ඒ/ලැවැල්ලේ ලියූ හැටි

අගෝස්තුව ද අහවර ය. දැන් ය ජීවිතය පටන් ගන්නේ. ආතල් අහවරය. දැන් ය වගකීම් පටන් ගන්නේ. බලහල්ලාකො මේ මාසෙකට කරන්න පුළුවන් දෙයක් නේදැ? 😛 මොනවා කරන්නද.. හැමෝම මූණදෙනවනේ කියලා හිතහදාගන්න ට්‍රයි එකක් දැම්මත් සංසන්දනය කියන එක මොකක් හරි කරුමෙකට uninstall වෙලා ගොඩක් කල්. ඉතිං මටද මා නැතිඋණා? සත්තයි, එකසැරේම 😮 පාසලට මොන්ටිසෝරි කාලෙදි මැරීගෙන ලව් කරාට.. වැඩේට බැස්සම, ඉවර වෙනකං අඬාඬ හිටියා. ඔන්න දැන් ආයෙත් ස්කූල්සික් හැදිලා. කරන්නට දෙයක් නැත. සික් නෙහ්? 🙁

ඒ/ලැ වලේ අඩකදි මට වෙච්ච සන්තෑසි ඔබ දැනටමත් කියවා ඇත. (යැයි සිතමි. 😛 ) එහෙයින් පත්තරකාරයෝ වගේ එක එක ම කාල් ගාන්නට මම ආසා නැත. ඒ පත්තර කියවන්නට ගොස් මට වුණ සන්තෑසියකි. හෙඩිං එකේ අලි දහසෙකි. අගට යනවිට ලියන්නාට ද එවැන්නක් ෂුවර් නැති බවෙකි. තීරණය පාඨකයාගේ ය. ගහපු බෙරේකුත් නැත, සියඹලා ගෙනල්ලාම ද නැත. 😀

2013 පටන් ගත්තායින් ම පස්සේ මම සති 2-3කට වඩා පාසල් යන්නට නැතිවා ඇත. ඒක සාමූහිකව බෝවෙන රෝගයක් නෙ?! 😉 ඔන්න නිකං හරි ඒක ඔපීසියැල් කරගන්න ඕනැඋනාම අපි කියන්නෙ Study Leaveය කියලා. පොඩි කාලෙ බලෙන් හරි පාසල් යවන මාපියෝ ද මේ කාලයේදී තමන්ගේ එකාව හෝ එකීව පාසල් යවන්නට මේ කාලයේ වධ වෙන්නේ නැත. දවසක් හරි ගෙදර ඉඳං පාඩම් කරපල්ලා..! ඒ උනාට ගෙදර ඉඳං වැඩ කෙරෙන තරම දන්නේ අපි අපි මය.

ඉස්කෝලේ ගියත් වළට අදින්නෙක් කොහෙන් කෝ මුණගැසේ. ඒ නිසා කයියකට සැට් වීම හෝ රස්තියාදුවක් ගැසීම අපේ උන්දැලාට අත්වන නියත සංසිද්ධියකි. 😀 (වාසනාවට IT room එක මගේ පිහිටට හිටියෙ 🙂 ) මොකද, පුස්තකාලෙට ගියත් කාඩ්ටික ඔක්කොම පෙරළලා පෙරළලා හොඳ පොතක් හොයාගෙන තමන්ගෙ පාඩුවෙ පැත්තකට වෙලා පාඩම් කරන්න හිත හදාගන්න ම බැරිය. එක්කෝ හරියට ම වෙලාවට හැඩවැඩ ගුරුතුමියක් ඉස්සරහින් හිඳී. නැත්නම් පුස්තකාල මිස් හා අයියා (එතුමිට අක්කාය කියන්නට බැරිය. දෙන්නාම වයස උනාට වෙනත් කාරණාවක් හොඳේ? 😉 ) මහා හයියෙන් එකවර කොක්හඬලා සිනාසේ. ඉතින් අපිට ද ඒ කුමකටදැයි කුහුලක් ඇතිවේ. ඔවුන් කුටු කුටු ගානවිට හඳපානේ පැනලා යන්ටදැයි අසන්නට මුත්තා කෙනෙකු කුලියටවත් ගත යුතු ය. 😀 (හැබැයි අපි ‘හ්ම්‘ කිව්වොත් අහගන්න පුළුවං ගමකට!)

