Categories
Web Sites

Memes බලන්න ෆේස්බුක් නෙවෙයි 9GAG යන්න

ඔබ විවිධාකාරයේ image posts බලන්න පාවිච්චි කරන්නේ ෆේස්බුක් නම් ඒක හරියට ගමරාලගෙ අමුඩෙන් මඤ්ඤොක්කා තම්බනවා වගේ වැඩක්. ගැලපෙන දේට ගැලපෙන දේ එපෑය පාවිච්චි කරන්න. ඉතින් මේ 9GAG ගැන බොහෝ දෙනක් නොදන්න නිසා මම හිතුවා ඒ ගැන ලියන්න. මොකද ඔය ෆේස්බුක් එකේ ඔබ දකින Memes 80%ක් ම විතර මේකෙන් සම්භවය වුණු ඒවා තමයි. අනික ඒකට වඩා මේකෙ ඒවා බලන එකත් ලේසියි.

මොකක්ද මේ? ෆේස්බුක් වගේ එකක්. අන්න ඒක තමයි ලංකාවේ “සමාජ ජාලයක්“ කියන එකට අර්ථ දැක්වීම. ඒ වුනාට ඒ රාමුවෙන් එළියට ඇවිත් අනිකුත් සමාජ ජාල වෙබ් අඩවිවල තියෙන ‘ආතල්‘ එකත් අඳුරගන්න පුරුදු වෙන්නට ඕනෙ. මොකද එතකොට තමයි හැම දෙයක් ම විවිධ පැතිවලින් දකින්නට පුළුවන් වෙන්නේ.

Advertisement

මේ වෙබ් අඩවිය ඇරඹුණේ 2008 වර්ෂයේදී හොංකොං විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් වන රේ චාන් සහ ඔහුගේ සහෝදරයා වන ක්‍රිස් ඛාන් දෙදෙනාගේ මූලිකත්වයෙන්. ඊට මූලික හේතුව වුණේ ඒ කාලයේ ඊමේල් හරහා විවිධාකරයේ අරුම පුදුම දේවල්, හාස්‍යජනක දේවල් ආදිය ඇතුලත් ඡායාරූප බෙදාගන්නට පටන් ගැනීමත් සමඟයි. ඉස්සර නෙවෙයි තවමත් හිටපු ගමන් මටත් ඊ මේල් වලින් ඕවා එනවා. තියෙන වැඩ අස්සෙ ඔය වගේ එකකටත් ෆෝන් එක කෑ ගහන්න ගත්තාම.. හම්මේ ඉතින්. මේ විධියට ස්පෑම්ස් වගේ අනවශ්‍ය වෙලාවට කරදරයක් වෙන ඊමේල් නවත්වලා ඒ වෙනුවට ඒවා බෙදාගන්න වෙබ් අඩවියක් ලෙස උත්පත්තිය ලැබූ 9GAG, මේ වන විට GIF, සළරූ දක්වා ම දුරගොස් සිටිනවා.

මෙහි 9GAG යන නම ඇතිවුණු ආකාරය නම් අපැහැදිලියි. ඉංග්‍රීසියෙන් Gag ලෙස රැවටීම යන්න අදහස් වන නිසා ඒ ආකාරයේ අන්තර්ගතයකින් යුත් පළකිරීම් කියලා හිතන්නට පුළුවන්. එතකොට මොකක්ද 9? හැබැයි වැඩේ කියන්නෙ රේ චාන් සම්මුඛ සාකච්ඡාවකදී මෙහි නම ඇතිවුණු ආකාරය හෙළි කිරීම ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. ඉතින් ඔවුන්වත් හරිහැටි නොකියන හින්දා ඩොම්න් එක ගන්න 9ක් දැම්මා, සිම්පල් g අකුරම අනිත් පැත්තට දාලා.. වගේ ඕනම විධියකට කෙනෙක්ට කියන්න පුළුවන්. තවත් මතයක් තමයි චීන බසින් ලෑන් (爛) යන්න ඉංග්‍රීසි ‘නයින්’ ? වගේ ඇහෙන නිසා “හිනා නොයන විහිළු“ යන පරිවර්තිත අර්ථයෙන් ඒක ඇවිත් කියන එක. මොකක් වුණත් අද අල නෑනේ.

