියේ සති අන්තය අර්ථාන්විතව ගත කිරීමේ අරමුණෙනි. වටිනා පොත් කිහිපයක් ද සොයාගන්නට හැකිවීම ඊට මහත් රුකුලක් විය. ඉස්තෝප්පුවේ ඇති කියැවුම්සිතුම් පඬුපුල් ආසනයේ හිඳගත් මා අත්විඳින්නට ලැබුණු නවීන පන්නයේ ආයිත්තම් ගැන සිතමින් ද අන් අය ඉදිරියේ ලැජ්ජාවට පත්වෙතියි බියෙන් ඇසින් පමණක් බල බලා සිටි ඇතැම් දෑ කෙලෙස අත්හදා බලම්දෝයි සැලසුම් කරමින් ද සිටියෙමි. ඒ අතර පාරෙන් යමෙක් හැරී එනු පෙනිණ. කරෙහි දමාගෙන සිටි තුවාය දුරදීම මා දැක අතට ගත් ඔහු හිස අංශක තිහකට පමණ නවාගෙන බුලත් විටින් රතු කළ දෙතොලතරෙන් දාර කළු පැහැවූ සුදුවන් මුතුදත් දල්වාගෙන ආයේය.

ලියන මාත්තයට පොඩි ආරාදනාවක් කොරන්නෙයිකියලා”

ඇවිත් ඉඳගන්න

නෑ, මේම හොඳාසේදීමෙන් තෙතබරිතව වතුර මිරිකා හරින්නාක් සේ ඔහු තුවාය විවිධ දෙසට අඹරන්නට වූයේ ය. ඔහු පන්සලේ ඇබිත්තයා බව මට සිහිවූයේ එවිට ය.

නැගිටවිත් කණුවකට හේත්තුවූ මම මොකද කාරණේ?”යි ඇසුවෙමි.

ගමේ තොරණ විවුත්ත කරන්න මාත්තයට සඋඳා හවහට එන්නෙයි කියලා ලොකු උන්නාංසෙ කිව්වා

කීයට විතරද?” මගේ රැලි දෙබැම සාපයකි.

මයෙ හිතේ බිං කරුවල වැටෙද්දි විචර පටන් ගනී

හොඳයි, මම එන්නම්.”

සඳුදා මම කන්තෝරුවේ දහවල් වන තෙක් ම නිදහසේ සිටියෙමි. ඊට පෙර ගෙන ආ පොත කියවා අවසන් කරන්නට නොහැකි වීමෙන් හදවත කසන්නාක් මෙන් මට දැනෙයි. සැබවින් එය මෙහි ගෙන ආවානම් බොහෝ කොටසක් අවසන් කරන්නට තිබිණ. මැටිල්ඩා විටින් විට ගෙන ආ ලියුමක අත්සන ගැසීම පමණෙකි මට කරන්නට තිබුණේ. මගේ මුද්‍රාව ගැසීම ද ඈ ම තැපෑලේ සේවකයෙකු සේ යසට කරගනී. ඈතින් ඇසෙන ටයිප් හඬත් සිහින් හඬින් බැමෙන පංකාවත් හැරෙන්නට මෙතැන ඉතා නිදහස් ය. අඩුවකට ඇත්තේ අනන්තය බලන්නට කවුළුවකි. තිබෙන එක ම ජනේලය ද අල්මාරියට එපිටින් ඇති නිසා ඍජුව මට නොපෙනෙයි. මගේ සිතුවිලිවලට බාධා කරමින් පියන් එහි කඩා වැදුණේ ඔහුගේ ඔළුව යන්තමින් නොවැසෙන, සුපුරුදු ලේඛණ ගොඩක් සමග නොව පසුගිය අවුරුදු කිහිපයේ ලෙජර් පොත් සමග ය. මේ සියල්ල මට කියා ඉතා ඉක්මණින් නැවත බලවාගන්නට මහතැනට අවශ්‍යව තිබිණ. බැලීම යනු මේ සියල්ල එකිනෙක නැවතත් ගණනය කිරීමය. අරමුණ පසුගිය කාලයේ සිදුවූ ගනුදෙනුවල විෂමතා හඳුනාගැනීම යඑහෙත් මෙතෙක් වේලා කිසිදු වැඩක් නොකර හිඳීමෙන් පැලපදියම්වූ ගුප්ත කම්මැලි කමක් ගෙල දෙසින් පැමිණ මගේ කම්මුල් සන්තර්පණය කරමින් නළල මධ්‍යයෙන් හිසට ඇතුළු වන්නා සේ විය.

