දැනමුත්තා අවුරුදු වැස්සේ ගෙදර ආ හැටි

Image courtesy: osiowy.pl

හොඳට ගිනි ගහන මද්දහන මැද්දට මිනිස්සුන්ට රෙදි ටිකවත් වේලගන්න බැරි වෙන්න හතර වටෙන් කළු කරගෙන ආවේ හරියට බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් පාටියක් දෙන්න බලාගෙන ඉන්න යාළුවො ටිකක් වගේ. ආ! මේ ලංකාවෙ අපේ ගංවල කොහෙද ඒවා. අපේ අම්මණ්ඩි ඉස්සර කියන්නට වගේ මැරෙන්න ගියාම වතුර ටිකක්වත් දෙන්න නැති කෙනෙක් නොඉද්දි අපිට මොන සැරපයිස්ද. අනික මේ කළු කරගෙන ආවේ කොහොමටත් යාළුකමකට නම් නෙවෙයි. ගෙදරට තා වැඩි දුරක් නැති වුණත් කළුවර වෙන අස්සෙ ගොරවන්නත් පටන් ගත්තෙ දෙයියො ඊයෙ රෑ කොත්තුවක් වත් කාලා වගෙයි.

පාරෙ ඉන්න හැමෝම හරියට කඩි උගුලකට මූත්තරා කරපුවා වගේ එහෙට මෙහෙට කලබලෙන් යනවා. සමහරු හෙවණකට වෙලා කාලය ගත කරන්න හදද්දි තවත් අය ගෙදර යන බස් එක එනකම් ඩැයිවර්ගෙ මෑණියන් වහන්සේ සිහි කර කර හෝල්ට් එකට වෙලා ඉන්නවා. පේමන්ට් එකේ වෙළඳාම් කරන මිනිස්සුත් කඩිමුඩියෙන් තමන්ගෙ බඩු අස් කරගන්නවා. පදික වේදිකාවේ පාර පැත්තට වැටක් ගහපු තැන්වල උදවිය නම් ඒවාට කෝටු හිටවලා සම්පූර්ණ වේදිකාවම වැහෙන විධියට වහලක් වගේ ඉටිකොළයක් හයි කරගෙනයි ඉන්නේ. ඒත් මේ එන හුළඟේ හැටියට එහෙමටවත් බේරෙන්න පුළුවන් කමක් ලැබෙන එකක් නම් නැහැ. අව්වට ඉහළගත්තු කුඩේම එහෙම්ම වැස්සට අල්ලා ගත්තු අයට හුළඟ නිසා කුඩේ කණපිට යන එක තරම් කරදරයක් තවත් නැහැ. වටේ ඉන්න මිනිස්සුන්ට ඒ වෙලාවට ඔවුන්ව පේන්නේ හරියට ඇස් ගලවාගෙන කන යකින්නියො ගාණටයි. මිටියි කියලා ඉතින් කුඩේ නොදා ඉන්නයැ මහත්තයො?