මෙහි තේමා පාඨය වෙන්නෙත් “විනෝදය වෙනුවෙන්” (Just for fun) නිසා අපිට කොහොමටවත් අදාල නෑ කිසිවක් විනිශ්චය කරන්නට. ඒ වගේම DC Comicsහි බැට් මෑන් චිත්‍රපට මාලාවේ එන ජෝකර්ගේ කියමනක් වන “ඇයි ඔච්චර බරපතළ?” (Why so serious?) යන්නත් මෙහි භාවිතා වෙනවා. නම් ගම් දාතම කොහොමනමුත් මෙහි දකින්නට ලැබෙන දේවල් නම් බොහොම සිත් ගන්නවා.

සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් පටන් ගත්තාම අපිම සේරම ඒකෙ යාවත්කාලීන කිරීම්, පවත්වාගෙන යෑම් ආදිය කරන්න වෙනවානෙ. මේ පේන්නෑ? මාත් බ්ලොග් එකකට කරගහලා, ඔහෙලාට එක එක ඒවා ලියන්න වෙලානෙ. 😛 හැබැයි මේ වෙබ් අඩවියේ අගේ ඇති දෙයක් තියෙනවා. ඒ තමයි නිර්නාමික බව. ඔබ පළකරන දේවල් ඔබේ ගිණුමේ නමින් නෙවෙයි මෙහි පෙන්වන්නේ. ඒ නිසා හැම එකට ම නම දමාගැනීමේ කැසිල්ල තියෙන කෙනෙක්ට නම් මෙය ගැලපෙන එකක් නැහැ. හැබැයි හොඳ පැත්ත ගැන හිතුවොත්, නමට කැළලක් කර නොගෙන ඕන මගුලක් මේකේ දාන්න පුළුවන්. ඉතින් මෙහෙම නම නැතිව පළ කෙරෙන නිසා ඔබේ ම පෝස්ට් එකක ඔබ ම කමෙන්ට් කළොත් එය “OP” (Original Person) ලෙස ඔබේ නමට ඉදිරියෙන් පෙන්වනවා. ඒ වගේ ම අපේ ප්‍රොෆයිල් එකේ ලින්ක් එකක් දන්න කෙනෙක්ට හෝ ඔබ කොහෝ හෝ දාපු කමෙන්ට් එකකින් ප්‍රොෆයිල් එකට පිවිසුණු කෙනෙක්ට නම් හැබැයි ඔබ දාපු ඔක්කොම පෝස්ට්ස් එහි පෙන්නනවා.

මගේ පෞද්ගලික අත්දැකීම අනුව නම් ෆේස්බුක් එකට වඩා මෙය ඇබ්බැහි වීමේ ශීඝ්‍රතාව වැඩියි. අන්තර්ජාතික පසුබිමක් තියෙන නිසා, ඒ කිව්වේ පළ කිරීම් සියල්ලම එහි සිටින සියළුම දෙනාට privacy බාධාවකින් තොරව පෙනෙන නිසා තිබෙන පෝස්ට්ස් සියල්ලම ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ. අන්න ඒ භාෂාමය බාධකය හැරුණාම මෙහි පළවෙන දේවල් බොහෝවිට අධ්‍යාපනික, හාස්‍යජනක යන වර්ග දෙකට වෙන් කරන්න පුළුවන් අගනා සේවාවක්. මම ඔෆිස් එකේ දවල් විවේකය එනකම් ඉන්නේ 9 ඉලක්කම බ්‍රවුසර් එකේ ගහලා enter කරන්න. ඒ නමින් වෙන වෙබ් අඩවි නැති නිසා history save වුණාට පස්සෙ උඩින් ම එන්නෙත් මේක තමයි. මේ වෙබ් අඩවිය ඔබ ලියාපදිංචි නොවී බලනවා නම් කාර්යාල පරිසරයට නුසුදුසු දේවල් ඇතුලත් පෝස්ට් NSFW ලෙස කළු පැහැයෙන් ආවරණය කර අනෙකුත් ඒවා පමණක් පෙන්වන නිසා ඔබේ පරිගණක තිරය දැක්කොත් ලොක්කා වැරදියට හිතන එකක් නැහැ.

