Categories
Short Stories

ගොඩයාගේ මඟුල් ගෙවල්වල යෑම

මේ මහ ගිරීස්මේ අත් දිග ෂර්ට් එකේ අත් වලයි උඩට ම යනකම්ම බොත්තං දාලා හොඳ හැටි හිර කරලා ටයි පොල්ලකුත් දාලා තද කරලා ෂර්ට් එක බාච්චු කලිසමට යට කරලා බෙල්ට් එකක් දාලා ඒකෙන් ඉණත් හිරකරලා කකුල් දෙකට හිර මේස් දෙකකුයි සපත්තු දෙකයි දාලා ෆුල් සීල් පිට ලේන්සුවෙන් දාඩිය පිහිද පිහිද දෙයියනේ කියලා මහ පතරංග හෝටලේකට වැදුණා. ඒක අස්සේ මහා ලොකුවට පිට පලාපු ආච්චිගෙ හැට්ටයක් ඇඳ ගත්ත මනමාල ගෑණි කෝ්ට් බෑයකිනුත් වහගත්ත මනමාල මිනිහාගේ එක අතකින් එල්ලිලා අනිත් අතින් ගට්ස් එන්න තරම් බර රතු මල් බොකේ එකකුත් රුවාගෙන දොරකොඩ බලාගෙන ඉන්නවා. එතන උන් දෙන්නායි ඊට පස්සෙන් ඉන්න නෑදෑයො රොත්ත බුරුත්තයි රස්තියාදු කර කර උඩරට පන්නෙට ඇඳගත්ත වෙස් නැට්ටුවො දෙන්නෙක් කවි කිය කියා බෙර පදේට අඩි පොළොවෙ ගහනවා. දෙපැත්තෙ ඉන්න නැටිටිච්චි දැරිවියෝ ටිකක් නැට්ටුවන්ගේ පැත්තට මොනාද ගඩොල් බාග වගේකින් මානගෙන වීඩියෝ කරනවා ද මක්කා ද එකක් කොරනවලු. උන් එහෙම කරන්නේ පස්සෙ කාලකෙ උන්ගෙ මගුලකට ගන්නට ද නැත්නම් අනුන්ගෙ පදේට නටන්න ඉගෙන ගන්න ද එහෙමත් නැත්නම් උන්ගේ මර නැටිල්ල හරිගස්සා ගන්නටදැයි ගොඩයා දන්නේ නැත. මොකද ඌට නම් ඕන පුපක් ය.

මුන් නටාගෙන නටාගෙන පිටිපස්සට යද්දි පැමිණ සිටි උන් මනමාල ජෝඩුවත් තල්ලු කරගෙන ඉස්සරහට යන්නට පොරකනවා. එහෙම ගිහිල්ලා පොල්තෙල් පහන ළඟ නැවතුණා, මඟුල් ජෝඩුවයි තව හතර පස් දෙනෙක් ඒක ගිනි තියනකම් කකුල් කඩිත්තුව හැදෙනකං ගොඩයාටයි නෑදෑයොන්ටයි හිටං ඉන්න උනා. ඒකත් අහවර වුණා ම දෙයියන්ට පින්සිඩ්ඩ වෙන්ඩ ඈඳි ගන්ට හම්බුණා. එහෙ මෙහෙ දෙපැත්ත බල බලා ඉන්නකොට ඒ අතරෙ වැල්කං ඩ්‍රින්ක් ද මක්කා ද කියා එකක් දුන් අතර ඒවා ඒ අහවල් නමකින්වත් කියන එකක් නොව නිකංම නිකං ගෙදරදී හදාගන්නා වැල්දොඩං බීම එකකි. මේකේ ඉන්න උන් වැල්දොඩං – වැල්කං කියලා වරද්දගෙන ද කොහෙද ය. අමු පිපාසෙං හිටියාට ඒකත් ගෙදරදී බොන්නට වගේ උගුරට දෙකට ගහන්නට බැරි වුණේ සුදු පාටට නවපු බටයක් වගේ එකක් එකේ ඔබා එකෙන් බොන්නට සලස්වා තිබීමෙනි. ඒකෙන් බොන එක හරියට පොඩි එකෙක් චූ කරන එකට කට අල්ලාගෙන හිටියා වගේ ය. කොච්චර ඉරුවත් එන්නේ ඇබින්දකි. ඉතින් උරාගෙන උරාගෙන ගිහින් අන්තිමට “සරස් සෘස්” ගානකං ම ගාණක් නැතිවිය. අනිත් උන් රවා බැලුවේ මක් නිසාදැයි තේරුමක් නැතත් ළිඳෙන් බිව්වා වගේ උස කෝප්පෙන් බිව් නිසා බඩ පිරෙන්නම එය වැදුනේ ය. ඒ හින්දා ටික වෙලාවකට දැන් බඩේ සද්දේ අහවරය.

