Site icon Thambaru's Blog

2020 ඇමරිකාවේ යුද්ධ ශක්තිය කොච්චරද දන්නවා ද?

Image: arcpublishing.com

ඇමරිකාව කියන්නේ ලෝක බලවතුන් අතරින් ඉහළින්ම සිටින රටක්. චීනය සහ රුසියාව පරදවමින් නමුත් ඉතාම ආසන්න වශයෙන් සම මට්ටමේ රැඳ‍ෙන්නට ඇමරිකාවට හැකියාව ලැබී තිබෙනවා. 

Global Fire Power වෙබ් අඩවිය මේ සඳහා PwrIndex නමින් දර්ශකයක් හඳුන්වා දී තිබෙනවා. මේ දර්ශකයේ 0 කියන්නේ ඉහළම මිලිටරි බලයයි. ඇමරිකාව ඉන් 0.0606 තරම් ඉහළ අගයක ඉන්නවා. දෙවැනියට ඉන්න රුසියාවේ එය 0.0681 යි. තුන්වැනියා වුණු චීනය 0.0691 යි. 0.0963 ක් ලබා හතරවැනියට ඉන්නේ අපේ අසල්වැසි ඉන්දියාවයි.

එතකොට ලංකාව? අපි 1.4661 ක් ලබා 82වැනි තැන ඉන්නවා.

මේ PwrIndex කියන දර්ශකය සකසන්න යොදාගන්නා GFP සූත්‍රයට මෙන්න මේ දේවල් සැලකිල්ලට ගැනෙනවා.

අපිත් මේ වීඩියෝවෙන් මේ කාරණා එකින් එක යටතේ තමයි ඇමරිකාවේ යුද්ධ බලය ගැන කතා කරන්නේ.

ශ්‍රම බලකාය

ලෝක ජනගහනයෙන් තුන්වෙනි ස්ථානයේ ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. පළමු සහ දෙවැනි ස්ථාන පිළිවෙලින් චීනය සහ ඉන්දියාව සතු කරගෙන තිබෙනවා. ඇමරිකාවේ වත්මන් ජනගහනය තුන්සිය විසි නව මිලියන දෙසිය පනස් හයදහස් හාරසිය හැට පහයි (329,256,465). ඒත් ඉන් ශ්‍රම බලකාය යටතට ගැනෙන්නේ එකසිය හතලිස් මිලියන අටසිය හැත්තෑ දෙදහස් අටසිය හතළිස් පහයි (144,872,845). ප්‍රතිශතයක් විදියට එය 44%යි. එතනිනුත් යුද්ධ කටයුතුවලට සුදුසු මට්ටමේ ඉන්නේ 36.3%යි. වාර්ෂිකව 1.3%ක් එයට එක් වෙනවා.

හැබැයි ඔයාලා දන්නවා ඇති සුදුසුකම් තිබෙන හැමෝම හමුදාවට බැඳ‍ෙන්නේ නැති බව. ඉතින් ඇත්තටම ඇමරිකාවේ යුද්ධ කටයුතු සඳහා සහභාගී වී ඉන්නේ එරට ජනගහනයෙන් 0.7%ක් පමණ සුළු කොටසක් බව අනුමාන කෙරෙනවා. එය ඉලක්කමෙන් ගත්තොත් දෙමිලියන දෙසිය හැට දහසයි (2,260,000). ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10 න් පංගුවක් විතර ඇමරිකාවේ ත්‍රිවිධ හමුදාවේ පමණක් සේවය කරනවා. ඉන් ක්‍රියාන්විතයේ යොදවා තිබෙන්නේ ලක්ෂ 14 යි. ඉතිරි 8 ලක්ෂය අමතරව තබාගෙන සිටින අයයි.

ගුවන් බලය

අහස් යාත්‍රා හරහා බලය පාන්නට ඇති හැකියාව තමයි මේ කොටසින් අපි කතා කරන්නේ. ඇමරිකානු ගුවන් හමුදාවේ 13,264ක් සේවයේ යෙදී සිටිනවා. යුද්ධ කටයුතු සඳහා 2085ක්, පහරදීම් සඳහාම වෙන්කළ 715ක්, ප්‍රවාහන කටයුතු සඳහා 945ක්, පුහුණුවේ යෙදෙන්නන් 2643ක්, විශේෂ මෙහෙයුම් සඳහා භටයන් 742ක් ඇමරිකානු ගුවන් හමුදාව සතුව ඉන්නවා. ගුවන් යානා අතින් ගත්තොත් හෙලිකොප්ටර් 5768ක් සහ ප්‍රහාරක හෙලිකොප්ටර් 967ක් ඔවුන් සතුව තිබෙනවා. අනෙක් රටවල් එක සංසන්දනය කරද්දී ඇමරිකානු ගුවන් හමුදාව අංක 1 සිටිනවා. දෙවැනි තැන රුසියාවත්, තුන්වැනි තැන චීනයත්, හතරවැනි තැන ඉන්දියාවත් සතු කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව ඉන්නේ 81 වැනි ස්ථානයේයි.