ඉහළ අණ නොතකා සිටිය නොහැකි හෙයින් ඇරඹූ ගණනය හවස හය පසුවීමෙන් ද මට අවසන් කරගත නොහැකි විය. ඉහළ අතිකාලයක් ගෙවන බවට පසුව දන්වා එවා තිබූ අතර ඉන් ව්‍යංගව කියා තිබුණේ අදම මෙය අවසන් කළ යුතු බවය. උදේ වරුවේ මෙය දුන්නා නම් මේ වන විට අවසන් කරන්නට හොඳින් ඉඩ තිබිණ. ඊටත් වඩා කිසිවෙකුටත් මෙතැන නොපෙනෙන හෙයින් බොහෝ වේලා මම වැඩ අතරතුරදී ඈලි මෑලි අරිමින් සිටින්නට වීම නිසා බොහෝ වේලාවක් නාස්තිව තිබිණ. ගනුදෙනු එහා මෙහා කොට තිබූ තැන් ද ඊට දෙවෙනි නැත. මේවා ලිහීම රහස් පරීක්‍ෂකයෙකු සුළු සුළු දෑ එක් කරගෙන මහා අභිරහසක් විසඳන්නාක් සේ විය. දෙයියන්ගේ නාමයට හවස හතහමාර පමණ වෙත්දී සියල්ල අවසන් කරගන්නට මට හැකි විය. කුමක් හෝ බලවේගයක් මේ සියල්ල කණපිට හරවතැයි යන අනියත බියෙන් මම සටහන් සියල්ල උඩ ලාච්චුවට දමා යතුරු ලෑමි.

මම ගමට ලංවනවිට බෙහෙවින් රෑ බෝවී තිබිණ. යන්තම් වැටුණු හඳ එළියෙන් අඳුර පීරි ගාමින් මම ඇදුණේ ගමේ පාරවල් පිළිබඳ සහජ බුද්ධියෙන් මිස දෑසින් දැකීමෙන් නොවේ. දෙපස වල් බිහිවූ තැන්වල සර්පයෙකු මඟ සිටියොත් බිය වද්දන අටියෙන් මම තදින් අඩි තැබුවෙමි. මගේ උසට පමණ වැවුණු මකුලත ගාල්වල සිට කිසිවකු බලා හිඳිතැයි දැනෙන නිසා දෙපස නොබලා ඍජුවම මාර්ගය දෙස බල බලා ආමි. සපත්තුවේ වැදී ‘කරස්’ හඬ නගන බොරළු මාවම බිය වද්දයි. සුළඟ ද සිහිල් ය. ඒ යද්දී හමුවන මඟ දෙපසට බෙදෙන තැන එක් පසෙක මහා ගාලගෝට්ටියෙකි. මම තවත් කල්පනාකාරී වුණෙමි. මිනිස්සු රැසක් පොදි බැඳගෙන මට ඉදිරි වංගුවේ එක් කෙළවරක් දෙස බලා සිටී. ඒ ගැන මට දැඩි කුතුහලයක් හටගත්තේ කාට හෝ කරදරයක් සිදුවී ඇත් ද නැතිනම් මා එන මඟ කිසිවකු රැක සිටීමෙන් මට කරදරයක් වන්නට යන්නේ දැයි බිය මුසුවෙනි. අඩිය ඉක්මන් කළ මට ඊට ලංවත්ම ඉහළ යන කවි ගායනාවක් ඉස්පීකරයකින් මෙන් ඇසුණේය. මා මෙලොවට ආවේ එවිට ය. තොරණ ගැන හාංකවිසියක් මට මතක නැති වුණු හැටි! මම ඒ මඟට හැරී තවත් ඉක්මණින් ඒ වෙත ගියෙමි. මඟ දෙපස පන්දම් දල්වා ආලෝකමත් කොට තිබිණ.