ඉන්පසු මහා සද්දෙට දඩිං දඩිං සද්ද වගයක් ඇහුණා බිත්තිත් දෙදරන්නම. බැලින්නං කොල්ලො සැට් එකක් කළු පාට ලොකු පීකර වගයක් තියාගෙන උන්ගෙ මූසික් බඩු වලට තඩිබානවා. එකෙක් පොල්ලක් වගේ දිග උලක් තියෙන එකක උලට එක අතක් තියාගෙන ඒක උඩට පහළට යවන ගමං අනිත් අතෙන් බඩ හරිය කහනවා වගේ එකක් කරනවා. තව එකෙක් ලෑල්ලක් වගේ එකක් උඩ නැගගෙන බොත්තම් ඔබනවා. අනිත් එකා තව ලෑල්ලකට කෝටු දෙකකින් තඩි බානවා. ඒවාට හරියන්න උණ බම්බුවක් අතට ගත්ත එකෙක් ගිරිය යටින් කෑගහනවා නිකං ළමයා හම්බෙන්න වගේ. මේ මළ සමයං අස්සෙ නෑදෑයො තැනින් තැනට ගිහින් කට්ටිය එක්ක දොඩනවා. පිරිමි සංහතිය හෙමින් හෙමින් රංචු පිටින් එළියෙ හදලා තියෙන මඩුවලට රිංගනවා. උන් ඒවාට ගිහින් වීදුරුවලට තේ දාගෙන මස් කකා බොනවා. මේ ගිරීස්මෙ ඇත්තට තේ කොච්චර බිව්වත් නං තිබහා යන්නේ නැත. රා ඩිංගක් වත් තිබුණනං හොඳයි ඒත් මේ සිදාදියෙ කොහෙද ඕවා. ඉරත් දැං මුදුං වීගෙන ආවට තාම කන්න දෙන පාටක් නෑ. උදේ පාන්දරිං බස්සෙක අල්ලගන්න ආව හින්දා මක්කවත් කන්න හම්බුනෙත් නෑ, මේ වැල්දොඩං රෙද්දවල් බිව්වා කියලා බඩ පිරෙන්නෙත් නෑ. වේලි වේලි හිටියා පෑ ගාණක්.

ඔන්න ආන්තිමට යන්තං එකියක් වීදුරුවකුත් තැටියෙ තියාගෙන ආවා කරකවකව. ඇතින්න වගේ එක අඩියක් තියද්දි වතුර ටික යනවා නිකං දිව්‍ය ලෝකෙ දකින්න ආස හිතුණ ගානට උඩට. ඒ අතරෙ අනිත් අඩිය තිබ්බ ගමං එයින් වතුර ටිකක් තැටියට වැටිලා සියදිවි හානි කරගන්නවා. ඉස්සරහිං ගොඩක් පලාපු හැට්ටෙ හින්දා රියසක වැනි හංසයො දෙන්නා කිටිකිටියෙ දොට්ට පනින්න ඔන්න මෙන්න හිටියෙ බල බල. බෝම අමාරුවෙං වතුර එකේ ඇස් දෙක තියාන ඒකට අත ගහලා දත් බොල්ලෑව විලිස්සලා පනාව දැම්මා. ඇයි හත්තිලව්වෙ බඩගින්නෙ මැරෙන්න ඉද්දි ඩිව්‍යාංනාව වගේ ඇවිත් කන්න කියද්දි අම්මප පැනලා ඉඹගෙන ඉඹගෙන යන්න හිතුණා. කෝමහරි දික් වෙන්න ඉස්සෙල්ලා පැනගත්තා. පෝලිමට යකෝ! ඉක්කන්ට ගියාම ලේසියි එතෝට කෑම ඉවරවෙන්නෙත් නෑ *කෙළත් ගිලුණා* කාලා පනින්නත් ලේසියි.