භෞමික බලය

යුද්ධ හමුදාව සතු බලය තමයි මෙහි අපි භෞමික බලය කියලා හඳුන්වන්නේ ඇමරිකානු යුද්ධ හමුදාව සතුව යුද්ධ ටැංකි 6,289ක් තිබෙනවා. ඒත් රුසියාව සතුව යුද්ධ ටැංකි 12,950ක් තිබෙන නිසා ඇමරිකාව දෙවැනියා බවට පත්ව තිබෙනවා. හැබැයි අනෙකුත් යුද්ධ රථ 39,253ක් සමග ඇමරිකාව අනෙක් රටවල් අතරින් ඉදිරියට එන්නට සමත් වී තිබෙනවා. ස්වබලයෙන් ක්‍රියාකරන කාලතුවක්කු එහෙමත් නැත්නම් Self-propelled artillery 1465ක්, Towed artillery 2740ක් සහ රොකට් ප්‍රක්ෂේපක (rocket projectors) 1,366කුත් ඇමරිකාව සතුව තිබෙනවා.

සමුද්‍රික බලය

මුහුදේ සුරුවිරු පෑම අතින් ඇමරිකාව කුමන ස්ථානයේ ඉන්නවා කියලාද ඔයාලා හිතන්නේ? ලෝක බලවතා නිසා එයාලා මුල් තැන ඇති කියලා කෙනෙක් දැන් කියාවි. ඒත් ඇත්තටම නාවුක බලඇණියේ ප්‍රමාණය අනුව ඉදිරියෙන් ඉන්නේ උතුරු කොරියාවයි. දෙවැනියට චීනයත්, තුන්වැනියට රුසියාවත් ඉන්නවා. ඔව්, ඇමරිකාව ඉන්නේ හතරවෙනි තැන. ඔවුන්ගේ මුළු සම්පත් සංඛ්‍යාව 490යි. හැබැයි ගුවන් යානා ගෙන යා හැකි නෞකා අතරින් ලෝකයේ පළමු තැන ඔවුන්ට ලැබෙනවා. මොකද, එවන් නෞකා 20ක් ඔවුන් සතුව තිබෙනවා. සබ්මැරීන් 66ක්, සබ්මැරීන් නාශක අවි 19ක් වගේම Destroyers 91කුත් ඇමරිකාව සතුයි.

ස්වභාවික සම්පත්

රටක ආනයන අපනයන ප්‍රමාණ තීරණය කරන ප්‍රධානම සාධකයක් තමයි ස්වාභාවික සම්පත. ඒ ගැන කිසිදු තැකීමක් නැතිව සම්පත් විනාශ කරන ආකාරය අපේ රටේ දකින්න ලැබෙනවා. ඒ වගේම තිබෙන සම්පත් වලින් අපි තිරසාරව, උපරිමයෙන් ප්‍රයෝජන ගන්නෙත් නැහැ. අපි දැන් ඇමරිකාව පැත්තට හැරෙමු. ඇමරිකාවේ බොරතෙල් නිෂ්පාදනය bbl 9,352,000 යි. bbl කියන්නේ බොරතෙල් සහ පෙට්‍රෝලියම් සම්බන්ධ මිනුම් සඳහා යොදාගන්නා ‘බැරලය’ යන මිනුම් ඒකකය යි. බොරතෙල් නිෂ්පාදනය අතින් තුන්වැනි තැනට එන්න ඇමරිකාව සමත්ව ඉන්නවා. එහි මුල් තැන දිනකට බැරල් දස මිලියන පන්සිය පනස් අට දහසක් (10,558,000) සමග රුසියාව ලබා තිබෙනවා. සෞදි අරාබිය දෙවැනි තැනට පත්ව තිබෙනවා.

බොරතෙල් භාවිතය අතින් නම් bbl මිලියන 20ක් සමග ලොව අංක එකට පත් වන්නට ඔවුන් හැකිව තිබුණත් එය නිෂ්පාදනයට සාපේක්ෂව බලද්දි ඇමරිකානුවන්ට නම් සතුටු විය හැකි දෙයක් නොවෙයි.

