සිංහයන් වඳ කරනු [කෙටි කථාව]

බලන්නටවත් බැරි තරම් දීප්තියකින් යුත් සිරුරකින් යුතු හෙතෙම පෘෂ්ඨිමත් කයෙකින් හා විවිධ සළුපිළියෙන් සැරසී සිටියෙකි. බාහුවල රන් පැහැයටත් වඩා අග්‍රගණ්‍ය පැහැයකින් දිලිසෙන ආභරණ, ගෙලවට මිහිපිට නොදුටු විවිධ මාණික්‍යාදියෙන් සරසන ලද නම නොදන්නා මාලයක්, හිස වටා රසදිය පැහැ ජටාවක් බැඳ සිටි හේ කොළ පැහැති යමෙක නිල් පැහැයෙන් තිත් තබමින් සිටියා. සාමාන්‍ය රෙදි හැඩ වැඩ දමන්නෙකුටත් දින කිහිපයක් යන මේ කර්තව්‍යය ඔහු විනාඩි කිහිපයකින් කළේ පුදුම කඩිසර කමෙකිනි. ඔහුගේ සුසුමෙහි ගොඩ වරුවක් සිට දියට දැමූ මාළුවෙකු මෙන් සතුටක් දකින්නට ලැබුණා. ඇතැම්විට, ඔහු හොඳින් දන්නා දේ කරන්නට ලැබුණු අවස්ථාව නිසා උපන්නක් වෙන්නට පුළුවන්. ඒත් ඒ දෑතෙහි හදිසි බවක් ද තිබුණා.

නිල් පැහැති කයක් ඇති, හිසෙහි කුඩා මල් පඳුරක් වැනි සැරසුමක් ඇති, අවපැහැයට හුරු කහ පැහැයකින් යුතු කොරලවන් පාද දෙකක් තිබෙන ඒ පාදවල පොරකටු වැනි තියුණු නියපොතු ඇති ඇඟිල් තුනකුත් ඒ පාදවල මැද හරියෙන් පසුපස දෙසට කිට්ටු කෝණයකින් පැමිණ පහළට නැවුණු තවත් අංගවිකල ඇඟිල්ලකිනුත් සමන්විත අමුතු ජාතියේ සතෙක්, පක්‍ෂියෙක් ඔහු අසල තියුණු නෙතකින් අවට බලමින් සිටියා. උගේ හකුළාගෙනයි හකුළා ගත් අළු පැහැති අත්තටු දෙකෙන් කෙළවර වන උල් හැඩැති පසුපස කොටසෙහි අධෝ මුඛය අශෝභන ලෙසින් නිරාවරණය වී තිබුණා. ඒ නොදත් ඌට නැටුමකට ම යි හිත. මඳ වේලාවකට පසු, අවසන් කරන ලද හැඩදැමූ පළඳනාව මේ සතාගේ පසුපස කොටසෙහි අමුණනු ලැබුවා. අධෝමුව ඉන් වසාගත් ඌ, ඉගිල්ලී ඈතට ඈතට ගියා.

මෙසේ පක්‍ෂීන්යැයි කිව හැකි බොහෝ සතුන් පිරිසකට කහපාට, රතුපාට, කොළපාට එකෙකුට රතු පැහැ මාල ආදී නානාවිධ වර්ණ සහ සැරසීම් ලැබුණා. අවසානයේ සිටි දුප්පත් අසරණ සුදු පැහැති සහ කළු හොටක් ලබා තිබුණු කුඩා එකෙකුට දෙන්නට පාටක් අපේ ශ්‍රේෂ්ඨයා තුළ තිබුණේ නැහැ. පාට මනා කළමනාකරණයකින් යුතුව භාවිතා නොකළ නිසා සිදුවුණේ වර්ණ බඳුන් සියල්ලෙහි ම අඩිය පමණක් ඉතිරිව තිබුණා. අවස්ථානෝචිතව සිතූ ඔහු ඒ සියල්ල ම කලවම් කොට මේ සතාගේ ඇඟේ ගෑවා. එය විවිධ වර්ණයෙන් බැබලෙමින් ගත පුරා දැවටෙමින් වේලෙන්නට කිට්ටු වෙද්දී අඟුරු තරම් කළු පැහැයකට හැරුණා. මේ දුටු මේ අසරණයාට කියා ගන්නට යමක් තිබුණේ නැහැ. හේ තම නොමියුරු කටහඬින් “කා! ක්‍රා!!” වැනි අමිහිරි හඬක් නගන්නට වුණා. එය ඉවසා දැරිය නොහැකිවූ සුමියුරු කටහඬක් “ෂූ: යනවා යන්න කරදරකාරයා”යි කියනු ඇසුණා.