හම්මට යකෝ කෑම තියෙනවා ගමකට. බත් ම තියෙනවා ජාති හතරක් පහක්. අපේ මහ උන්දා ඉන්න කාලෙවත් නෑ මෙච්චර ආච්චිට හාල් ගරලා බත් උයලා. පිඟාන ගන්නකොට ම කෙලී කෙනෙක් ඉඳගෙන සුදු පාට ත්‍රිකෝණ කොළේකුයි පොඩි පෙට්ටියකුයි මගේ අතේ ගොඩගැහුවා. එක අතකින් පිඟානත් එක්ක මේ ලට්ට ලොට්ට අනිත් අතින් අරගත්තා නිකං සර්-කස් කාරයෙක් වගේ. ඊට පස්ස‍ෙ මක්කද මක්කද ජාති වැඩියෙන් දාපු මුතුපාට බත් ටික බෙදාගත්තා අම්මා ඉස්සර බෙදන්න වගේ ම කොත ගහලා. දැන් ඉස්සරහා ඉන්න ගෑණිගෙ බැඳපු කොණ්ඩෙ හරිය පේන්න වගේ යන්තම් ඇර අනිත් ටික බත් වලින්ම වැහුණා. ඊට පස්සෙ පරිප්පු ද කජු ද මස් ද මාළු ද බිත්තර ද මෝජු ද යකෝ පේන පේන හැම එකෙන් ම කොතට පූජා කරා. සාදු සාදු! ඒකත් අරං ආයි හිටපු තැනටම ගිහින් ආයෙ කෑවා මොකද ඉතුරු කරන එක අපේ ජම්ම ගතිය නෙවෙයි හින්දා. අම්මප කාලා කාලාම ඉස්මුරුත්තාව වගේ. ඒ උනාට රසම හරිය ඇඟිල්ලෙ ඩාලිං කියලා මතක් වුන හින්දා ඒ ටිකත් වටේ හිටිය උදවිය ගැන හිතන්නේවත් නැතුව උරලා දැම්මා.

කාලා අත අහකට ගන්නත් කලිං බෙල්ලෙ මලක් ගැටගහගත්ත කොල්ලෙක් ඇවිත් “සෑර් ආ යූ ඩන්?” ද මොකද්ද ඇසුවේය. මම ඩං නෙවෙයි නෙව, මූ මාව විහිලුවකට අරං ද කොහෙද. උගේ දිහා ඔරෝලා බලන්නට ඔළුව උස්සද්දිම ඌ ඉඳුල් පිඟානත් අරං මාරුවුණේ දවස් ගාණකින් නොකාපු හිඟන්නෙක් වගේ. ඌ ගැන අනුකම්පා හිතලා අතත් හෝදගෙන අතුරුපසට පෝලිමට ගියා. ට’උඩු යකෝ කිරි පැණි, අයිස් කිරිං, පුඩිං, වටලප්පං, පැපොලුයි කෙහෙලුයි එකට දාපු තව බන්දේසියකුයි තව කියාගන්න තේරෙන්නෙත් නැති ලට්ට ලොට්ට වගයක් එතන තිබුණා. ගමේදි හැමදාම කිරි පැණිය කන හින්දා ගොඩයාට වෙන ඒවයිං ටැස්ට් කොරන්න හිතිලා හැම එකෙංම බෙදා ගත්තා. මෙව්වට මේ අතුරුපස කියන්නෙ බඩේ වෙනම කොටහකට යන හින්දා. කොච්චර බත් ගිලලා හිටියත් මෙව්වටත් ඉඩ තියෙන විදිහට තමා මනුස්ස සරීරෙ හැදිලා තියෙන්නෙ.

