Categories
Something to think

දරුවන්ට නිදහස දුන් ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය

දරුවන්ගේ ළමා කාලය උදුරා ගන්නේ නැතිව දෙමව්පියන් සමඟ වැඩි කාලයක් හැදී වැඩෙන්නට අවස්ථාව ලබා දෙන්නට ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය අවස්ථාව ලබා දෙනවා. අපි කිරෙන් හැරෙත්දී ම මොන්ටිසෝරියකට යවා අම්මා-තාත්තා නැතිව හඬා වැටෙන දරුවන් පිරිසක් බිහි කරද්දී නිසි වයසට ආ විට පාසලකට යැවීම එරට සිදු වෙනවා. “දෙගුරුන්” හෙවත් මූලික අධ්‍යාපනය ලබා දිය යුතු “මව්පියන්” ගෙන් ළමයින්ව වෙන් කර පාසලක සිරගත කිරීමෙන් ඔවුන්ට දෙමාපියන් සමඟ ගත කිරීමට ඇති කාලය අඩු වෙනවා. තනිව හැදෙනවිට මව්පියන්ට ඇතිවන ලෙන්ගතුකම අඩුව යනවා. අවසානයේ, වයසටත් කලින් මහළු මඩම් වලට මව්පියන්ට යන්නට සිදුවන්නේ තමන්ගේ දරුවන්ව පාසල්වල සිරගත කිරීමේ වරදට දඬුවමක් වගේයි.

ෆින්ලන්ත පාසල් අධ්‍යාපන ක්‍රමය වසර 9ක් අනිවාර්යයෙන් ම ලැබිය යුතුයි. එනම්, 9 වසර හෙවත් අවුරුදු 16ක් වනතුරු අධ්‍යාපනය ලබා තමන් කැමති ‍ක්ෂේත්‍රයක් තෝරාගන්නට දරුවන්ට අවස්ථාව සලසනවා. තමන්ගේ හැකියාවන්ට ගැලපෙන පරිදි උසස් අධ්‍යාපන ‍ක්ෂේත්‍රයක් තෝරා ගන්නට හෝ රැකියාවකට පිවිසෙන්නට මේ හරහා ඉඩහසර ලැබෙනවා. නමුත් උසස් අධ්‍යාපනය නොලැබුවාට, ඔවුන්ව නූගතෙක් බවට හංවඩු ගසන්නේ නැහැ. අවුරුදු 19-20 දී ලංකාවේ අපි උසස්පෙළ සමත්ව තවත් වසරක් පමණ නිවසේ රැඳී විශ්ව විද්‍යාලයට ගියත්, එරට අවුරුදු 16දී ම උසස් අධ්‍යාපන වරම් ලබන නිසා නාකි වෙනකම් ඉගෙන ගන්න වෙන්නේ නැහැ. එරට සිසුන් 66%ක් ඉහළ අධ්‍යාපනයට යොමු වන අතර 93%ක් ම සරසවි වරම් ලබනවා. 43%ක් වෘත්තීය පුහුණු ආයතන වෙත යොමු වෙනවා. 

විභාගයේදී අලින්ට පියාඹන්න කියන්නේ නැහැ

විවිධ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම් සහ හැකියාවන් විවිධ වෙනවා. සමාන ප්‍රශ්න පත්‍රයක් සියලුම ළමයින්ට ලබාදුන් විට ඔවුන්ව තමන්ගේ හැකියාවන් ගෙන් වෙන් කර, ප්‍රශ්න පත්‍රයේ ඇති දේට පමණක් සීමා කරනු ලබනවා. මේ නිසා විභාගයට කෙලෙස හෝ පිළිතුරු ලිවීම සඳහා කටපාඩම් කිරීමට ඔවුන් පෙළඹෙන අතර, දැනුම වර්ධනය වීමක් සිදුවන්නේ නැහැ. ඒ වගේම තනි ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ පිරිසක් උගතුන් ලෙස පාසලෙන් බිහිවන අතර වෙනත් ක්ෂේත්‍රයකින් සමාජයට සේවයක් කළ හැකි අය නූගතුන් ලෙස ඉවතට යනවා.කටපාඩමින් කෙසේ හෝ විභාගය සමත් වන අය කුලයකට පමණක් සීමා වූ දැනුම් සම්මතයක් ලබන අතර ප්‍රායෝගිකව රැකියාවකට ගොස් කටයුතු කරන්නට ඔවුන්ට හැකියාවක් ඇත්තේ නැහැ. මේ නිසාම, කර්මාන්ත ක්ෂේත්‍රයේදී කාර්යක්ෂමතාව බෙහෙවින් බිඳ වැටෙන අතර, එය වක්‍රාකාරව රටේ දේශීය නිෂ්පාදනයට බලපානවා.

