අපේකම සුළඟේ ගසාගෙන ගියාවත් ද?

හිස් මුදුනේ තබාගෙන අපි හැම කෙනෙක් සතුවම, අතීතය ගැන චිත්‍රයක් තිබෙනවා. එය බොහෝ විට බහුතරයක් සතුව ඇති පොදු එක ම සිතුවමක් වෙන්නට පුළුවන්. මේ මනෝ චිත්‍රය කවදාවත් දැකපු දෙයක් නෙවෙයි. සමහරවිට නැවත ගොඩනැගිය හැකි දෙයක් කියලාවත් විශ්වාසයක් නැති දෙයක්. ඒත් අපිට දැනට තියෙන හැමදේම නවත්තලා ඒ වෙනුවෙන් සටන් වදින්නට, එකිනෙකාට බැණ ගන්නට සහ එය අපෙන් උදුරා ගත්තා කියා ඕනෑම කෙනෙක්ට ඇඟිල්ල දිගු කර කියන්නට අපි පසුබට වෙන්නේත් නැහැ. අපි ඒ තරම් ඊට ආදරය කරනවා.

ඒත් කෝ ඒක? කෝ ඒ අපේකමත් එක්ක ගැබ්වෙලා තිබුණු හොඳ දැනුම, හොඳ මිනිස්සු, සංස්කෘතියෙන් ඔප වැටුණු සමාජ රටාව? ඒක හොරු අරන් ගිහින්ද?!

ගම නම් තවම නැතිවෙලා නැහැ. ග්‍රාම්‍යයි කියලා උඩුකය නිරුවත් ස්ත්‍රීන්වත් අමුඩෙ ගහ ගත්තු ගොවියන්වත් නැති වුණාට නිදහසේ හොඳ හුස්මක් ගන්න පුළුවන්, වාහනවල සද්දෙ නැතිව මොහොතක් පරිසරයට ඇහුම් කන් දෙන්න පුළුවන් වටපිටාව තවමත් ලංකාවේ ඉතිරිවෙලා තියෙනවා. එහෙනම් ඉතින් මොකද්ද දැන් නැති වෙලා තියෙන්නේ? අපේකම. අන්නහරි, එහෙම කිව්වාම සිදුරු ගොඩකට මංපෙත් පාදගන්න පුළුවන්. අපිට කථා කරන්න කරුණු වපුරා ගන්න පුළුවන්. ඒත් බුලත් විටක් හපාගත්ත තුවායක් කරේ දාගත්තු පිලක් උඩට වෙලා දාම් ඇද ඇද වංසෙ කබල් ගාන මිනිහෙක් වෙන්න මටවත් ඕන නෑ.

නැති දෙයක් ගැන අඬගගා ඉන්න අපි පුරුදු වෙලා තියෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි, අන්න ඒක අපේකමේ එක් ලක්‍ෂණයක්. ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ කියන ඔය අපේකමේ ම එන කියමනත් අමතක කරපු අපි මොකද්ද එකක් රැකගන්න හදනවා. ජාති, ආගම් හරි කමක් නෑ වැඩේ කික් එකේ නැගලා යන හින්දා සමාජජාල වලටත් උණු උණු ප්‍ර‍වෘත්ති ටිකක් සෙට් වෙන නිසාත් මාධ්‍යවේදීන්ට ලියන්න දෙයක් තියෙන්නට ඕනැ නිසාත් කවුරු කවුරුත් මේ දීකිරට නම් සාක්කි.

වැඩිය ඕන නෑ, ආදීවාසී ජනතාව වත් දැන් කොළ අතු ඇඳගෙන විකාර කරන්නේ නැහැ. ග්‍රාම්‍ය කියන වචනෙ කියලා හංවඩු ගහනවාට අකමැති වෙලා වගේ උන්දැලාත් සරමට බැහැලා. ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකද්ද? සංස්කෘතිය රැකගන්න කියලා හැමදාම ඒ මිනිස්සු දුක් විඳින්න කරපු පවක් නැහැනෙ. ඒත් එයාලා ‘ජොබ් එක’ රැකගන්න ඕන නිසා තවමත් වැදි ගී පාඩම් කරනවා, සීනි උණු කරනවා. ඒ මිනිස්සුන්ට බනින්න කලින් කියන්නකො, ඔබ කැමති ඉතා පැරණි කාලයේ රජ කෙනෙක් විධියට ජීවත් වෙන්න ද නැත්නම් ඔය අද ඉන්න තත්වයේ මනුස්සයෙක් වෙන්නද? රජ කෙනෙක් වුණා ම නම් හොඳයි ඉතින් අතටපයට සේවකයො ලැබෙනවා, අන්ත:පුරයක් ඉන්නවා සහ තව තවත් දේවල්. හැබැයි ඔබට ස්මාර්ට්ෆෝන් එකක්, පරිගණකයක් පාවිච්චි කරන්න තබා අන්තර්ජාලයවත් ඒ කාලයේ නැහැ. ඉතින් ඔබ ඒ අපේකමට කැමතිද, නැත්නම් මේ අද විධිය හොඳද?

ඔබ අහන්න යන්නේ, දැන් අපිට කියන්නෙ අතීතය අමතක කරලා ජීවත් වෙන්නද කියලා නම් ඔය උස්සගත්ත සරම පොඩ්ඩක් පහතට දාලා මෙතෙක් ජීවිතයේ ඔබට සිදුවුණු අපහසුතාවලදී, ප්‍ර‍ශ්ණවලදී ඒවායෙන් පාඩමක් ඉගෙන ගෙන අද ජීවිතය සරුකර ගෙන ද තිබෙන්නේ කියලා හිතන්නට ඕනෙ. වැරදිලා හරි එහෙම වෙලා තිබෙනවා නම් ඔන්න අතීතය ගැන හිතුවාට කිසි ප්‍ර‍ශ්ණයක් නැහැ. හැබැයි ඉතින් කරන්නට ඕන අතීතය කිලෝ ගණන් ගෙනැවිත් වර්තමානයට අතහරින එකවත් අතීතය ගැන හිත හිත ඉන්න එකවත් නෙවෙයි. මේ මොහොතේ බලාගෙන ඉඳිද්දි නැතිවෙලා යන ‘අපේකම’ අවශ්‍යනම් රැකගැනීමයි. අතීතය බැරි වුණාට වර්තමානය වෙනස් කරන්න පුළුවන්නෙ. ඒත් සංසිද්ධිය නියතයි. අනාගතයට අමුඩ අන්දවන්න බැහැ. පොත්පත්වල රචකයන් විසින් ලියා තිබෙන අතීතයේ ෆැන්ටසිය මිනිස්සුන්ට බලෙන් ඉන්ස්ටෝල් කරන්නත් බැහැ. තවමත් අපේ තුළ රැඳී තිබෙන අපේකම තුළ තිබෙන ‘හිතේ තෙත’ මිනිස් හිතෙන් අවධිකරගන්නයි හැකි වෙන්නේ. ඒක හැමදාමත් මනුස්ස චිත්ත සන්තානය තුළ නියතව තිබෙනවා.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.