ඉන් අනතුරුව එලැඹුණේ පොළොවෙහි සවිව තිබූ තවත් ජීවී කොට්ඨාශයකට ඔවුන්ගේ ජීවය පවත්වා ගන්නට වරම් ලබා දීම යි. ශ්‍රේෂ්ඨ මහතාණන් ඒවා වෙත ළඟා වෙත්දී දුඹුරු පැහැති මහත සිලින්ඩර වැනි දෑ උල් උල් වැනි පාදවලින් මහ පොළව බදාගෙන දෑත් අහස දෙසට යොමු කරගෙන ඔහුට ආ වඩන්නා සේ සිටියා. මේ අත්වල කොළ පැහැති කුඩා, මැදින් රේඛාවක් වන් නාරටියක් ඇති, මාළුන්ගේ ඇඟේ හැඩය වන් අනාකූල හැඩැති අවයව විශාල සංඛ්‍යාවක් සවිවී තිබුණා. මේ අමුතු ජීවීන් ආහාර ලෙසින් ගත්තේ මේ අවයව වලින් රැස් කරගන්නා සූර්යයා ලෝකයත්, දෙපයින් මහ පොළොවෙන් ඇදගත් සාරයත් ය.

ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ද වර්ණ සංයෝජනවලින් හා බෝල, ඩම්බෙල් හැඩ ආදී විවිධ හැඩයන්ගෙන් යුත් දෑ ලබා දෙනු ලැබුවා. මේවාට දෙන ලද වර්ණ පක්‍ෂීන්ට ලබාදුන් වර්ණවලට වඩා පරිසර හිතකාමී මෙන් ම බොහොමයක් ආහාරයට ගත හැකි බවින් යුතු වුණා. මේ නිසා පක්‍ෂියෙක් ආහාරයට ගත හැකි සතුන්ට ඒ පිහාටු ඉවත් කරන්නට සිදුවුණත් මේ ශාක ලෙසින් හැඳින්වූ පොළොව බදාගත් උන්ගේ ප්‍රජනේන්ද්‍රියන්ගේ, තවත් ලෙසකින් කීවොත්, ඵලවල පිට පොතු බොහෝ සතුන්ට සම්පූර්ණයෙන් ම ආහාරයට ගත හැකි පරිද්දෙන් ශ්‍රේෂ්ඨ මහතාණන් නිමවනු ලැබුවා. ඒත් සීමිත කාලය නිසා කජු ලෙසින් හඳුන්වන ලද ශාකවල ඩම්බෙල් හැඩැති කළු පැහැයට හුරු ජනක අවයවය ප්‍රජනේන්ද්‍රිය තුළට දමන්නට ඔහුට නොහැකි වුණා. එය යටින් එල්ලෙන්නට සවිකළ හේ අහසට නැඟී තම දස්කම් තවත් පාමීයි සිතා සඳෙහි හාවෙකුත් අඳිමින් නොපෙනී ගියා.