ෆින්ලන්තයේ මේ වෙනුවට අපූරු ක්‍රමවේදයක් අනුගමනය කරනවා සම්මත පරීක්ෂණයන් සිදු නොකරන අතර ගුරුවරයා විසින් දරුවාට ගැලපෙන සේ සකසන ලද ඇගයීම් පරීක්ෂණ පමණක් සිදු කරනවා. ශිෂ්‍යා මත ස්වාධීනව පවත්වනු ලබන මෙම පරීක්ෂණයට ගුරුවරයා විසින් තීරණය කරනු ලබන ඇගයීම් මට්ටමක් යටතේ ලකුණු ලබාදීම සිදු කරනවා. සමස්ත ලකුණු පරීක්ෂා කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකරනවා. විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා (උසස් පෙළ වැනි) දරුවන් කැමතිනම් පමණක් ඉදිරිපත් විය හැකි විභාගයක් තිබෙන අතර එය සම්මතයක් වශයෙන් සැමටම තනි ප්‍රශ්න පත්‍රයක් ලබාදී තෝරාගැනීම් සිදු කරනවා. මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපන සම්මත මට්ටම බිඳවැටෙන්නේ ද නැහැ.

තරඟය වෙනුවට එකමුතුව 

දරුවන් අතර පන්ති කාමර අතර මෙන්ම පාසල් අතර පවා තරගකාරීත්වයක් නැති කරන්නේ අධ්‍යාපන ක්‍රමයේදී ලකුණු පාදක කරගත් දි ක්‍රමවේදය නිසා මේ හරහා අධ්‍යාපනික කරුණු හඹා යෑම වෙනුවට ලකුණු හඹා යෑමට සිසුන් පුරුදු වෙනවා. ඉන් එකිනෙකා අතර ඇතිවන තරගය නිසා ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමී බව වැනි සමාජයට පිළිලයක් වන ගතිගුණ ද දරුවන් අතර පැතිර යනවා. අතහැරුණු පාඩම බලාගන්නට සටහන් පොතක් ඉල්ලූ විට එය ලබාදීමට අපේ රටේ දරුවන් දෙවරක් සිතන්නේ තමන්ගේ මිතුරා තමාට වඩා ඉගෙන ගතහොත් එයින් තමන්ගේ ලකුණු මට්ටමට බලපෑමක් වෙතැයි යන පටු පරමාර්ථ මිසක් රටේ සමස්ත අධ්‍යාපනික දියුණුව සලකා නොවේ.

ෆින්ලන්තයේ හොඳම පාසල් හෝ හොඳම ගුරුවරුන් ලෙස වර්ගීකරණ ලැයිස්තූන් ඉදිරිපත් කරන්නේ නැහැ. ලකුණු ලබාදීමේ ක්‍රමවේදය මූලික අධ්‍යාපනයේදී ගුරුවරයා විසින්ම තීරණය කරන නිසා දරුවාට ගැලපෙන ඇගයීමක් ලැබෙන අතර, අනෙක් අය හා එය සැසඳීමට කිසිසේත්ම හැකියාවක් නැහැ. එවිට තමන්ගේ හැකියාවන් සාපේක්ෂව ගත් තනි-තනි ලකුණු නිසා එකිනෙකා පරයා යාමක අවශ්‍යතාවක් මතුවන්නේ නැහැ. එවිට, මාළු පැටවෙක්ට තමන්ගේ දෙමාපියන්ගෙන් “රාජාලියාගේ පුතා වගේ ඔයත් පියාඹන්න ඉගෙන ගන්න ඕනෑ!” ලෙස සංසන්දනය කිරීම් අසන්නට ලැබෙන්නේ නැහැ. එසේ කීම නිසා දරුවන් අතර තම මිතුරා පිළිබඳව තරහක්, ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. අවසානයේ සමාජ ජාලවල දෙපැත්ත බෙදී ප්‍රශ්න ඇති කරගන්නා විට ඒ වැඩිහිටියන්ම පැමිණ “ජාතික එකමුතුව” ගැන comment කරන ආකාරය ඔබ දැක ඇති. අධ්‍යාපනයෙන් ආකල්ප සංවර්ධනය නොකර, සමාජයට බැණ වැදීමෙන් ඵලක් නැහැ.