පදික වේදිකාවත් හරි අපූරු තැනක්. ඒකෙ නමට ගැළපෙන්න ම අවුරුදු කාලෙ කිට්ටු වෙද්දි ගෙවල් අස්සෙ හැංගිලා හිටපු නිළියො ටික පාරට බහිනවා. ඒ තොල් රතු කරගෙන, විච්චූරණ ජාති මූණෙ ගාගෙන, මෑ කරල් වැලකටවත් තේරෙන්නෙ නැති ලියවැල් ගෙතුමකින් කොණ්ඩෙ ගොතාගෙන, අපි පොළොවෙ පය ගහලා ඉන්න උදවිය ය! කිය කියා පම්පොරි ගහමිං අඩි හතරක් පහක් උස සෙරෙප්පු දාගෙන තමයි. පවුල් පන්සල් වෙච්ච උදවිය ගෙදරදි වළං ගැට්ට මිනිහාගෙ කරේ හිටින්න ගැහුවාට ෂොපිං යන්න නම් එන්නේ උන්දැගෙ අතේ එල්ලිලා පපුවත් ඇගේ වද්ද වද්දා තමයි. මහ ගිනි අව්ව නොදැනෙන මේ මිනිස්සුන්ට ඉහ ඉද්දර පුපුරු ගහන රස්නෙට වඩා බෝඩ්වල තියෙන මිල ගණන් වලයි, කඩවල්වල එළියෙන් එල්ලපු ඇඳුම් කෑලියි දැක්කාම ඊට වඩා සන්තෝසයක් නැහැ. වැස්ස කිට්ටු වෙද්දි අලුත් අවුරුද්දට කුඩයක් ගන්නත් ඕන කියලා ඇතැමුන්ට මතක් වෙන්නේ හරියට වැස්සට ගෙවල් හදන්න හිතන වැද්දන්ට වගේ. මොකද, ගන්න ගියාම ඒවැයි ගාණ දැක්කාම ඩිංගක් තෙමුණට මක් වෙනවද, අපි සීනිබෝලයැ? කියලා හිතෙනවා. වෙනදාට පදික වෙළඳුන් කියන්නේ අපිට යන්න තියෙන පාර අවහිර කරන කරදරකාරී කොට්ටාසයක් උනත් මේ දවස්වල නම් උන් තමා දෙවිවරු! හැමෝම මඟදි හම්බ වෙන මිනිස්සු ගැනත් කිසිම අවධානයක් නැතුව ඇඟේ හැප්පි හැප්පි උඩ බලාගෙන යන්නේ හරියට බිත්තියෙ වහළ කිට්ටුව ඉන්න හූනෙක්ට මානන පූසෙක් වගේයි. කවදාවත් එතෙන්ට ළං වෙන්න බැරි උනාට ඇස් දෙකෙන් තළු මර මරා ඒක කනවා. මේවා හින්දා හැමදාම පාරෙ ඉන්න, හැමදාම එකම තුවාලෙ විකුණගෙන කන හිඟන්නාටත් වාසියක් නැහැ. ඌට කීයක් හරි හොයාගන්නවා නම් කරන්නට වෙන්නේ රුපියල් පන්සීයක් කියලා ලියලා, ඒක කපලා “රුපියල් පනහක්වත් දෙන්න” කියලා බෝඩ් එකක් දාගන්නටයි.

පොද ටික ටික වැටෙන්න ගනිද්දි ගෑණුන්ගේ අතේ ඉන්න දරුවන්ට හරි සතුටුයි. ඒ ගෑණු දුවන හැටි දැකලා අවට ජනයා ලබන ගුරුත්වාකර්ෂණ තෘප්තිය නිසා නෙවෙයි. ඇවිද ගන්න බැරි පොඩි උන් හරි කැමතියි කවුරුහරි උන්ව වඩාගෙන දුවනවා නම්. තමන්ට කර ගන්න බැරි වැඩේ වෙන කෙනෙක් හරි ලවා කර ගන්න තමයි පුංචි කාලෙ ඉඳලාම උන් පුරුදු වෙලා ඉන්නේ. ඒ අස්සෙ වැටෙන පොද ඊටත් වඩා හොඳයි. කවදාවත් වැස්සේ තෙමෙන්න නොදෙන අම්මාත් අද වැස්සෙ තෙමෙනවා. වැහි බිංදු අම්මාගෙ දාඩිය වැකිච්ච මූණට වැටිලා බේරෙන කොට, ඒවා රූටගෙන වැටිලා ඇඳුමට උරාගන්න කොට පුංචි එකාට දැනෙන්නේ හරිම දුකක්. ඇයි අම්මාට විතරක් මෙච්චර වැහි බිංදු වැටෙන්නෙ? මගේ කම්මුලට තාම වැටුණෙ එකයි. ඒකත් අම්මට නොතේරෙන්න ටිකක් ඇඟිල්ලෙන් ඇනලා දිව ගෑවාට දැනෙන්නෙ අතේ තියෙන දූවිලිවලයි දාඩියෙයි රහ විතරයි. ගෙදර හිටියා නම් වැස්සට උඩ බලාගෙන දිව ඇදගෙන ඉන්න එක තරම් විනෝද වැඩක් තවත් නැහැ. ඒකත් ගෙදර කවුරුහරි දැක්කොත් නම් ගිලපු වැහි බිංදු නාහෙන් එන්න ගුටි කන්නයි වෙන්නේ. හැමදාම වැස්සත්, අත්තම්මාගෙ ලොජික් එක ඉඳලා ඉඳලා වහින වැස්සට තෙමෙන්නට හොඳ නැහැ කියන එකයි. අම්මා දෙස් තියද්දි උන්දැ අපිව ළඟට අරගෙන ඇඳං ඉන්න රෙද්දෙන් ඉහ පිහදදා මූණ ඉඹිද්දි අත්තම්මලාට කවි ගී ලියවුණා මදියි කියලා හිතෙන්නේ නැතුවම නෙවෙයි.

