Categories
Did You Know Softwares Technology

Zoom එකේ ඔබ දැන නොසිටි රහස් 10ක්

කොවිඩ්-19 පැතිර යාමත් එක්ක සමාජ දුරස්ථභාවය අවශ්‍ය වුණු නිසා දැන් ඉගෙන ගන්න විතරක් නෙවෙයි, යාළුවෝ එක්ක කතා කරන්නත් Online conferencing සේවාවන් පාවිච්චි කරන්න වෙලා තිබෙනවා. මේ නිසා ගොඩක් දෙනෙක්ගේ ඩේටා වැය වෙන එකත් වැඩි වෙලා තිබුණත් ඒ වෙනුවෙන් දැන් හඳුන්වාදී තිබෙන විශේෂ ඩේටා පැකේජ් නිසා ඒක ගැටළුවක් වෙන එකක් නැහැ. හැබැයි ඉතින් ක්ලාස් පිට දාලා YouTube වලින් ඩේටා ඉවර කරන අයත් නැතුවම නෙවෙයි.

කොහොමහරි, ඔයාලත් ඔෆිස්වල, අධ්‍යාපන කටයුතුවලට Zoom පාවිච්චි කරනවා වුණාට මේ දේවල් නම් ඒකේ තිබුණු බව සමහරවිට නොදැන ඉන්න ඇති.

1. Background එක වෙනස් කරන්න

Advertisement

ගෙදර ඉඳගෙන වීඩියෝ කෝල් ගනිද්දි තියෙන ලොකුම ගැටළුවක් තමයි ගෙදර පසුබිමේ තිබෙන දේවල්නුත් පේන්න ගන්න එක. ඉතින් කෝල් එක ගන්න කලින් කාමරේ පිළිවෙල කරන්නත් වෙනවා. Zoomවල මේ කරදරේ නවත්වගන්න පහසු ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි අපේ පසුබිමේ තිබෙන background එක මාරු කරන විශේෂාංගය. 

Zoom open කරලා, දකුණු පැත්තේ උඩ කෙළවරේ තිබෙන Profile picture එක උඩ ක්ලික් කරලා, එතනින් Settings වල තිබෙන Virtual Background වෙත යන්න. දැන් ඔයා කැමති පින්තූරයක් එතනට upload කරන්න පුළුවන්. කම්පියුටරෙන් වගේම Zoom ඇප් එකෙත් මේක කරන්න පුළුවන්. Meeting එකක ඉන්න අතරතුරේ දකුණු පැත්තේ යට කෙළවරේ තිබෙන More බොත්තමෙන් Virtual Background තෝරලා එතැනින් ලැබෙන ඡායාරූපයක් හෝ ෆෝන් එකේ තිබෙන ඡායාරූපයක් Plus අයිකන් එකෙන් තේරුවාම හරි.

2. කෝල් එකට යද්දිම Mic එක Mute වෙන්න හදන්න

ගොඩක් දෙනෙක්ට Mic එක Mute කරගන්න අමතක වුණාම අනෙක් අයට කරදරයි. ගෙදර ටීවී රේඩියෝවල, ගෙදර අය කතා කරන සද්ද, බල්ලෝ බුරන ඒවා වගේ හැම එකම ඇහෙන්න ගන්නවා. මේක නවත්වගන්න තියෙන හොඳම ක්‍රමය තමයි Call එකට එද්දිම තමන්ව Mute වෙන විදියට Settings හදන එක. හැබැයි කතා කරන්න ඕන වුණොත් Unmute කරගන්නත් අමතක කරන්න එපා.

කෝල් එකට යද්දිම Mic එක Mute වෙන්න හදාගන්න ඕන නම්, Settings වලින් Audio ටැබ් එකට ගිහින් Mute microphone when joining a meeting කියන එක තෝරන්න. ඒ වගේම, කෝල් එකට යද්දිම කැමරාවත් Off කරගන්න ඕන නම්, Settings වලින් Video ටැබ් එකට ගිහින් Turn off my video when joining a meeting කියන එක තෝරන්න.