ලැබ් එකට ගියාම වෙන දේවලුත් මං කිව්වනෙ. ඒකෙත් මළවිකාර වැඩ තමයි වෙන්නෙ. අපිට ඕවැයි බරක්පතළක් නැති හින්දා රස සාගරයක් තමයි. 😀 ලැබ් අක්කාට බයිට් එකක් දෙන එක තරම් දෙයක් අපේ උන්ට තවත් නැත. (මං ආස නෑ අෆ්ෆ. මළ කම්මැලියි තොඳොල් වෙන්න 😛 ) හැබැයි ඒකට අපේ ටීචත් හවුල් ය. ඉඳහිට ඇයද වචනයකින් දෙකකින් සප් එකක් දෙයි. ඔය අස්සෙ හැමදාම ඉස්කෝලෙන් පනින සැට් එකක සාමාජිකයො ටිකක් අපේ පන්තියෙත් හිටියා. සැට් එකක් කිව්වට සාමාජිකයො විචල්‍යයි. ඕකට addict උනැයින් පස්සෙ තමයි නියම ජොලිය. හැමදාම මුන් ටික බෑග් එක කිහිල්ලෙ ගහගන්නවා – මචං අපි අතුරුදං කියලා මාරු. ඊට පස්සෙ අපිට තමයි DumindaSilva Syndrome එක හදාගන්න වෙන්නෙ. හැබැයි ඉතිං වැඩේ කොච්චර වැරදි උනත් මුන් වැරදි වැඩවලට නෙවෙයි ඒ පනින්නෙ. පැනපු ගමන් ගෙවල්වල තමයි. ඒකත් මදෑ.. නේද? 😀

මාත් ඉස්කෝලෙං පැනලා නැතුවම නෙවෙයි. ඒ ඉතින් පට්ටම ඔෆීශියල් පිට තමයි. අන්තිම දවස්වලනං මුළු පන්තියෙම නම් ලැයිස්තුවක් ලියලා (ඒකට ඉතිං අහල පහලින් අහුවෙන එවුන්ගෙත් ඒවා එකතු වෙනවා 😉 සහ වෙන එකෙක්ගෙ නමකට තවත් ම එකෙක් පනිනවා.) අධ්‍යාපනික කටයුත්තක් වෙනුවෙන් හරි ඔය මක්කාහරි හිතට එන එකක් ලියලා උපවිදුහල්පති අත්සනුත් එක්ක තමයි එළිබහින්නෙ. මං කිව්වනෙ? මැරුවත් ඔක්කොම ගෙවල්වල. ඔය වැඩේ කරද්දි හෙන ‘පොර‘ හැඟීමක් එනවා. ඉස්කොලෙන් විනාඩියක් කලින් හරි එළියට යන්න තියෙනවනං ඒක තමයි (මෝඩ කමනෙ! 🙁 ) එකම සැපත. මේවා අහලා ඔය පොඩි උං එහෙම පනිනවා නෙවෙයි හරිය? 😉