ප්‍රවෘත්ති බලනවාට වඩා ලෝකෙ සිද්ධ වෙන බොහෝ දේවල් මේ හරහා ඉක්මණින් ම ලෝ වටා ජනතාවගෙ අදහස් එක්කම මෙමගින් දකින්නට ලැබෙනවා. ඉතින් ඔබ මේකට පුරුදු වුණොත් “මාත් පත්තරයෙන් තමයි දැක්කෙ” වෙනුවට 9gag එකෙන් දැක්කා කියලා කියන්නට පුළුවන්. ෆේස්බුක් එකේ memes බලනවානම් එක්කො කවුරුහරි share කරපු එකක් හෝ තියෙන pages එකින් එකට යන්න වෙනවානෙ. හැබැයි මේක memeවලට ම වෙන් වුණු සමාජ ජාලයක් නිසා ලැබෙන අත්දැකීම හරිම වෙනස්.

ඇන්ඩ්‍රොයිඩ් සහ iOS දෙකට ම මෙහි මොබයිල් ඇප්ස් තියෙනවා වගේ ම බ්‍රවුසරයෙන් වුනත් කරදරයක් නැතිව සියල්ලම බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෙනෙක්ට සමාජ ජාල වෙබ් අඩවියක් හඳුන්වා දුන්නාම මුලින්ම අහන එක තමයි චැට් කරන්න පුළුවන් ද? කියන එක. මට ඕක වැඩිපුරම වෙලා තියෙන්නෙ ට්විටර් ගැන කියන්න ගියාම. ඒකෙත් මැසේජ් යවනවා මිසක් ඔන්ලයින් ද ඕෆ්ලයින් ද බලාගන්න බැහැනෙ. ඉතින් මේ 9GAG එකෙත් එහෙව් එකක් කොහෙත්ම නැත.

ගොඩක් වෙලාවට 9gag එකේ දකින්න ලැබෙනවා ගිෆ්-ජිෆ් වලි. ඒ කියන්නේ විවිධ අය GIF කියන එක ශබ්ද කරන එක වැරදි නිසා Civil War meme එකකුත් එක්ක වරක් මේක දකින්නට ලැබුණා. හරි ශබ්ද කිරීම තමයි “ගිෆ්”. ඒ වගේ ම පසුගිය කාලයේ ම ලියොනාඩෝ ඩිකැප්‍රිෙයා් ඔස්කාර් එක නොලැබීම ගැන විවිධාකාර මීම්ස් තිබුණා. ඒක ලැබුණු දවසේ මුළු 9GAG එක ම ඒ පුවතින් වැහිලා ගියා. මුළු ටයිම්ලයින් එකේ ම තිබුණු ඒවා ඒ ගැන ඒවායි. ඒ විතරක් නෙවෙයි තාමත් ඒ ගැන දාලා කියනවා, මේක Internet Explorer වලින් ඒ කාලෙ upload වෙන්න දාපු එකක් කියලා.

ගිහින් බලන්න, මේකෙ Images සඳහා 9GAG.com ලෙසත්, Videos සඳහා 9GAG.tv ලෙස වෙබ් අඩවි (මුහුණත්) දෙකක් දැන් තිබෙනවා. හැබැයි පුතේ ගිහින් අතරමං වෙන්නැතුව ආයෙ මෙහෙ ඇවිත් ලැබුණු අත්දැකීම කොහොමද කියලා මටත් කියන්න.

8 replies on “Memes බලන්න ෆේස්බුක් නෙවෙයි 9GAG යන්න”

අනිවාර්යයෙන් ගිහිල්ලා බලනවා. මොකද මාත් ෆේස්බුක් යන්නේ ඕවා බලන්නමයි.

Used to use the site since 2010 or so. It was super fun those days than now 🙂 but still when Facebook becomes boring 9gag is the place to be

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page