උත්සාහවන්තයා සහ වාසනාවන්තයා

එක්තරා රජ කෙනෙක් උත්සාහවන්ත භාවය සහ  වාසනාවන්ත භාවය පරීක්‍ෂා කිරීමට ඒ ඒ වර්ගයේ යැයි පිළිගත් මිනිසුන් දෙදෙනෙක් අල්වා සිරගත කරන ලදී. ඔවුන් නිරාහාරව තැබීමටත් දක්‍ෂතා උරගා බැලීමටත් ක්‍රමෝපායන් ද සැලසිණි. මෙසේ දින කීපයක් ගතවිණි. උත්සාහවන්තයා වනාහි කිසිවිටෙකත් නිකන් සිටීමට බැරි අයෙකි. හේ සිරගෙය පුරා ම දිවීමට පටන් ගත්තේ ය. එහිදී සිරගෙයි බිමෙහි එක්තරා ස්ථානයක් බොල් බව ඔහුට පෙනී ගියේය. වහ වහා ඔහු එතැන හාරන්නට විය. එහිදී පෙට්ටියක් මතුවූ අතර එය විවෘත කර බැලූ ඔහුට දක්නට ලැබුණේ එය සම්පූර්ණයෙන් ම කැවුම් වලින් පුරවා ඇති සෙයකි. නිරාහාරව සිටි හේ සියල්ල ආහාරයට ගන්නට විය. එනමුත් ඔහු කෑ සෑම කැවුමක ම උඩ කොටස (හෙවත් කැවුම්බුරිය) වාසනාවන්තයා දෙසට විසි කළේ ය. විසිකළ ඒ සෑම කොටසක ම මැණිකක් සඟවා තිබිණි. ඉදින්  හැකියාවන් සත්‍යාපනය කරමින්, වාසනාවන්තයාට මැණික් ද උත්සාහවන්තයාට කැවුම් ද ලැබුණේ යැ.