වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් (Monkeypox) වසංගතයේ පැතිරීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ගෝලීය වශයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කළ හැකි ඉහළම අනතුරු ඇඟවීම වගේම, ඒකෙන් කියවෙන්නේ මේ රෝගය ලෝකය පුරා ව්‍යාප්ත විය හැකි බව. එන්නත් නිපදවීම වේගවත් කිරීමට සහ වෛරසය පැතිරීම සීමා කිරීමට කටයුතු කරන්නත් මේකෙන් රටවල් පොළඹවනු ලබනවා.
WHO එක කියන විදියට රටවල් 75 කින් මේ වන විට රෝගීන් 16,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙලා. මරණ පහකුත් සිදු වෙලා තියෙනවා. ඒත් තාම සම්ප්‍රේෂණ ක්‍රම ගැන ලොකු අවබෝධයක් ලෝකයට නැහැ.
Monkeypox ගැන මම කලින් ලිපියක සම්පූර්ණ විස්තරයක් ගෙනාවා. ඒක මෙතනින් බලන්න.
රෝග ලක්ෂණ මොනවද?
ලෙඩේ හැදුනාමත් ආරම්භක රෝග ලක්ෂණ වෙන්නේ උණ, හිසරදය, ඉදිමීම්, කොන්දේ වේදනාව, මාංශ පේශි කැක්කුම සහ උදාසීනත්වය වගේ දේවල්.
උණ අඩුවී ගියාට පස්සේ, බොහෝ විට මුහුණේ කැසීමක් ඇති වෙලා පසුව ශරීරයේ අනෙකුත් කොටස් වලට (ගොඩක් වෙලාවට අත් සහ පාද වෙත) පැතිර යන්න පුළුවන්.
මේ කැසීම දරුණු විය වෙන්න පුළුවන්. ඒත් අවසානයේ කබොල්ල ඉතුරු වෙලා, ඒකත් හැලුණාම තුවාල කැළැල් ඉතිරි වෙන්න පුළුවන්. ගොඩක්ම පැපොල රෝගයට සමාන යි.
දින 14 සිට 21 දක්වා පැවතිලා රෝගය ඉබේම හොඳ වෙනවා.
වැළඳෙන්නේ කොහොමද?
ආසාදිත පුද්ගලයෙකු සමඟ සමීපව ඇසුරු කරන විට Monkeypox රෝගය වැළඳෙන්න පුළුවන්. තුවාල වූ සම, ශ්වසන මාර්ගය හෝ ඇස්, නාසය හෝ මුඛය හරහා වයිරසය ශරීරයට ඇතුළු වෙනවා.
ඒ වගේම, ලිංගිකව එක්වීමේදී සිදුවන සෘජු ස්පර්ශයකින් සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් කියලත් තහවුරු වෙලා තියෙනවා. මේ නිසා සමලිංගික සහ ද්වීලිංගික පිරිමින් මෙන්ම පිරිමින් සමඟ ලිංගිකව එක්වන අනෙකුත් පිරිමින් අතර විශාල වශයෙන් දක්නට ලැබෙන නිසා සමලිංගික ප්‍රජාවට මේකෙන් ලෝක අපවාද එන්න පුළුවන් අවදානමකුත් තියෙනවා.
වඳුරන්, මීයන් සහ ලේනුන් වැනි ආසාදිත සතුන් සමඟ සම්බන්ධ වීමෙන් හෝ ඇඳ ඇතිරිලි සහ ඇඳුම් වැනි වෛරසය ගෑවුණු වස්තූන් වලිනුත් පැතිරෙන්න පුළුවන්.
බේතක් නැද්ද?
මේ වෛරස් එක වසූරි පවුලේ නිසා වසූරි එන්නතම Monkeypox වලටත් 85% ක් ඵලදායී කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා සමහර අවස්ථාවලදි ඒ එන්නත භාවිතයට අරගෙන තියෙනවා.