ළමයින්ගේ සහ සමාජ අවශ්‍යතාව හඳුනාගැනීම

අපේ රටේ පමණක් නොව ලොව බොහෝ රටවල අධ්‍යාපන රටාවන් පාදක වී ඇත්තේ වැඩිපුර ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම සහ ගණිතය, විද්‍යාව ට වැඩි අවධානයක් ලබා දීම යන පටු තරග වෙතයි. මින් දරුවන්ගේ මානසික සතුට, අනෝන්‍ය අවබෝධය සහ සෞඛ්‍යමත්බව යනාදිය අධ්‍යාපනික පරිසරය තුළ සැලකිල්ලට ගැනෙන්නේ නැහැ. ඉගෙන ගන්නා දරුවන් ඉදිරිපෙළට අරගෙන, දඟලන දරුවන්ට තලමින්, ඔවුන්ව වෙන් කර මානසික පීඩනයකට ලක් කොට පාසලෙන් ඉවතට ආ පසු යහපත් හැසිරීමක් බලාපොරොත්තු වීම මෝඩ වැඩක්. පෞද්ගලික උපකාරක පන්තියට එන ළමයින්ට වැඩිපුර සලකා, වැඩි ලකුණු ලබාගන්නා ළමයින්ව තමන්ගේ ජයග්‍රහණය කරගත්; මුදල් පසුපස හඹායන ගුරුවරු සමඟ හොඳ අධ්‍යාපනයක් ගැන කොහොම හිතන්න ද?

1980 කාලයේදී ෆින්ලන්තයේ උගතුන් මේ දේවල් ගැන උනන්දු වුණා:

  • සමාජ අසමානතාව දුරු කිරීමට අධ්‍යාපනය යොදාගැනීම
  • දරුවන්ට නොමිලේ ආහාර වේල් ලබාදීම
  • දරුවන්ට පහසුවෙන් සෞඛ්‍ය සේවා ලබාගත හැකිවීම
  • මානසික උපදේශනයන් ලබාදීම
  • ස්වාධීනව, දරුවාගේ හැකියාවන් පාදක කරගත් අධ්‍යාපනයක් ලබාදීම

මානසික සෞඛ්‍යය අත්‍යාවශ්‍යයි

පාසල්වල පමණක් නොව ආසියානු කලාපීය රටවල් වල මානසික සෞඛ්‍ය පිළිබඳව වැඩි සැලකීමක් දක්වන්නෙ නැහැ. තමන්ගේ හිතේ තිබෙන ගැටළුවකට මානසික වෛද්‍යවරයකු ගෙන් ප්‍රතිකාර ගැනීම තමා පිස්සෙක් බවට පත්කරනවා යැයි අපි සිතනවා. අනෙක් අය ඒ ගැන දැනගත්තොත් අපි ගැන එහෙම සිතාවි යැයි අපි බයයි. අවසානයේ නිසි ප්‍රතිකාර නොගැනීම නිසාම උමතු භාවයට පත්වීම බහුලව දකින්නට පුළුවන්. නිවසේ ඇති ආර්ථිකමය ප්‍රශ්න, දෙමව්පියන්ගෙන් හෝ භාරකරුවන්ගෙන් ඇතිවන බලපෑම්, අතවරයන් ආදිය නිසි මානසික උපදේශනයන් යටතේ සැලකිල්ලට නොගැනීමෙන් වැඩිහිටි වියට පැමිණි විට මේ දරුවන් උමතු අය බවට පත් කරවනවා. අවසානයේ, සමාජ වෛරයෙන් පිරි මිනිසුන් පිරිසකුයි බිහිවන්නේ. ෆින්ලන්තය පාසල තුළ මානසික සෞඛ්‍යය සැලකිල්ලට ගන්නා නිසා එවන් ගැටළු බොහොමයක් විසඳා ගන්නට හැකිව තිබෙනවා.