ඉතිං දැන් ‘අපේ’ ඒලැවල් අතිරේක කැලෑසි ගැනත් කියලා ම වැඩක් නැත. (ඇත්තටම ඕවාට අතිරේක කියන්නත් බෑ. ප්‍රධාන වශයෙන් ම යන්නෙ ඕවට නෙව දැං 😛 😀 ) අපේ කීවාට මං ගියපු තුනම එකවාගේ ය. මා තෝරාගන්නේ මට ම හරියන ඒවා බැවින් මා වාගේ ම ඒ කැලෑසි ද හද්ද typical ය. ඒ ගුරු උතුමෝ අන්තිම දවසෙත් උගැන්නූ හ. ඒ නිසා මට batch පාටියක් මුණගැහුනේ ම නැත. (එක අතෙකින් හොඳ උනාට අනිත් එවුන් උන්ගෙ ඒවැයි පම්පෝරි ගහනකොට නිකං මඤ්ඤං වගේ 😛 ) කෝමනමුත් අන්තිම දවසනං පට්ට සංවේදී ය. තමංගේ කැබැල්ල (කෑල්ල තමයි 😉 ) නැතිඋනත් නොසැලෙන බව කියන උන්ගේ ද ඇස්වල වෙඬරු ය. හිතේ කඳුළු ය. උනුත් එහෙම නම් ක්ලාස් එකේ කෙල්ලො ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑයි සීතීම තර්කානුකූල වුණත් හතරපස් දෙනෙක් හරි ඇඬූයේ අපේ පිකිස් කැලෑසියේ පමණි. ඒකට බයෝ ක්ලාස් එක! 😛 (සමහරවිට මං වගේ ආයි පාරක් එන්ට අදහසක් තියෙන්න ඇති 😀 ) හැබැයි මට ෂුවර් නෑ අපේ එවුන් ඇඬුවෙ ගුරුවරු දාලයන්න බැරුවද නැත්නං කෙල්ලො ටික ආයිත් දකින්න නොලැබෙන එකටද කියලා. මේ මොහොතෙ කරා වගේ ම දිග ප්‍රාශ්වාසයක් කරනවා හැර මගෙන් පිටතට අන් ප්‍රතිචාරයක් නොතිබිණ. 🙂

අන්තිම දවස්ටිකේ ෆුල් ඩම් දාලා විභාගෙ ලියන්නත් ගියැයි කියමුකො. ගියැයි කිව්වට ඕකට ලේසියෙන් යන්න ලැබුනෙ නෑ. හතරදිග් භාගෙන් ම නෑ-නොනෑදෑයො කතාකරලා සහ ක්ලාස්වල ගුරුතුමෝ අහම කරන්නෙයි, මේවා ගෙනියන්නෙයි, අහවල් අහවල් ගාථා කියන්නෙයි, මේ මේ වෙලාවල්වලට පිටත් වෙන්නෙයි, පන්සල් යන්නෙයි, බෝධිපූජා කරන්නෙයි කියලා උපදෙස් කෝටියක් දුන්නා. (අපේ පිකිස් කැලෑසියෙ උපදෙස් ටිකනං රත්තරං! ගෑණු ළමයින්ගෙ පෞද්ගලික Bioමය කාරණාවල ඉඳලම කිව්වා 😉 ) ඔය මක්ක මක්කා කොරත් වැඩ කරපු තරම දන්නේ අපිය! 😀 වෙලාවට දේවාල කෝවිල් ගැන මටනං උපදෙස් ආවෙ නෑ, එහෙම ආපු උන් කිව්වා අවුල ති‍යෙන්නෙ බං; දැං කරුමෙට හරි එකක්වත් ගොඩගියොත් ඒකත් අර මෑණියන්ගෙ (එහෙමනෙ.. ඔය ඒවයි ඕං රීං.. බ්ලා බ්ලා ගාන ඇන්ටිලාට කියන්නෙ.) අකවුන්ට් එකට තමයි වැටෙන්නෙ කියලා. 😀 ඔන්න ඉතිං ඔය කියපු ජාතිත් ඔක්කොම සූදානම් කරං විභාගෙට ගියැයි කියමුකො. 😛

