Categories
What I see

Aashiqui 2 – මගේ ඇසින්

ඔව් ඔව්! ඊයෙ රෑ Hiru එකේ තමයි බැලුවෙ. වැඩියත් ම බලන්න කල්පනා කරේ මොකද අෆ්ෆා මේ කට්ටිය නැහෙන්නෙ කියලා බලන්ට. මීට කලින් ඕකෙම මං බලලා තිබුණු English Vinglish, කහානි, Paa, Black ආදියේ තිබුණු සම්භාව්‍ය සාරගර්භය මෙයින් ද ලැබෙතැයි අපේක්‍ෂාවෙන්. මේ ලිපිය ලියන්න හිතුවෙත් බොහෝ දෙනෙක් මේ ගැන මා දරන මතය දැනගන්නට ආසාකළ නිසාත්, එක ම හැමට එකාකාරයෙන් කියන්නට මා අපොහොසත් නිසාත් ය.

ජීවිතය යනු තර්කයක් කියලා විතරයි කියලා හිතුවොත් ඒ කොල්ලා (රාහුල්) කරපු දේ හරි. කෙල්ල (ආරෝහි) ගොඩ යයි කියන චේතනාවෙන්. අන්තිමට දීපු ආදර්ශෙ– තවත් අසාර්ථකත්වයක් ඇති නොකිරීම බොහොම හොඳයි. ප්‍රේක්ෂක හදවතට ‘දැනෙන කොටස’ සඳහා යොදාගත් ‘සියදිවි නසාගැනීම’ අඩුගානේ ඊට වඩා හොඳ ආකාරයකට විදහාලන්නට තිබුණා.

 
හැබැයි නාට්‍ය ශෛලිය, කැමරා උපක්‍රම අතින් පොහොසත් නැහැ. මට නම් ඇඬුනෙ නැහැ. පාඨකයාට හිතාගන්න දෙයක් ඉතුරු කරලත් නැහැ. සාමාන්‍යයෙන් හොඳ කෘතියක් අවසානයේ හිතට වදින අමුතු ආකාරයේ ඉදිරිපත් කිරීමක් තියෙනවා. නමුත් මෙහි එය විදහාලපු ආකාරය අසමර්ථයි.
තවදුරටත් කල්පනා කරොත් මෙය මාර්ටින් වික්‍රමසිංහයන්ගෙ ‘විරාගය’හි කණපිට කතාවක් ලෙසත් මට පෙනුනා. විරාගය සිනමා කෘතියේ ‘බතී’ චරිතයත් ‘ආරෝහි’ විදියම යි. හැබැයි එහිනම් ‘මුහුකුරා යාම’ එහෙම නැත්නම් ආශිකි එකේ විදියට ‘ඉහළට යාම’ හමුවේ වෙනස්වන ආකාරයත් පසුව එය අවබෝධ කරගන්නා ආකාරයත් අපූරුවට දක්වා තිබෙනවා. එහි ආරෝහි ව ‘බතී’ සහ ‘සරෝජිනී’ යන දෙචරිතයන්ට බෙදා මනාව නිරූපණය කරලා තියෙනවා. ආරෝහි මතදී එය සම්පූර්ණයෙන් පටලැවිල්ලක්!

 

IMDBහි ලොව දෙවැනියට හොඳම චිත්‍රපටය වූ God Father හි Love තේමාව (Speak Softly ගීය) පියානෝවෙන් වයමින් පසුබිම් වාදනය කරන ආශිකි නිර්මාණකරුවා මෙයට ද පෙර කෘතියකින් ආදරය ඔබ්බවන්නට වෑයම් කරයි. එසේ ම හින්දි සිනමා විලාශය තවදුරටත් අනුගමනය කරමින් ප්‍රේක්ෂකයාට නොදැනෙන පරිද්දෙන් ගීත රැසක් ම ඇතුලත් කොට තිබෙනවා. ඒවාට යොදාගත් රූපරචනයන් බොළඳ නැතිවීම විශේෂයි. බොහෝ දුරට හැඟීම් වලින්, මුහුණෙ ඉරියව් වලින් තමයි එය ඉදිරිපත් කරන්නෙ.

 
බොහෝ දෙනෙක් මේ නිර්මාණය රසවිඳලා තිබුණෙ තම තමන්ගෙ ආදරවන්තිය ‘ආරෝහි’ බවට පත්කරගෙන! හැමට වැරදුණු තැන එතැනයි. බන්ධනයන් නොමැති බවේ වාසියක් මෙවරත් සිහිකරමින් මම මෙහි වූ ‘ආරෝහි’ චරිතය එලෙසින් ම දුටුවෙමි. ඈ බොළඳ නැතිබව අගභාගයේ දක්වාලන්නට අධ්‍යක්ෂකවරයා වෑයම් කළත් ‘රාහුල්’ හා රාත්‍රී පිළිසඳරෙහි යෙදීමෙන් පසු ඈ කාමරයට විත් කෑ ගසා සතුට ප්‍රකාශ කිරීමෙන් එහි ප්‍රබලත්වය අඩුකරගති. ආර්ථික අපහසුතාවය බලවත් නම් අර එළවළු විසිරී ගිය කල ඈ සියල්ල අතහැර ගියේ කෙසේ ද? මුදල් නොගන්නට තරම් නිහතමානී නම්, ඇය රාහුල්ට ම ඇහිඳින්නැයි දැඩිවූයේ ඇයි?