ඉස්කෝලෙ පටන් ගන්නේ 9ට, විනාඩි 15 බැගින් ‍විවේක කාලයන්

ෆින්ලන්ත දරුවන්ට උ‍දේ පාන්දරම නැගිටින්න ඕනෑ නැහැ. පාසල ඇරඹෙන්නේ 9ත් 9:45ත් අතර නිසා හොඳ නින්දක් ලබා, උදෑසන ආහාර අරගෙන ජවයෙන් යුතුව පාසලට යන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. පාසල අවසන් වන්නේ සවස 2:00ත් 2:45ත් අතර යි. හැම විෂය කාලපරිච්ඡේදයකට ම වරක් විනාඩි 15ක විවේකයක් ලැබෙනවා. එපමණක් නොවෙයි, විවේක කාලයත් විනාඩි 75ක් ලබා දෙනවා. පැය බාගයකට පමණ සීමා කළ අපේ අධ්‍යාපන රටාව ආහාර ගැනීමට, සෙල්ලම් කිරීමට වෙලාව ලබා දෙන්නේ නැහැ. ‍එවිට දරුවන් කටට-දෙකට කා පිට්ටනිය වෙත දුව යනවා. උදේම නැගිටලා එන්න වුණ නිසා උදේට හරියට කන්නවත් වෙන්නේ නැහැ. සෙල්ලම් කිරීමේ ආසාව නිසා දවල්ටත් නොකා හිටියාම සෞඛ්‍යය ගැන කවර කථා ද! පාසල අවසන් වුණාමත් හැකි ඉක්මණින් කෑම කා අමතර පන්ති වෙත යන්නට ඔවුන්ට සිදු වෙනවා. මේ නිසා ඔවුන්ගේ ජීවිතය පීඩනයෙන් පිරුණු නීරස දෙයක් බවට පත්ව තිබෙනවා.

පර්යේෂණ වලින් පවා ඕනෑවට වඩා උදෑසනින් කටයුතු ඇරඹීම සෞඛ්‍යයට අහිතකර බව සනාථ කර තිබෙනවා.

ගුරුවරයෙක් පැය 4ක් උගන්වා පැය 2ක් ඇගයීම් කරනවා

පාසලේදී ගුරුවරුන්ට දරුවන්ට ඉගැන්වීමට ගත කළ යුත්තේ පැය 4ක් පමණයි. මේ නිසා එක් කාල පරිච්ඡේදයකට වෙන්වන කාලය අඩු වෙමින් දරුවන්ට වරකට ලැබෙන දැනුම ප්‍රමාණය අවම වෙනවා. එවිට පැය ගණනාවක් උගන්වා දරුවන් වෙහෙසට පත් කරනවා වෙනුවට උගන්වන කුඩා ප්‍රමාණය හොඳින් මනසෙහි තැන්පත් කරමින් කාර්යක්ෂම බුද්ධි මට්ටම් ගොඩනැගීමක් කළ හැකි වෙනවා. සෑම ළමයෙක්ටම ගුරුවරයා කියා දෙන සෑම අකුරක්ම නොතේරෙන නිසා (ඉගෙනීමේ Capacity එක වෙනස් නිසා) දුර්වල ශිෂ්‍යයෙක්ට පවා මෙලෙස කුඩා කාල පරාසයක ඉගැන්වෙන දේ ධාරණය කරගෙන පසුදාට නැවුම්ව පාඩමට පිවිසෙන්නට හැකි වෙනවා.

ශිෂ්‍යයන්ට ස්වාධීනව ඇගයීම් ලකුණු ලබා දෙන නිසා ඉතිරි පැය 2 ගුරුවරයා ඒ වෙනුවෙන් වැය කළ යුතු වෙනවා. එක් එක් දරුවන්ගේ ප්‍රගතිය සමාලෝචනය කරමින් ඔවුන්ට වඩාත් හොඳ ඉගැන්වීමක් කළ යුතුද, තිබෙන අඩුපාඩු මොනවාද යන්න අවබෝධ කරගන්නට එවිට අවස්ථාව ලැබෙනවා. අපේ ගුරුවරු පේපර් මිටියක් ගෙදර ගෙනැවිත් පීඩනයට පත් වෙමින් එහි ලකුණු කරනවා. නමුත් එරට පාසල් කාලයෙන්ම එය වෙන් කර දෙන නිසා අනවශ්‍ය පීඩනයක් ගුරු-සිසු දෙපාර්ශවයට ම ලැබෙන්නේ නැහැ.

ජාතික විෂයය මාලාව මාර්ගෝපදේශනයක් පමණයි

“ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය” ලෙස විශාල පොතක් අපේ ගුරුවරුන්ට ලැබුණාම ඔවුන්ට එය එලෙසින්ම දරුවන්ට පොවන්නට සිදු වන්නේ රජය විසින් සකසන විභාගයන් එය මතම පදනම් වෙමින් ලැබෙන නිසායි. නමුත් ෆින්ලන්තය ශිෂ්‍ය කේන්ද්‍රීය නිසා රජය විසින් ලබාදෙන විෂයය මාලාව මාර්ගෝපදේශයක් ලෙස පාවිච්චි කරමින් දරුවාට ගැලපෙන ආකාරයට කියා දීමයි ගුරුවරයාගේ වගකීම වන්නේ. මේ නිසාම කටපාඩම් ක්‍රමය වෙනුවට හැකියාවට ගැලපෙන බුද්ධියක් ලබන්නට ඒ දරුවන්ට අවස්ථාව ලැබෙනවා. විභාග ඇගයීම් පවා සකසන්නේ ගුරුවරයා බැවින් ඔවුන්ට විභාගවලට මුහුණ දීමේදී ගැටළු ඇතිවන්නේ ද නැහැ.