පළවෙනි දවසෙ ඉතිං ඉන්න තැන දන්නෙත් නෑ, මළ කෙළියයි. ශාලා අංකෙට අදාල ශාලාව හොයාගන්නත් පොඩි ගේමක් දෙන්න උණා. ඊට පස්සෙ වාඩිවෙන තැන හොයාගන්න එක ඊට හපං. හැමෝම තමන්ගෙ අංකෙ හොය හොය පිස්සුවෙන් වගේ හැම මේසයක් ගානෙම යනවා. පන්තිවල තියෙන අංක පරාස කළුලෑලිවල ලියලා තිබුණාට ඒක දැක්කාම මඤ්ඤං ගහනවා! 😛 කෝමහරි මගේ තැන මං හොයං වාඩිඋනා. O/L ලියපු තැනට ඉස්සරහා ඩෙස් එකමයි ලැබිලා තිබුණෙ. එතන ඒකාලෙ ජයබිමක් උනාට මෙදාපොටේ බඩුහෑව් කියලා මං නොදන්නවැයි! කෝමහරි අපේ උන් හාවක් හූවක් නෑ, ගොඩෙන් දිය දාපු මාළු වගේ සීං ගාලා තමන්ගෙ ආසනේට සමවැදිලා කිටිකිටි ගගා වෙවුලමින් හිටියෙ. 😀 ටිකක් තදබල සමීක්‍ෂකවරියක්(invigilator) තමයි මුල් දවසෙම වැටුණෙ. නෝ හෙල්ලුම් – පොල් මැල්ලුම් තමා. ඉතිං admission එකෙන් කාලසටහන වෙන් කරගන්නයි, එහා පැත්තෙ විෂය අංකය, විෂය හා අත්සන යොදන්නයි උපදෙස් ලැබුණා. (O/L වලදිත් ඕකම දැනගත්තට බයටම ද මන්දා හැමෝටම අළුතින් කියන්න වෙලා තිබුණෙ) 😉

මුල් දවසයි අන්තිම දවසයි ඇරුණාම අනිත් ඔක්කොම එක ම පන්තියක හිටියෙ. ඒකත් හරියට ම අධීක්‍ෂක(Supervisor) ඉන්න තැන කිට්ටුවමයි. කාලා වරකෝ! 😛 ආ.. අපේ අධීක්‍ෂකතුමී දැක්කා ම මට හොඳට දැකලා පුරුදු පෙනුමක් දැණුනා. කරුමෙට නෑයෙක්වත්ද? ගිය ආත්මෙ එකක්ද? කියලා අස්පොට් ගහලා ඉන්නකොට තමයි මීටර් උනේ එතුමි අර චංගුමී එකේ පාලිකාවක් වගේ කියලා. අනේ ඇත්තට ඒ විදියමයි. 😀 දවසක් බලන් ඉන්න ගිහින් මාට්ටු! 😛 මං ඉතිං බබා වගේ හෙමීට වෙන පැත්තකට ඇස් හරවගත්තා. (බය උනාදත් අහනෝ! මොනා හිතුවද්දන්නෑ 😀 ) ඈ නං හරි හොඳයි වගේ ය. වැඩිය බරක්පතලක් අපිට දැනෙන්න ඉඩ දුන්නෙ නෑ. හරි ආදරෙයි. මගෙත් දවසක් පේපර් එකක් stapler වෙලා නැතිබව දැනගෙන එතුමි ඇවිත් පුතා කලබල නැතුව ලියන්න අපි ඕක අමුණමුකෝ කියලා පිටටත් තට්ටුවක් දාලා ගියා. (හරි සිරියාවයි 😉 )