පක්‍ෂීන්ගේ ප්‍රීති ඝෝෂා මැදින්, ශාකවල සෙවණ යටින් තවත් ජීවියෙක් ඇදුනා. දෙපය ඇති පක්‍ෂීන් පැන පැන ගියත්, මේ ජීවියාට පාද මාරු කරමින් ඉදිරියට ඇදීමේ හැකියාවකින් යුතු වුණා. හිසෙන් පැමිණි දිග, රන් කෙඳිවන් රැහැන් දහස් ගණනක් පිට මතට වැටී, පාදවල රිද්මයට පැද්දුණා. මේ අතර මැයට එකවර කිසිදා නොඇසූ ශබ්දයක් ඇසෙන්නට වුණා. එය හරියට ඇගේ පසුපසින් දිව ආ පා සතරකින් හා වල්ගයකින් යුත්, දෙකනත් තොම්බත් උල්වූ, ඊටත් වඩා දත් උල්වූ සුනඛ නම්වූ සත්ත්වයා ඉඳහිට ඇතිකරන්නාක් මෙන් වූ කැස්සක හඬ වැඩිකළාක් වගේ. කිහිප වරක් ම කැඩි කැඩී ඇසුණු හඬ දෙසට ඇගේ පා යොමුවුණා. ඒ යනවිට රත් පැහැති ඵලවලින් යුතු උස මඳක් අඩු ශාකයක් යට හිඳගත්තෙක් දෑස් උඩ යොමාගෙන ගෙලට අත තබාගෙන ශරීරාභ්‍යන්තරය පිටතට ගන්නට මෙන් උත්සාහ කරමින් සිටියා. මොහුගේ දෑතත්, පාදත් තම අවයවයන්ට සමාන බවත්, ඔහුට ඇති ඇතැම් අවයව තමාට නැති බවත් තමාට බෙහෙවින් ඇති දෑ ඔහුගේ මඳ වශයෙනුත් ඇතැයි ඇය කල්පනා කළා. නෙතට නෙත ගැටෙද්දී දෙදෙනාගේ ම ගත සලිතව ගියා. එහෙත් එය කුමක්දැයි ඔවුනට වැටහුණේ නැහැ. ගෙලට එක් අතක් තබාගෙන සිටි ඔහුගේ අනෙක් අතේ අඩක් ආහාරයට ශාකයේ ඵල කොටසක් තිබුණා. ඇතැම්විට එය ඔහුගේ උගුරෙහි සිරවී තිබුණා වන්නට පුළුවනි.

* * * * * * * * * * * * * * * * * * * * * *

“මනුෂ්‍ය” හෙවත් මනස උසස් යැයි ස්වයං වර්ණනාවට ලක් කරගත් නමෙකින් හඳුන්වාගත් ජීවී කණ්ඩායමක් “ග්‍රාම්‍ය” යන පහත් නාමයෙන් තම පිරිස ස්වයං අවමානයකින් හඳුන්වාගෙන එකිනෙකාට ලංව ශාකවල සූර්යමය-ආහාර ජනක අත් කපාගෙන පැමිණ අවුරාගත් ‘නිවාස’වල වෙසෙන්නට වුණා. ඔවුන් ඔවුන්ගේ ආහාර සඳහා ශාකවලින් ගහණ පොළොවේ හෙවත් වනයේ ඇවිදිමින් හිඳියදී විවිධාකාර අත්දැකීම් විඳන්නට ලැබුණා. ‘සිංහ’ නම්වූ ඉතා රෞද්‍ර සත්ත්ව කොට්ඨාශයක් පොළොව මත වැවෙන ඉතා කුඩා කොළ පැහැ පත් ආහාරයට ගන්නා මනුෂ්‍යයාට කරදරයක් නැති  නිසා ‘අවිහිංසක’ ගණයේ ලා සැලකුණු මනුෂ්‍ය ආහාර: හඳෙහිත් සිටින සුදු පැහැති ගුලි වැනි සතුන්, ශාකවල බඳමෙන් දුඹුරු හා කිරි බිඳු ඉහුණාක් මෙන් වූ කයක් ඇති තොම්බ උල්, වලිගය කොට සත්ත්වයින් ආදීන් පසුපස දුවගොස් උන්ගේ දිවිතොර කොට රතු පැහැ දියර වැගිරෙන කය ආහාරයට ගන්නට වුණා. පහසුවෙන් ලැබෙන, දිව නොයන, ඕනෑ තරම් ඇති “ශාකවල කොළ පැහැති පත්‍ර ආහාරයට නොගෙන මේ අවිහිංසක සතුන් ම ආහාරයට ගන්නේ ඇයි? මුන්ට අපේ කෑමත් කා අපවත් කන්නට උවමනා යි.” ඔවුන් සිතුවා.