නානාප්‍රකාර පැහැයෙන් ජාතකයක චිත්‍ර වටා විවිධ රටාවලට නැටවෙන, බුදුරැස් මවන, බෞද්ධ කොඩියක හැඩ මවන විදුලි බුබුළු රැසෙකින් යුත් නමින් ම තොරණ රාජයෙකි. කුඩාවුන් පියවරුන්ගේ කරෙහි ද මවුන්ගේ ඉණෙහිද නැඟෙමින් ඉන් නෙත් පිනවාගන්නට මුව අයාගෙන සිටියෝ ය. උන්ගේ කොපුල්වල නීල පීත ලෝහිතාදී පැහැයෙන් විදුලි බුබුළු එළිය වැටෙයි. ඒ පරයා උන්ගේ සිනහව දිලෙයි. ඇතැම් කුඩාවෙක් ආවු ආවුකියමින් අත් තලයි. ඉනෙන් තවත් නැඟී බලමින් ඉඟ නටවයි. එකෙක් තමා දුටුවක් අනෙකෙකුට අත දිගුකර පෙන්වයි. අනෙකා ඒ දැක කුමක් හෝ විස්මයෙන් තෙපළමින් දෑස් මහත් කරයි. මහඋන්ගේ මුහුණුවල ද සිනාකැන් පිරී තිබෙයි. තම දරුවන්ට කවිබණ පරයන හඬින් ජාතක කථාව කියා දෙන්නට මහළු අයෙක් උත්සාහ වෙයි. තුරුණු යුවළක් අන්ධකාරයට තුති ලමින් මහඋන්ට මුවා වෙමින් එකිනෙකා ගෑවෙන නොගෑවෙන සේ හිඳිමින් මුකුළු කරයි. ඊට වෙනත් ගැහැණියක් රවයි. නැවත තොරණට නෙත් යැවෙයි. ඒ අතර තම හිමියාගේ අතෙහි එල්ලී ගෙල දිගු කර පාතුඩින් උස් වන්නට ඈ තැත් කරයි. හිමකිරම හා සාරවිට වෙළෙන්දෝ ද හතරවට ඇවිදිමින් හැමගේ ම ඇස් තමා වෙතට ගන්නට නද දෙයි. තොරණට වඩා මෙහි රටාවන් බොහෝ ය.

“..ආරච්චිගොඩ වත්තේ ලියන මහතාගේ පින්බර දායකත්වයෙන්…”

මගේ ඇඟ කිළිපොලා ගියේ ය. සැනෙකින් මා දෙපස බැලුවේ කිසිවකුත් මා දුටුවේදැයි සැකහැර දැනගනු පිණිස ය. එහෙත් කිසිවකුටත් එහි ගණනක් නැත. සියල්ලෝ ම තම තම ලෝකවල ය. තොරණ යටින් දැවැන්ත අකුරින් ද මගේ නම ලියා තිබෙනු බුබුළින් නිලංකාරවූ දෑස කුඩා කරගනිමින් අපහසුවෙන් බැලූ මට පෙනිණ. මම සෙනඟ අතරින් සෙමින් ඉවත් වූයෙමි.

ගේ වටේට තාප්පයක් බඳින්න ඕනැ!” මම සිතුවෙමි.

By Thambaru Wijesekara

4 replies on “තාප්පය [කෙටි කථාව]”

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.