3. කතා කරද්දි විතරක් ලේසියෙන් Unmute කරන හැටි

කලින් කිව්වා වගේ කෝල් එකට යද්දිම Mute කරගත්තාම ලේසියි වගේම කතා කරද්දි ආයෙ Unmute කරන්න අමතක වෙන්න පුළුවන්. ඒත් හැම තිස්සෙම Unmute button එක අමාරුවෙන් හොයාගෙන ඒක ක්ලික් කරන එකත් කරදර වැඩක්. ඒ නිසා SpaceBar එකෙන් හෝ ALT එක ඔබා ගෙනම A අකුර තද කරලා, ඒ කිව්වේ ALT+A කියන shortcut එකෙන් Unmute කරන්නත්, ආයෙ කතා කරලා ඉවර වුණාම ALT+A shortcut එකෙන් ම Unmute කරන්නත් පුරුදු වෙන එක ගොඩක් ලේසියි.

4. අනෙක් අයව Mute කරන්න

Meeting එක කරන්නේ ඔයා නම්, ඒ කිව්වේ Host විදියට ඉන්නේ ඔයා නම් පටන් ගනිද්දිම Alt+M කියන shortcut එකෙන් අනිත් හැමෝවම Mute කරලා දාන්න. එතකොට මේ Trick එක නොදන්න අයගෙන් එන අනවශ්‍ය ශබ්ද වගේ බාධාවන් නවත්වා ගන්න පුළුවන් වෙනවා.

5. කතා කරනවා වෙනුවට emoji එකක් යවන්න

Mic එක වැඩ කරන්නේ නැති වෙලාවකදි හරි, නැත්නම් Mic එක වැඩ කරන්නේ නෑ කියලා බොරුවට ඉන්න වෙලාවකදි වෙනත් කෙනෙක් කියපු දේකට ප්‍රතිචාරයක් දක්වන්න ඕන නම් ඒක Emoji එකකින් කරන්න පුළුවන්. මෙහෙම කරන එකෙන් අපි කතාකරන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා Meeting එකට බාධාවක් වෙන්නෙත් නැහැ.

එහෙම කරන්න නම්, වීඩියෝ එක යට තියෙන bar එකේ, ඒ කිව්වේ Mute button එක, Video off කරන Button එක එහෙම තියෙන යට තීරුවේ තිබෙන Reactions කියන Button එක ක්ලික් කරන්න. එතකොට තෝරාගන්න ඉමෝජි 5ක් විතර ලැබෙනවා. එයින් එකක් තේරුවාම අනෙක් අයට ඔයාගේ මුහුණ ඉදිරියේ ඒ ඉමෝජි එක තත්පර 5ක් වෙනකම් පෙන්වනවා.

හැබැයි මෙහෙම කරන්න නම් Host කරන කෙනා ඒ පහසුකම Disable කරලා නැති වෙන්නත් ඕන.

6. හැමෝගෙම මුහුණු පේන විදියට Gallery view එක දාගන්න

යාළුවොත් එක්ක කතා කරන වෙලාවකදි හෝ විශේෂයෙන් Office meeting එකක් නම් එතන ඉන්න හැම කෙනෙක්ගේම මුහුණු එක පාරම පේන එක ගොඩක් ලේසියි. එහෙම හදාගන්නත් Zoom එකෙන් පහසුකම් සලසා දී තිබෙනවා.

ඒකට කරන්න තියෙන්නේ කෝල් එකක් අතරතුරේදී දකුණු පැත්තේ උඩ කෙළවරේ තිබෙන “Gallery View” ටැබ් එක ක්ලික් කරන එකයි. මේකෙන් එක පාරට 49‍ දෙනෙක්ව දැකගන්න පුළුවන්. එතකොට කෝල් එකේ 49ක් හෝ ඊට වඩා අඩු ගණනක් ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ගේම මුහුණු එක පාරම ඔබට පෙනෙන්නට පටන් ගන්නවා.

7. වීඩියෝ On නොකරපු අයව hide කරන්න

කෝල් එකේ ගොඩක් අය ඉන්න වෙලාවක වීඩියෝ On කරපු අය විතරක් පෙනුනාම හොඳටම ඇති. නැත්නම් අනෙක් අයගෙනුත් පොඩි සද්දයක් හරි ආවොත් එයාලත් ස්ක්‍රීන් එකේ පේන්න ගන්නවා. මේක නවත්වන්න ක්‍රමයකුත් Zoomවල තිබෙනවා.