පොදුවේ එකම දේ උගන්වනවා වෙනුවට පුද්ගලයාගේ ස්වභාවය අනුව ඉගැන්වීම පිළිබඳ සංකල්පය පදනම් කරගත් ක්‍රමවේදයන් අද තාක්ෂණික ‍ලෝකයේ පවා දකින්නට ලැබෙනවා. නූතන දුරකතන පවා පුද්ගලානුරූපව හැකියාවන් හැඩ ගස්වා ගන්නේ හැමෝටම පොදු පද්ධතියක් ලබා දෙනවාට වඩා පුද්ගලයාට වඩාත්ම ගැලපෙන දේ, ගැලපෙන ආකාරයට ලබාදීම අත්‍යාවශ්‍ය කටයුත්තක් නිසායි. අතේ ඇඟිල් පහ, ආකාර පහකට ඇතිවාක් සේ ම හැමෝගේම බුද්ධිය එකම ආකාරයකින් පිහිටන්නේ නැහැ. දරුවාට වඩාත් ගැලපෙන ආකාරය අවබෝධ කරගෙන ඉගැන්වීම මගින් හැමෝම එකම මට්ටමකට ගෙන එන්නට හැකි වෙනවා. නැත්නම් දරුවන්ට ඉතිරිවන්නේ, අවුරුදු 13ක් පමණ තමන්ගේ ජීවිතයෙන් උදුරා ගැනීමක් පමණයි. එරට ගෙදර වැඩ පවා ලබා දෙන්නේ සීමාසහිතව යි.

අධ්‍යාපනයට නිදහස් වටපිටාවක්

දරුවන් කරන හැම දේටම ගහන-බනින, වෙලාවට ආහාර ගැනීම්, විෂය කාලච්ඡේද ආදියෙන් පිරුණු හමුදාමය පාසල් පද්ධතියක් වෙනුවට නිදහස් වටපිටාවක් පාසල තුළ ගොඩනැගීමෙන් අධ්‍යාපනයට සුදුසු මානසික මට්ටම් දරුවන්ට ඇති කරලන්නට ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය කටයුතු කරනවා. ගුරුවරුන්ට පවා ඊළඟ පාඩමට සූදානම් වීමට, සමාජගත වීමට අවස්ථාව ලබා දෙමින් ඔවුන් සතු පීඩනය ද අවම කර තිබෙනවා. ගුරු-සිසු දෙපිරිසම පීඩනයකින් තොරව නිදහස්ව සිටිනා විට ඔවුන් අතර ගැටුම් ඇතිවීම ද අවම වෙනවා. නිවසේ ඇති ප්‍රශ්න දරුවන් පිටින් යවනවා වෙනුවට තමන්ගේ මනස නිදහස් කරගන්නට ගුරුවරුන්ට හැකි වෙනවා.

දරුවන්ට ආහාර ගැනීම සඳහා දවස තුළ අවස්ථාවන් කිහිපයක් ම ලැබෙනවා. එනිසා ප්‍රධාන විවේක කාල‍යේදීම ආහාර ගැනීමට ඔවුන්ට බල කිරීමක් සිදුවන්නේ නැහැ. පාසල යනු “ජිවිතය” නොව, පාසල හුදෙක් ජීවිතයේ කොටසක් බවට පත් කර දෙමින් එය හිසරදයක් නොවන ආකාරයට හැඟීම් ජනිත කරවන නිසා අධ්‍යාපනය එපා වීමක් සිදුවන්නේ නැහැ. අමතර පන්ති නොමැති බව සහ පාසලෙන් දෙන ගෙදර වැඩ අවම නිසා පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කරන්නට ඔවුන්ට හැකි වෙනවා. ආතතියකින් තොරව ඉගෙනීම බුද්ධි වර්ධනයට බොහොම බලපාන නිසා මේ අධ්‍යාපන රටාව එරට දරුවන්ගේ මාසික සෞඛ්‍යය ද රැකගෙන, මානසික අවපීඩනය, නිවසෙන් දුරස්වීම නිසා ඇතිවන තනිකම වැනි ගැටළු රැසක් කුඩා කාලයේ ම මඟහරවනවා. ඉන්, වැඩිහිටි වියට එළැඹීමෙන් පසුවද පීඩනයකින් තොරව ජීවිතය ගෙවන්නට අවශ්‍ය පුරුදු පුහුණු වීම් ලැබෙනවා.

By Thambaru Wijesekara

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.