කාලා කාලා බඩ බෝලෙ වගේ බොත්තංනුත් කඩාගෙන එලියට එන්න ආව හින්දායි රස්නෙ හින්දායි ඇතුලට වෙලා ඉන්න හිත දුන්නෙ නෑ. ඒ හින්දා හුළං ඩිංගක් වදින්නත් එක්ක එළි පහළියට බැස්සා. ඒ වෙනකොට බොන උදවියට පදම ඇවිත් තිබුණේ. එක එකා රිංග රිංග අයිස් කිරිං කන අතරේ තව උන් පීකර කොල්ලො ඉස්සරහට ගිහින් පණුවො වගේ ඇඹරෙන්න ගත්තා. එතන හිටිය එක එකාට තිබුණේ උන්ට ම ජන්මෙං ආපු ඩාන්ස් ය. එකෙක් අත් දෙක උඩට අරගෙන වැලමිටෙන් නවලා කිහිලි හරියට එනකං ඇතුල් පැත්තට වන වන එහෙට මෙහෙට යද්දි තවත් එකෙක් කණුව වගේ එකතැන ඉඳගෙන උඩ බලාගෙන ඇස් දෙකත් වහගෙන දෙයියො යදින්න වගේ දණිස්සෙං යන්තං නැවි නැවී අමුතුම ඩෑංස් එකක් දමයි. නටන සමහරෙක් වටේ බලාගෙන ඉන්න අයට ද අත වනමින් කතා කරා. තවත් සමහර නාකි ඩෑල්වලට පොඩි එකෙක් නැතුව ඩාංස් කරන්නට ද බැරිය. උන් එතනින් එහා මෙහා යන පොඩි එවුන්ට බැලුම් කඩාදී යාළු කරගෙන උන්ව නටන්න අඬගහා ගන්නවා ය. ළමයි ඉන්නා උන් තමන්ගේ ම එකාව වඩාගෙන එහෙට මෙහෙට කැරකුණා. එතනට ආපු කොළු කුරුට්ටොත් තමන්ගේ අප්පොච්චිලා එක්ක ම පාට පාට පැණි බීම බිබී නටන්නට ආහ.

ඒ මල සමයං අස්සේ රෙදිත් හිරකරගෙන ඉඳලා කාලාත් වැඩි හින්දා වෙරිමතටත් වඩා වැඩි බුදි මතෙන් ගොඩයා පෙළෙමින් හිටියා. ඉර බහින්න හැරෙද්දි වගේ රෙද්ද හැට්ට ඇඳගත්ත ළමිස්සියොයි බෙල්ලෙ මලක් ගැටගහත්ත ගැටයොයි ටිකක් වීදුරු වගයක් අල්ලගෙන ගියා. ඒක අතට ගනිද්දිම මර හීතලට අතත් වෙව්ලෝලා ගියා. “මේ මක්කැයි?” ගොඩයා අහද්දී ඒ ගෑණි “අංකල් මේ කෞපී” ය කීවේ ය. යකඩෝ ගෙදරදී නැතිකමට මුං කැඳ හදාගෙන බිව්වත් කව්පී දහජරාව මැරෙන්නට ගියත් බොන්නේ තියා කන්නේ නැත. දිව ගිලෙන්නට වගේ තිබිච්ච හින්දාත් අතට ගත්ත එක ආයි තියන එක උන්දැට නින්දාවක් හින්දාත් අරගෙන යන්තං තොල ගෑවාම මේක කෝපි කියලා තේරිලා යකෝ ඉස්මොල්ලෙත් ගියා. අර ගෑණි කට උල් කරලා කියලා තියෙන්නෙ මළ අපබ්‍ර‍ංසයක්.

ඒකත් ගැහුවාට පස්සෙ තව අහවල් එකට ඉන්නෙයි!? මේක දෙවැනි දවස හින්දා අනංමනං වැඩිය තිබුණෙ නැහැ. කාලා බීලා එන්න නෙව මොන රෙද්දට උනත් යන්නෙ. නැත්තං උන් බැඳලා නිදි වදින්න රජයෙ අවසරේ ගත්ත එකට අපිට අහවල් එකද! කෑ බිව් තැංවල වැඩි වෙලා ඉන්න හොඳනැති හන්දායි, බස්සෙක පරක්කු වෙන හින්දායි ගොඩයා හොරෙන් ම මාරුවෙලා ආවා.

By Thambaru Wijesekara

2 replies on “ගොඩයාගේ මඟුල් ගෙවල්වල යෑම”

හරිම ලස්සනට ගලපලා කොටින්ම මාත් ගොඩයාගේ මනසින් මේ සටහන කියෙව්වෙත්. තඹරුලා වගේ අය නිතර නිතර ලියනවා නම් තවත් අගෙයි… !

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.