සැමවිට ම වනයේ ගොස් ආහාර සොයාගෙන ඒම අඟපසඟ වැඩි අයට, ‘පුරුෂයන්’ට ම පැවරුණා. නිවාසවල සිට එහි වැඩ කටයුතු කරන්නට ඉතිරි අයට, ‘ස්ත්‍රීන්’ට සිදුවුණා. “මුන් වනයේ දවස ම ගත කොටත් ගෙනෙන්නේ ම එක්කෝ හැමදාම එකම අහර, නැත්නම් කන්නට බැරි අහරක්, සමහරදාට රන් පැහැ වැගිරෙන ද්‍රව්‍ය. මොකක්ද මේ අසාධාරණය?” ස්ත්‍රීන් සිතන්නට පටන් ගත්තා. “උන් හැමදා නිවාසවල හෙවණේ. අප හැමදාම වනයට වැදී වෙහෙසවී අහර සොයන්නට ඕන.” පුරුෂයන් සිතුවා. මෙසේ කල් යත් ම සිත්වල පැහුණු ලෝදිය උතුරා ගියා. ග්‍රාම්‍යයෝ ග්‍රාම්‍ය බස් වහරමින් එකිනෙකාට බැණ වැදුණා.

මේ අතර කහ පැහැති තටු හා හොටක් ඇති පක්‍ෂියෙක් රතු හොට ඇති කොළ පැහැති එකෙකුගේ අඟපසඟට ඊර්ෂ්‍යා කළා. අවිච්චියෙක් මොණරා තම සළුව හොරා ගෙන ඇතැයි කතාවක් ඇති කළා. කළු පැහැති, වරක් අසරණව ‘ක්‍රා’ නැඟූවෝ එක්ව උන්ට සිදුවූ අවනඩුව ගැන කියමින් වනය දෙවනත් කළා. ශාක මතට හැම හවසක ම ගොසින් ඔවුන් ඒ ගැන අඬගෑවා. මේ ඇසූ ශාක තමන්ගේ අඟපසඟ ගැන උනන්දු වුණා. තමාට මෙවන් නානාප්‍රකාර දෑ ලබාදී වෙනස් කර ඇති නිසා ඇතැමුන්ගේ කඳ මහත් බවත්, ඵල රසවත් හා වර්ණවත් බවත් ඒ නිසා අන් ජීවින්ගේ ආකර්ෂණය වැඩි බවත් තවත් අයට මේ සියල්ල නොමැතිව නිග්‍රහයට ලක් කර ඇති බවත් කියමින් ඔවුන් භේද වුණා.

මේ මහා අරගලය නිසා ශ්‍රේෂ්ඨ මහතාණන්ගේ අසුන උණු වුණා. තමාගේ නිර්මාණ විශිෂ්ටව නිමැවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙවැන්නක් දිනෙක සිදුවන බව හේ දැන සිටියා. “ඒත් දන්නා දේ ලුහුඬුව කිරීම සේස්ට ගුණයක් නොවෙයි.” ඔහු කල්පනා කළා. මෙතරම් අරගලයක් කරන්නට නුවණ ඇතිවුන් මා එහි ගොස් තතු පැවසුවොත් තේරුම් ගනිතැයි සිතූ ඔහු මිහිතලයේ සියළු ජීවීන්ට මත්තෙන් බැබලෙමින් වැඩ හුන්නා.

“දෙවියෝ” “අර බලාපල්ලා” ග්‍රාම්‍යය හතර වටින් ඇසුණා. තමාගේ ගත හැඩ වැඩ කළ උන් නැවත ආ බව ශාකත්, පක්‍ෂීනුත් දැනගත්තා. අප අතර වෙනසට හේතුව මොහුයැයි සිතින් තර්ක කළත් මහා කාය දුටු වහා උන්ට මහා සන්සුන් බවක් දැණුනා. එහෙත් කිසිදා නොදුටු මේ අමුතු සිදුවීමට නම් දෙන්නට, ඉන් හිත පහදා ගන්නට හැකිවූයේ කෙසේදැයි කිසිවකුට වැටහුණේ නැහැ. ඇතැම්විට එයත් නිර්මාණයේ කොටසක් විය හැකි යි.

“දරුවෙනි,” මහතාණන් හඬ අවධි කළා.