ඒ මදිවට මර hint එක කියන්නෙ ඒ පන්තියෙ ගහලා තිබුණා “සැමදා වංචා කළ නොහැක” ද ඔන්න ඒවගේ තේරුමක් තියෙන කියමනක්. කියපු එකාගෙ කට කහනවටයි ඒක එතන ගහපු එකාගේ අත කහනවටයි මළ වාතයක් උනා ඒක. ඇයි ඉතිං නිකමට හරි වටේ කැරකුණොත් ඒකමයි පේන්නෙ. 😛 ඒ මදිවට රුක්මණි දේවි වගේ තරුණ ටීචර් කෙනෙක් පිසික්ස් දවස් දෙකේමයි, අන්තිම එකටයි හිටියෙ. අපෝ හැඩ උනාට කිසි සප් එකක් නෑ. ආ! ජොලිම වැඩේ කියන්නෙ මට පේළියක් විතර ඉස්සරහින් තමයි පන්තිවල ජනෙල් තිබුණෙ. ඉතිං මං අස්පට් ගහලා කල්පනා කරන්න ගත්තෙ ඕකෙන් එළිය බලාගෙන. අපේ හිටපු හැම ටීච ම ඕක වැරදියට හිතුවෙ. හැම කෙනාම! එයෑලා ජනේලෙ ගාවට ඇවිත් හතරවටේ ම බලලා මටත් එබිකමක් දාලා තමයි යන්නෙ. ලොල්. 😛 (මටත් ඔවුන්ගැන එවිට වැරදියට හිතන්නට සිතින. 😉 )

ඊළඟට දැන් ඉවරවෙන්න පැය බාගෙකට විතර කලින් අපේ විභාග අංකය, උත්තර පත්‍ර ආදිය පරික්ෂා කරලා සමීක්ෂකවරු (වරු, වරු කිව්වට සේරම ටීචර්ලා හරිය! 😛 ) අත්සන් කරනවනෙ. අර රුක්මණි දේවි අන්තිම දවසෙ මගේ මේසෙට නැමිලා වරුවක් විතර සර්ච් පාර දැම්මා. මොන මගුලටද මන්දා, කෝමහරි වෙනදට වැඩිය ලතවුණා. මාත් ඉතිං ඒවට ඉඩදීලා මගේ වැඩ. (කිව්වට.. 😉 ) ඒ අස්සෙ පේපරේ මළසමයං වලට හෘද ස්පන්දනෙයි ආශ්වාස ප්‍රාශ්වාස වේගයයි වැඩිවෙලා තිබුණෙ. ටිකකින් ඔන්න මට එනවා ෂෝක් සැන් පුසුඹක්. අම්මෝ නාහේ පතුලෙම වැදුනා. 😀 මාත් අතෑරියෙ නෑ, ජීවිතේ ගන්න අන්තිම හුස්ම වගේ ඇදලා ඇරියා දෙතුන් වතාවක්. 😛

ඉතිං ගෙදර එන අතරමගදි දන්න නොදන්න හැමෝම common question එක ඇසූහ. පුතා, විභාගෙ කොහොමද? ඒ වෙලාවට මට ගොඩාක් දෑ හිතට ආවත් ස්කූල් කිට් එක ගැහුවම මට ආරූඪවෙන සංයමේ ද මොකද්ද එක හින්දා විහිළුවකින් මගාරින්න පුරුදු උනා. මුලදි නං A-Z කියන්න ගත්තත් හැමෝටම එකම කියන්න ගියාම මටම එපාවෙනවා නෙවැ!? විභාගෙ හොඳයි 🙂 සුපිරි! ලස්සනට ප්‍රින්ට් කරලාහෙම තිබුණා පේපර් ටික. හොඳට සංවිධානය කරලා තිබුණා. ලෝබ නැතුව කෙළවෙන්න ප්‍රශ්ණ ටිකත් අහලා තිබුණා. ආසාවෙ බෑ. ආයි පාරක් ලියන්න හිතෙනවා. 😛