ගෙදර ඉන්න වෙලාවට නම් කළු කරගෙන එද්දී හතර වටේ වැඩට ගෙදරින් එළියට ගියපු හැමෝම එකට එකතු වෙන හින්දා පාළුවක් නැහැ. අව්වෙ වැඩ කරකර ඉඳලා බාගෙට තෙමුණාම එන දාඩිය පුසුඹ අත්තාගේ ළඟින් එද්දි පොළොවෙං එන නැවුම් සුවඳට වඩා හරිම ආදරබර හැඟීමක් දැනෙනවා. ගොඩක් වෙලා වහීවි, ඒ හින්දා ආයෙ එළි බහින්න බැරි වෙයි කියලා උන්දැගෙ ඔළුවට ඔබා ගත්තාට පස්සේ ගෙදර පොඩි උන් ටිකට කතන්දරයක් අහගන්න කියාපු වෙලාව තමයි ඒ. ගොරවන වෙලාවට ඒවාත් අල්ලලා “හග්ගුඩුවා” ඇවිත් බත් කන්නෙ නැති ළමයි අරන් යනවා කිව්වාම අම්මලාටත් ඊට එහා දෙයක් නැහැ. එදාට බත් කන්න වෙන්නේ කතාවෙ බයට අම්මාගෙ ලුණු ඇඹුල් ටිකක් එකතු වෙලා තවත්ම කතාවක් අහන ගමන්මයි. ඒත් ඒ සොඳුරු අතීතය දැන් අහසෙන් මඩ වළකට බැහැපු වතුර බිංදුවක් වගේ හොයාගන්නවත් නැති එකක්.

සට සට ගාලා වතුර වැටෙන්න ගත්තාම පාරෙ ගියපු බයිසිකල් කාරයොත් ගමන නවත්තලා පාරෙ කඩවල්වල පිළිකන්නට රිංග ගත්තා. වැස්සට දෙස් තියෙන මිනිස්සු වගේ ම ජීවිතේට දැකලාවත් නැති වුණාට කුඹුරුවල වැඩ කෙරෙන හැටියි, ආණ්ඩුවෙ ප්‍රශ්ණ ගැනයි උන් කතා කරන්නේ හරියට මහා ප්‍රාඥයො වගේ. ඒ මිනිස්සුන්ගෙ දොඩවන කටවල් දිහා බලාගෙන ඉන්න සමහරු තමන්ටත් ඒකට එකතු පහදු වෙන්නට අං කොං හොයනවා. ඒ අතරේ පඬුපුල් ආසනේ ඉඳලා නැගිට්ටා වගේ සමහරුන්ගේ පිටිපස්සෙන් දුම් දාන්නට පටන් ගත්තේ එතනට ඇවිත් හිටපු ළමයින්ට නොපෙනෙන්න පිටිපස්සට කරගත්තු දුම්බට නිසායි. කොච්චර හංගන්න හැදුවත් මූණ ඉස්සරහට ගෙනල්ලා මැළවිලා තිබිච්ච රතු පාට ගිනි පුළිඟුව අතින්වත් නොඅල්ලා තද රතු පාට කරන්න හැකි අපූරු ඉර්ධි බලයක් ඒ මාමලාට තියෙනවා කියලා පොඩි උන් හිතන්නට පෙළඹෙන්නේ කටින් දුම් ගුලි ඇවිල්ලා කාටූන්වල ඉන්න මකරුන් සිහිගන්වන නිසාත් වෙන්නට ඇති.

රෑ දෙගොඩ ජාමයක් තරම් කළුවර කරපු වෙලාවක ඉරෙන්නට වත් කබායක් නැතුව මඩවළවල්වලින් බේරෙන්න පැන පැව ගුරු පාර දිගේ මං යන්නට ගත්තේ නැවතුණොත් ආයෙ හවහක් වෙනකම්ම ගෙට ගොඩවෙන්නට බැරි වේවි කියලා හිතුණු හින්දයි. තමා ඉහට තම අතමය හෙවනැල්ල කියන්නැහේ ඔළුවම නොවැහුනාට කෙස් පොදක් නැති ඉස් මුදුනවත් බේරගන්න කියලා එක අතකුත් ඉහේ තියාගෙන කකුලට ඩිංගක් වැඩි සෙරෙප්පුවෙන් ඇඳුමෙ පිටිපස්ස බතික් වෙන හැටි බල බල අඩියට දෙකට ගෙට දුවගත්තේ හරියට අහසෙන් ගිනි පුළිඟු වැටෙන ගානටයි. අව්වේ කරවෙන අපිට මේ වැහි මක්කද කියලා කොළුකම පෙන්නගන්න හැදුවාට අද රෑ වෙද්දි උණු වතුර ඩිංගක් මූණට අල්ලගන්න වෙන්නත් බැරි කමක් නැහැ.

Leave a Comment