පිටත සිට බැලීම

යමෙක් යමක් කරන්නේ තමාගේ මතයෙහි පිහිටා ය. කරන දේ හැමවිටම වෙනස් කරන ලද චිත්තයකින් යුතුවමුත් තමා විසින් ම කරනු ලබයි. එමනිසා තමා කරන දේහි වැරැද්දක්, කරන මොහොතේ කිසිසේත් පෙනෙන්නේ නැත. ඒ මොහොතේ එලෙස පෙනුනොත් එය නොකරන ලද ක්‍රියාවෙකි. තමන්ගේ වැරදි තමාට නොපෙනෙන්නේ යැයි කීම ජනවහරේ ද එන කියුමකි. අනුන්ගේ දේවල් නැතිව තමන්ගෙ වැඩක් බලා ගන්නැයි කීම ද එහි ව්‍යුත්පන්නයකි. මුහුණේ වැරදි කැඩපතින් පෙනෙනමුත් සිතේ වැරදි ඉන් පිළිඹිබු වන්නේ ආවේගයෙන් එහි බැලූමුත් පමණෙකි. ආවේගයෙන් කැඩපත දෙස බලන්නේ අතට හසුවූ කැඩපතක් බිම හෙලීමෙන් සුණු වූ කැඩපතම පමණි.

අනෙකුගේ වැරදි පෙනෙන්නේ අප උන්ගේ සිතින් ඉවත සිට බලනා හෙයිනි. ක්‍රියාවක් කරන සිතක් එය ස්වයංව අනුමත කොට සිතැඟියෙන් කරන හෙයින් අන් මිණුම් දණ්ඩකින් යුත් චිත්ථ පථයකට ඒ රිසි නොවෙයි. ඉන් වැරැද්ද දකී. එහෙත් තමා කරන විට එය තමාගේ සිතැඟියකි.

ඇස, කණ, නාසය, දිව, සමට ගෝචර වන දෙයින් අන්ධයෙක් අලියෙක් අතගාන්නා සේ ජීවීහු ඒ ඉන්ද්‍රියයන්ගෙන් ලොව අත පත ගා එය මෙලෙසැයි නිශ්චය කර ගනිති. එහෙත් සවැනි ඉන්ද්‍රියකින් යුත්තෙක් ගොස් මෙය මෙසේ විය නොහැකිදැයි ඇසුවොත් පංචයෙන් යුත් සමූහයෙක ඔහු වල් පැළයෙක් වැන්න. හේ සිතනා සැටි වැරැදියයි හැමෝම සිතයි. සිතක මිණුම් දණ්ඩ ඇතිවන්නේ ද මෙලෙසයි. තමාට ගෝචර වන දේත් තමා සමග සිටින බහුතරයට ගෝචරවන දේත් එක ම නම් උහු එය පොදු මතය කෙසේමුත් සත්‍යයැයි ම කියමින් එය පිළිගනිත්. එලෙසින් සැකසූ මිණුම් දඬු විවිධ දේට තබා උහු පරීක්‍ෂා කොට බලා අසුවල් දේ වැරැදිය, අසුවල් දේ නිවැරදියැයි කියති.

කෙනෙක් තවකෙක්ට පහරක් ගසන්නේ හේතුවක් ඇතිවය, එනම් අනෙකාගෙන් ඔහුට අනර්ථයක් වූ හෙයිනි. මිනිසෙක් තවකෙකුට අයත් දෙයක් සොරෙන් ගන්නේ තමාට ඊට ආසා ඇති නිසාය. විවාපත් ගැහැණියක් වෙනත් පුරුෂයෙකුගේ ඇසුර පතන්නේ තම ස්වාමියාගෙන් නොලැබුණක් බලාපොරෙත්තුවෙනි. දිනක් හීන්දෑරි මිනිහෙක් තැබෑරුමක් ඉදිරියේ එක හුස්මට රා බෝතලයක් කට තබාගෙන බොනු මා කුඩා කල බලා සිටියෙමි. සුරාවිත තොල ගෑ නොයුතු යැයි ද රටට පෙනෙන්නට එය කිරීම අශික්ෂිතැයි ද මා පිළිගත් නිසා එය මට මහා වරදෙකැයි පෙනිණි. ඔහුටත් එසේ ම සිතිණි නම්, එසේ කරත්ද?

ශික්ෂණය හෝ තර්කනය නොලත් කළ හේ ගල් වැද්දෙකැයි අනිකුගේ පරිභවයට ලක්වෙයි. නාසය හෑරීම වරදෙකියි දඬුවම් ලබන දරුවා දඬුවමට බයෙන් එය නොකර සිටියි. පසු කලෙක ඒ මන්දැයි හේ ම හඳුනා නොගතහොත් ඉතිරි වන්නේ ශික්ෂණයක් නොව භීතියෙකි. භීතිය නිසා නීතියෙන් හෝ ශීල බිඳීමෙන් වැළකී සිටීම අවබෝධය නොවේ. ඔහු කටපාඩම් ගිරවෙකි. අනිකෙකු මේ වැරැදිය, මේ නිවැරැදියැයි කියනා තෙක් නොසිට ක්‍රියාව කුමක්දැයි එපිටින් බැලීම හැදෙන්නෙකු කළ යුත්තකි.

තමා කවුරුන්දැයි හොඳින් වටහාගැනීමට නම් කයට මුවාවූ සිතෙන් එළියට බැස්ස යුතුය. පදාර්ථයෙහි අසංතතිකත්වය දකින්නට ඊට ළංවීම මෙන් ම මනස හඳුනාගන්නට නම් ඉවතට යා යුතු වෙයි. එය පහසු කරගන්නට  විශ්වයේ එපිට සිට තමා දෙස බැලීම වටී. මිලියන ගණන් ග්‍රහලෝක, ආකාශ වස්තූන්ගෙන් යුතු මහා අවකාශයෙක ඇති ඇල්පෙනෙති තුඩක් තරම් කුඩා පෘථිවිය නම් ලොවක සිටින කුරා කුහුඹුවෙක්මි මම!

Published by Thambaru Wijesekara

Find out more on Personal Website.

Join the Conversation

1 Comment

Leave a comment

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.