අපේ පන්තිය සාමකාමී උනාට වෙන පන්තිවලනං හෙන ආතල්ලු අපේ උන් ගත්තෙ. ඔන්න එකපාරම බස් ඩ්‍රයිවර් කෙනෙක් ඉස්සරහ ඩ්‍රයිව් කරනවලු. (උගේ කුඩේලු ගියර් එක) 😀 තා එකෙක් පියාඹන්න හදනවලු. රොකට් යවනවලු ඊටීසී. අන්තිම දවසෙත් කොමර්ස් පැත්තෙ හඳුන්කූරකට රතිඤ්ඤයක් සැට් කරලා තිබිලා. අපිට ඇහුණෙ නෑ, හරියටම පේපර් බෙදන වෙලාවෙ (ටයිමිං වැරදිලා)  ඒක පිපිරිලා. ටීචලා ටික උඩ විසිවෙලා 😀 කටහඬ වෙව්ලන්න අරං ඇහුවලු මොකද්ද පුතා ඒ? 😀

අන්තිම දවසෙ අපේ museum එකක් හදනවා කියලා ටැක්නිකල් වැඩ වගේකට මං පුෂ්පරාණි ටීචලැයි ගෙදර ගියා. මේ ප්‍රේතයො ටික නිල් ගහගෙන නෙ! මට කලින් ම ආරංචි උන නිසා එහෙන් මෙහෙන් දාලා පැනගත්තා. යංතං බේරුණා. මං දැක්කා ගොඩක් එවුන් ෂර්ට් විනාස කරගෙන තියෙනවා. අනික අපේ කොල්ලො කෙල්ලන්ගෙ දැන් ස්ටැයිල් එක තමයි හැම රෙද්දට ම බීච් එකට යන එක. උන්ගෙ සන්තෝසෙ තියෙන්නෙ එතන. ඉතිං හැමෝම වගේ ඒ පැත්තෙ ගිහිල්ලා තිබුණා, ෆොටෝ අරං, මල විකාර නටලා ඊටීසී. (දැන් කියන්නෙපා මං මූද අද්දරට නොයන්නෙ වෙනත් කාරණයක් නිසා කියලා 😉 )

අනාගත පෙරනිමිති කියන්න වගේ පහුගිය කාලෙම Facebook එකත් පාළුවට ගිහින් තිබුණෙ. මායි, ඔය හතරපස් දෙනෙකුයි විතරයි ඕකෙ වළං බිඳින්න හිටියෙ. එක්ට දැන්! 😀 ජීවිතේට නොදැකපු පොතුගුළු මහත්ම මහත්මීන් තනිකරම අණසක පතුරුවලා තියෙන්නෙ. Notifications naughty  අයුරින් දැන් ගලාඑයි. ඒත් ඉතිං.. දන්නවනේ? අහවල් ගේම් එකට ඉන්වයිට් කරලා, අහවල් පේජ් එකට ලයික් කරන්නැයි අයැදලා.. ආදී වශයෙන් සතපහකට වැඩක් නැති ඒවා තමයි. 😛 මොකක්නමුත් දැන්නම් තනිකමක් ඒ පැත්තේ නැත. ජොලියට වගේ ඔන්ලයින් දැම්මත් 20කට වැඩිය අපේ සැට් එක ඉන්නවා. Twitter නම් කොහොමත් මුන්ට රුස්සන්නෙ නෑ. (ඇයි චැට් නෑනෙ! 😀 එහෙමෙයි කියලා ගූගල් ප්ලස් ඉන්නෙත් අතලොස්සයි.)

මාත් ඔන්නඔහෙ මුළු සැප්තෑම්බ්‍රෙම සවාරියක් ගහන්න හිතං ඉන්නෙ. ආයි මක්කටැයි ලත වෙන්නෙ.. අවුරුදු ගානකට පස්සෙ game ටිකකුත් දාගත්තා, film බෑවා. දවසට එක වෙන්න සහ මනස දෙක වෙන්න හොඳවැයින් ලිස්ට් එකක් තියෙනවා 😀 ආයි රිවිසැං පටන්ගෙන සැළිය රත්වනතුරු මං නමැති කකුළුවා දිය කෙළින්නෙමි. මේ දෙවැනි ගන්ධබ්බ අවධිය නෙව! 😉

Published by Thambaru Wijesekara

Find out more on Personal Website.

Join the Conversation

6 Comments

Leave a comment

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.