 

විවේක් යනු තේමානුරූපීව අනවශ්‍යවූවත් කථානුරූපී සබඳතාව ඇතිකරන්න යොදාගත් වැදගත් චරිතයක්. (ඒ කිව්වෙ අර වේදිකා නාට්‍යවල කථාව කියලා දෙන පොතේගුරා වගේ.) ආරෝහිගේ මව ඉතා ම ස්වාභාවිකය. ඇගේ කොටස ඉතා හොඳින් විදහා ඇත. මුදල් නැතිවුවත් ලොතරැයි ගනියි. පියාගේ චරිතයේවූ නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග පිළිසකර කරදීම මට සමීප චරිතයක් සිහිකරවීය. මව බණිද්දී එය අත්සංඥාවෙන් නවතමින් කරුණාබර පියවරයෙකු බව හඟවයි. තම සහකරුවාට ආදරය කළ යුතුය. එකල්හි මව පියා අමතක කැරැලීම කෙතරම් සාධාරණ ද? සිතන්න. ආරෝහි යනු හොඳ චරිතයක් බව උද්දීපනය කරන්නේ නම් ඈ සතුව ඒ ගතිගුණ තිබිය යුතු නොවේද? ඇගේ මවපියන් ආ බව් ද නොතකා ඇගේ පළමු සම්මානය ලබන උත්සවයේදී කටයුතු කළ අයුරුයි මා සිහිගැන්වූයේ. ඉහළට යන්නට අතදුන් අය සිහිකළ යුතුය, අගයමි! මෙලොවට බිහිවන්ට අතදෙන අය නොමැත්තේ නම් පමණක්.

 

නිතර ම බෝතලය කටතබාගත් රාහුල් අනුග්‍රාහකභවතුන් නියෝජනය කරනවාදැයි මට සැක ය. මන්ද, ආදරවන්තිය අයැද සිටිද්දී හරි ප්‍රේමවන්තයෙක් නම් අඩුගානේ එය හදාගන්නට තිබිණි. ආරෝහි තමා නැගිටවාලන්නට වෙර දරද්දී ඉන් ප්‍රයෝජන ලබන්නට තිබිණි. (හැබැයි මෙවන් චරිත නම් සමාජයේත් ගොඩක් තියෙනවා.) ආරෝහි සෛගල් අංකල්ට හඳුන්වාදෙද්දී රාහුල් බිම පෙරළෙමින් සිතැති උනන්දුව පෙන්වන්නට අධ්‍යක්‍ෂකවරයා කටයුතු කළත් එය දැඩි චරිතයකට අනිසි ලෙස බොළඳත්වයක් ආරෝපණය කිරීමෙකි. කෙසේවතුදු, ගොමෙන් වුව පැණි හිඳින්නාසේ නොහික්මුණු මේ චරිතය තුලින් අපට ලබාගන්නට ගොඩක් ආදර්ශ තියෙනවා. කරන දේ හරියට කිරීම, ලබාගත් කීර්තිය රඳවා ගැනීම ආදිය. ප්‍රබල චරිතයක් වන්නට නම් තමා ද ඒකීව සිටිමින් අනෙකාට අතදීම සාර්ථකත්වයත්, සිනමාවේ ඒකාකාරිත්වයත් දක්වන බැවින් මෙහි එය වෙනස් මගකට යොමුකර තිබෙනවා.ජී.බී. සේනානායකයන්ගෙ කෙටිකතා අවසන් කරන ශෛලියවූ “ඉන්පසු කිසිදෙනෙක ඈ නොදක්නා ලදී.” (- සපත්තුව කෙටිකථාව) වැනියමක් භාවිතා කළානම් දිවිනැසීමට වඩා යෝග්‍යවන්නට තිබිණි. තම අනතිමානීත්වය පවත්වා ගනිමින් දුරක සිට ඇගේ සාර්ථකත්වය බලමින් සතුටු වන්නකු මවාලන්නට තිබිණි.

 
ගායකයකුගේ නියම ජීවිත තත්වය එහෙම නැත්නම් තම ශාරීරික විශේෂත්වයක් පදනම් කරගෙන වෘත්තීන් කරන සෑම චරිතයකටම අත්වන ඉරණම හොඳින් දක්වා තිබෙනවා. තව කලෙකින් ආරෝහිට වනු ඇත්තේ ද මෙයම යි. අපේ රටේ පැරණි ගායකයන්ට සිදුවී ඇත්තේත් එයයි. එහෙයින් එවැන්නන් වයසට ගියපසු මස්කඩයට දක්වන්නේ ද? යන්න මින් උදෘත කරගත හැකියි.

ඔබ මෙය දකින්නේ කෙසේද? මගේ දෘෂ්ඨියේ වැරදි තිබිණිද? Comment පහසුකම ඇත්තේ එයටයි. 😀 😉

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.