Categories
Current Affairs

ඉන්දියානු කතක් තමාව ම විවාහ කරගනියි

ක්ෂමාගේ විවාහ මංගල්‍යයේ අවස්ථාවක්

බටහිර රටවල ඒකල විවාහය (Sologamy) හෙවත් කෙනෙක් තමන්වම විවාහ කරගන්නා මංගල උත්සව මෑත වසරවල රැල්ලක් බවට පත් වෙලා තියෙනවා. දැන් එය ඉන්දියාවටත් පැමිණි බව ඊයේ (ජුනි 11) තිබුණු මංගල උත්සවයකින් පෙනී ගියා.

අවුරුදු 24ක් වන ක්ෂමා බින්දු තමන්වම විවාහ කරගෙන “මට ඕන වෙනත් කාන්තාවො වගේම මනාලියක විදියට ඇඳලා, ෆොටෝ අරගෙන විවාහ මංගල්‍යයක් ගන්න එක. මගේ හදවත පුරාම තියෙන ආදරේ මට ම දෙන්නයි මට කැමති. සමහරවිට මට තියෙන ආදරේ තවත් මේකෙන් වැඩිවේවි” කියලා The National පුවත් සේවයට කියා තිබෙනවා.

Advertisement

ආදරයකදි සිද්ධ වෙන්නේ අපි තවත් කෙනෙක්ව ඇති සැටියෙන් පිළිගන්න එක. ඉතින් BBC වෙත අදහස් දක්වමින් ක්ෂමා කියලා තියෙන්නේ එයා හොඳ, නරක දෙකෙන්ම පිරුණු තමන්ව තමන් විසින්ම පිළිගත්තු බව (accepting herself) මේකෙන් එයා පෙන්වන බවයි.

අපි ගිහින් මේ කතාව අපේ අම්මලට කිව්වොත් මොන වගේ අදහස් ලැබේවිද? හැබැයි ක්ෂමාගේ ගෙදර අය වගේම යාළුවොත් එයාගෙ තීරණේ අහලා, ඒකට උපරිම සහයෝගය දෙන බව කියලා තියෙනවා. ඉන්දියාව වගේ දැඩි සංස්කෘතික රටක තමන්ගේ දරුවෙක්ගේ ආසාවට, සතුටට මුල් තැන දෙන්න තරම් විවෘත මනසක් ඇගේ දෙමව්පියන්ට තියෙනවා.

ඒත් මේ සිද්ධිය ඉන්දියාවේ සමාජ ජාල ප්‍රජාව අතර දැඩි කතාබහට ලක් වුණා. වෙනත් කිසිවෙකු සම්බන්ධ නොවන්නේ නම් විවාහයේ අවශ්‍යතාවය කුමක්ද කියා මත පළවුණු බවත්, ක්ෂමා තම පවුලේ වගකීම්වලින් පලා යාමට උත්සාහ කරන බවක් පෙනෙන්නට ඇති බව ඇතැමුන් කියා තිබුණු බවත් BBC වාර්තා කරනවා.

ඒකල විවාහ ගැන මනෝවිද්‍යාඥ සහ විවාහ සම්බන්ධතා විශේෂඥ භූමිකා ජයීන් Hindustan Times එකට කියලා තිබුණේ ස්වාධීනව හිතන්න පුළුවන්, වෙනත් කෙනෙක්ගේ මානසික උදව් ඕන නැති ශක්තිමත් මනසක් තියෙන කෙනෙක්ට මේවා ගැලපෙන බව. ඒ වගේම මේ විවාහයේ අවාසියක් විදියට සමාජ සම්බන්ධතා අඩු වෙන්න පුළුවන්ලු. එතකොට තනිකමක් දැනිලා, මානසික පීඩාවන්ට පසුකාලීනව පත්වෙන්නත් පුළුවන්ලු. හැබැයි වෙන ඕනම විවාහයකට වගේ, කෙනෙක්ගේ කැමැත්තට ඉඩ දීලා ඒ කෙනාගේ සතුට අගයන එකේ වරදක් නැහැ කියලත් භූමිකා අවසාන වශයෙන් කියලා තියෙනවා.

ඉන්දියාවේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් වන වෛද්‍ය සවිතා මල්හෝත්‍රා බීබීසී වෙත “මට නම් එය ඉතා අමුතු සංකල්පයක්” කියලා තියෙනවා. “හැමෝම තමන්ට ආදරෙයි. ඒක පෙන්වන්න බාහිර අනුරුවක් නිර්මාණය කරන්න අවශ්‍ය නැහැ. ඒක අපි හැමෝටම ආවේණික දෙයක්. විවාහය කියන්නේ දෙන්නෙක් එකට එකතු වීම.”

කොහොම නමුත් මේ සිරිත ලෝකය පුරාම දැන් කෙරීගෙන යනවා. 33 හැවිරිදි බ්‍රසීලියානු නිරූපිකාවක් ඇගේ ඒකල විවාහයෙන් මාස තුනකට පසුව දික්කසාද වෙලා තියෙනවා.

ක්ෂමා සාමාන්‍ය ඉන්දියානු විවාහයක වගේම වට 7 ගිහින් චාරිත්‍ර ඒ විදියටම කරලා තියෙනවා. හැබැයි මුලින් හිතාගෙන ඉඳලා තියෙන්නේ පූජකයෙක් ඉදිරියේ ආගමික ස්ථානයක දි කරන්න. ඒත් පූජකයා අන්තිම මොහොතේ බැහැ කිව්ව නිසා එයා ගෙදරම වෙඩිං එක අරගෙන.

NDTV වාර්තා කරන විදියට ක්ෂමාට ඕන වෙලා තියෙන්නේ සමාජ ඒකාකෘති (stereotypes) වලට අභියෝග කරලා ආදරය හොයාගන්න එකෙන් පීඩාවට පත් වෙච්ච අයට ආදර්ශයක් වෙන එකලු. ඒ වගේම ක්ෂමා ද්විලිංගික (bisexual) යැයි තමාවම හඳුන්වා ගන්නා බවත් එහි සඳහන් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page