ශ්‍රම බලකාය සහ ප්‍රවාහනය

ඇමරිකාවේ සමස්ත ශ්‍රම බලකාය එකසිය හැට මිලියන හාරසිය දහසයි (160,400,000). ඒ අනුව ඇමරිකාව ලොව තෙවන ස්ථානයට පත් වෙනවා. මුල් තැන චීනයත්, දෙවැනි තැන ඉන්දියාවත් සතු වෙනවා. ඇමරිකාවේ තිබෙන මුළු වරාය සහ තොටුපොළ ගණන 35 යි. මාර්ග ආවරණය කිලෝ මීටර් හය මිලියන පන්සිය අසූ හය දහස් හයසිය දහයයි (6,586,610). දුම්රිය පද්ධති‍යේ ප්‍රමාණය කි.මී. දෙසිය විසිහතරදහස් හත්සිය අනූ දෙකයි (224,792). සේවයේ යොදවා ඇති ගුවන් තොටුපොළ ප්‍රමාණය දහතුන් දහස් පන්සිය දහතුනයි (13,513). මාර්ග, ගුවන් යානා සහ දුම්රිය පද්ධතිය අනුව ලොව මුල් තැන රැඳ‍ෙන්නේ ඇමරිකාවයි. 

මූල්‍ය තත්වය

ඇමරිකාවේ ආරක්ෂක කටයුතුවලට එරට රජය ඩොලර් බිලියන හත්සිය පනහක් යොදවා තිබෙනවා. ලොව රටවල් වලින් වැඩිම මුදලක් ඒ සඳහා යොදවා ඇති රටත් ඇමරිකාවයි. එහි දෙවැනි තැන චීනයත්, තුන්වැනි තැන සෞදි අරාබියත් ලබා තිබෙනවා.

බාහිර ණය ට්‍රිලියන 17ක් පමණ වෙනවා. බාහිර ණය කියන්නේ බාහිර පාර්ශවයන්ට එනම්, ජාත්‍යන්තර ප්‍රජාවට ගෙවිය යුතු රාජ්‍ය හා පෞද්ගලික ණය යි. ඒ අනුව බලද්දි ලොව විශාලතම බාහිර ණය ප්‍රමාණයක් ඇමරිකාව දරනවා. ඒත් මේ අගය විනිමය හුවමාරුව, පරිභෝජක හෝ කල් පවත්නා භාණ්ඩ සහ අදාළ සේවාවන් හරහා ආපසු ගෙවන්නට ඔවුන්ට හැකියාව පවතිනවා.

භූ විද්‍යාව

භූමියේ හිමිකාරිත්වය අනුව බලද්දී ඇමරිකාව සතුව වර්ග කිලෝමීටර් නව මිලියන අටසිය විසි හය දහස් හයසිය හැත්තෑ පහක් (9,826,675) තිබෙනවා. භූමි ප්‍රමාණය අනුව ඇමරිකාව සිටින්නේ තුන්වැනි තැනයි. පළමුවැන්න රුසියාවටත්, දෙවැන්න කැනඩාවටත් හිමිව තිබෙනවා. ඇමරිකාව සතු මුහුදු වෙරළේ ප්‍රමාණය කිලෝ මීටර් දහනව දහස් නවසිය විසි හතරයි (19,924). කැනඩාව, ඉන්දුනීසියාව, රුසියාව වැනි රටවල් අනුව බලද්දී ඉන් ඇමරිකාව සිටින්නේ 8 වැනි තැනයි.

මේ දේවල්වල සමස්තය දෙස බලද්දි දැන් ඔබට වැටහෙනවා ඇති ඇතැම් සාධක අනුව ඇමරිකාව මුල් තැන නොසිටින බව. එහෙත් නිවැරදි උපායමාර්ගික ක්‍රම නිසා අංකවලට වඩා හැකියාව අතින් ඉදිරියෙන් සිටින්නට ඇමරිකාවට හැකියාව ලැබී තිබෙනවා. ඒ විතරයක් නෙවෙයි, හොලිවුඩු සිනමාව හරහා පවා ඇමරිකාව යනු බල සම්පන්න රටක් බව ඔවුන් අපිට ඒත්තු ගන්වමින් එම අදහස සිතට කාවද්දා තිබෙනවා.

Transparency International වෙබ් අඩවිය දක්වන ආකාරයට වංචාව සහ දූෂණ මට්ටම දක්වන CPI දර්ශකය අනුව 2018 දී ඇමරිකාව 22 වන ස්ථානයේත්, ශ්‍රී ලංකාව 89 වන ස්ථානයේත් සිටිනවා. CPI දර්ශකයේ අගය අඩු වත්ම දූෂණ ප්‍රමාණය වැඩිවන නිසා ශ්‍රී ලංකාව සිටින්නේ බොහොම හොඳ තැනක. ඉතින් එහෙම වෙලත්, ශ්‍රී ලංකාවට ඇමරිකාව වගේ බලවත් රටක් බවට පත් වෙන්නට බැරිවුණේ මොනවගේ හේතු නිසා කියලාද ඔයාලා හිතන්නේ? පහතින් කමෙන්ට් කරන්න. අපි ඒ ගැන කතා කරමු.

Exit mobile version