“තොප තම තමන්ට ඇති ප්‍රමාණය, හැකි ප්‍රමාණය වෙනස්ව නිමැවී ඇත්තේ ඒ තම තමන්ට උරුම දේ හෙයිනු යි. එය එලෙසින් ලැබෙන සේ කටයුතු කළේ ද නුඹයි. මා වට ගැවසෙමින් සන්සුන්ව සිටි නිසා මොණරාට හොඳ හැඩයකුත්, හදිසියේ සහ අන්තිමට පැමිණි ක්‍රාකයන්ට අවපැහැයකුත් ලැබුණේ එපරිද්දෙන්. ඉතින් මේ ක්‍රමවේදයට අවනත වන්නට හෝ මේ ක්‍රමවේදය කැරුණු හැටි අවබෝධ කොට මේ දාමයෙන් නිදහස් වන්නට හෝ උත්සාහ නොකොට එක එකා දෙස බලමින් තමා සසඳන්නේ ඇයි?”

“දේවයිනි, එහෙත් නොමිලයේ හා පහසුවෙන් ලැබෙන දේ අත් නොවිඳ අපට කන්නට ලබා ගත හැකි සතුන්ව සිංහයා ගිල දමන්නේ ඇයි? ඔබේ ක්‍රමවේදය වැරදියි. කරුණාකර සිංහයන් මේ ලොවින් තුරන් කර දමන්න. එවිට අපට සැපසේ විසිය හැකියි.” මනුෂ්‍යයක් කියද්දි බොහෝ දෙන ඊට හිස වැනුවා.

“දරුව, සිංහයා නම් කය හොඳින් ඇති, නිය ඇති, දත් උල්ව ඇති, කේශර බොහෝ ඇති, හැමගේ ම ඇඟ කිළිපොළා යන හඬ නඟද්දී වනය ම ගිගුම් දෙන සතෙක්. ඉතින් උගේ හැකි පමණින් ඌ සතෙක් අල්ලාගෙන කෑවාම කිම? එහෙත් උන්ට තොපට තරම් සිතන්නට මොළයක් නැහැ. ඔබ ඔබව ම වර්ණනා කරන්නාක් මෙන් මනස උසස් නැහැ. ඉතින් ඔබේ ඔය උසස් මනසින් එය අවබෝධ කරගන්න. ඌට වඩා දෙයක් ඔබට කළ හැකියි.”

“හොඳයි. ඒත් අපට වඩා මහා හැකියාවන් ඔබට ලැබුණේ කොහොමද? ඔබව හැදුවේ කවුද? අපටත් මැවුම් බලය ඕන. මේක මහා අසාධාරණයක්. අපි මේකට ඉඩ තියන්නේ නැහැ. මොන කරුමයක්ද!” සියල්ලෝ ම කෑගසන්නට වුණා.

“මා මැව්වේ ඔබ යි.” කී හේ අතුරුදන් විය.

නිමි.


පසුවදන

අපේ බුධාජීව දවසක් හමුවුණ වෙලාවක සමාජයේ තිබෙන දේවල් අතරෙ විශ්ව විද්‍යාල ප්‍රශ්ණ ගැන කතාවෙද්දි මට කිව්වා මේ අර්බුදය ගැන කතාවක් ලියන්න කියලා. “ඉස්කෝලෙ ළමයි දෙන්නෙක් ඉන්නවා. එකෙක් දුප්පත්, අනෙකා පොහොසත්. පොහොසත් ළමයාගෙ තාත්තා ඒ ළමයාට කෑම අරගෙන දෙනවා. හැබැයි දුප්පත් ළමයාගෙ අම්මලාට තමන්ගෙ ළමයාට කන්න අරගෙන දෙන්න සල්ලිත් නැහැ, ඒත් අර ළමයාට කන්න අරගෙන දෙනවාට කැමතිත් නැහැ. ඉතින් අර මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඒ අයගෙ ම ළමයාට කන්න දුන්නා ම මෙයාලාට මොකද?” කියලා මට කථාවකට ආරම්භයකුත් අරගෙන දුන්නා. ඒ අනුවයි මේ කෙටි කථාව මගේ තුනපහත් එක්ක ලියැවුණේ.  ආ, එතනම හිටපු සශේන් කිව්වා උඹ ඕක ලිව්වාට කමක්නෑ මුගේ නමත් දාහං කියලා 😀

දේවවාදීයි කියලා ඔන්න දායක සභාව කලබල වෙන්න එහෙම එපා. මැවුම්කාර දෙවියා; කර්මයයි කියලා අගින් ශේප් කරා.

Published by Thambaru Wijesekara

Find out more on Personal Website.

Leave a comment

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.