Settings වලින් Video ටැබ් එකට ගිහින් එතනින් Meetings කියන එකට යන්න. දැන් එතන තියෙන Hide nonvideo participants කියන එකට හරි ලකුණක් දාන්න. එතකොට වීඩියෝ On නොකරපු අනිත් අයව පේන එක නවතිනවා.

8. Screen එකේ තියෙන දෙයක් අනෙක් අයටත් පෙන්වන්න

මීටිමක් අතරතුරේදී Word document එකක්, Powerpoint presentation එකක් එහෙම පෙන්වන්න ඕන නම් කරන්න පුළුවන් ලේසිම වැඩේ තමයි Screen Share කරන එක. මේක ලේසියෙන්ම කරන්න පුළුවන් වෙන්නේ Host කරන කෙනාට. ඒ කියන්නේ කෝල් එක ගන්න කෙනාට. කෝල් එක අතරතුරේදී යට තියෙන තීරුවේ කොළපාට අයිකන් එකකින් තියෙන Share Screen කියන button එක ක්ලික් කළාම තමන්ගේ Screen එක අනෙක් අයටත් පේන විදියට හදන්න පුළුවන්. අනෙක් අයටත් ඒ විදියටම තමන්ගේ Screen එක පෙන්වන්න පුළුවන් වුණත් ඒකට Host කරන කෙනා අවසර දීලා තියෙන්න ඕන වෙනවා.

9. මේක්අප් දාන්න මහන්සි නොවී beauty mode filter එක දාගන්න

ඔ‍ෆිස් එකේදි Meetingවලට ලස්සනට මේක්අප් එහෙම දාගනෙ ගියාට ගෙදර ඉඳිද්දි ඒවා කරන්න වෙලාවක් වෙන්නේ නැහැ. වෙලාවටත් වඩා, Meeting එකකට විතරක් මුහුණ ලස්සන කරගන්න එක ප්‍රායෝගික නැහැ. ඒකට කරන්න තියෙන්නේ Zoom එකෙන් දීලා තිබෙන Beauty mode එක දාගන්නා එකයි. එතකොට වැඩි මහන්සියක් නැතිවම ලස්සන පෙනුමක් ගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි ඔය සමහර ෆෝන්වල තියෙන Beauty mode එක වගේ නැතිව, ලස්සන චාම් පෙනුමක් ලැබෙන එක.

ඒක දාගන්න කරන්න තියෙන්නේ Settings වලින් Video ටැබ් එකට ගිහින් එතනින් Touch Up My Appearance කියන එක ඉස්සරහින් හරි ලකුණක් යොදන එකයි. iPhone එකකින් කරනවා නම්, Settings වලින් Meetings කියන කොටසට ගිහින් Touch Up My Appearance කියන එක On කරන්න.

10. කෝල් එක රෙකෝඩ් කරන හැටි

ඔෆිස් මීටිමේදි කතා කරපු දේවල් කෝල් එක ඉවර වුණු ගමන් අමතක වෙනවා නම් කරන්න පුළුවන් හොඳම දේ තමයි මීටිම රෙකෝඩ් කරන එක. Online Classes වලට සහභාගී වෙන දරුවන්ටත් පාඩම ඕනම වෙලාවක ආයෙත් බලන්න පුළුවන් වෙන්න රෙකෝඩ් කරගන්න එක වටිනවා. හැබැයි මේක දැනට කරන්න පුළුවන් Computer එකෙන් Zoom පාවිච්චි කරන අයට විතරයි.

කරන්න තියෙන්නේ, කෝල් එක අතරතුරදී යට තීරුවේ තිබෙන Record බොත්තම ක්ලික් කරන එක විතරමයි. මෙහෙම රෙකෝඩ් වෙන ෆයිල් යන තැන බලාගන්න අවශ්‍ය නම් හෝ ඒක වෙනස් කරන්න ඕන නම් Settings වලින් Recording කියන ටැබ් එකට ගියාම එතන උඩම තියෙන බොක්ස් එකෙන් කරගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page